පොඩි උං යනු මැරෑටියන් යැයි, උන්ව හදන්නට පෙර කවුරුත් මට කියා දුන්නේ නැත.
බඩට ආ දවසේ පටන් එළියට එන දවසත් ගැනත්, එළියට ආ දවසේ පටන් හිස ඔසවන, ඇවිදින, වචනයක් මුමුණන ඈ නොයෙක් විශේෂ දවස් ගැනත් සිහින මැව්වා විනා, “මුංගේ දෙපයට යන්තම් ඇවිදගන්නට හයියද, කටට වචන දහයක් ගැටගසා ගන්නට හයියද ආ දා සමාජය ඉදිරියේ මගේ රෙදි දඩිං බිඩිං ඩෝං” වේ යැයි මම මදකටද නොසිතූවෙමි. (මගේ ගෑණී ඒ ගැන මට අනතුරු ඇඟවූවේද නොවේ.)
රාජගිරියේ පාර්ලිමේන්තු පාරේ කාර්ගිල්සයකි. වයස හතරක් වු මගේ ලොකු මැරෑටියා සමග එක් සවසක එහි ගොස් මම ගෙදරට අඩුමකුඩුම තේරූවෙමි.
මැරෑටියා එහා මෙහා දුවයි. තනියම කියවයි. උඩ පනියි. ඌ උගේ පාඩුවේ ය. එය අඩුමකුඩුම තෝරන මට පහසුවකි.
හදිසියේම ඌ දුවගෙන ආවේය. “එන්නකො ටිකක්, එන්නකො එන්නකො” කියා වදෙන් පොරෙන් මා ද ඇදගෙන පළතුරු ගොඩ ළඟට ගිය මැරෑටියා..
.
.
.
“ලුක් ලුක්… පයිනැපල්ස්… වාව්… ලොට් ඔෆ් කටූ” යැයි මුලු කාර්ගිල්සයේම සිටි සෙනගට පමණක් ඇසෙන සේ කීය.
මා සිතාමතා හැරුණා නොවේ. ඔටෝමැටික් ස්විචය ඔටෝම එබී ශරීර කූඩුව අනිත්පැත්තට හැරුණි. ඊළඟට මා නැවතුනේ එහා කොණේය. මැරෑටියා කොහිද කියාවත් තව පැය භාගයකට නොමසෙවූ මා “මූව කවුරුහරි උස්සං ගියානං ලොකු දෙයක්” කියා සිතමින් ලෝකයාගෙන් මූණ සඟවමින් සිටියෙමි.
තවත් දවසක ඒ කාර්ගිල්සයටම මැරෑටියා සමග යෑමට මට සිදු විය. ඒ, පෙර දින සිදුවීම මට මතක තිබුණත් එදා සිටි කිසිවෙක් අද නොසිටීවායි පතමිනි.
මැරෑටියාගේ අද හැසිරීම හොඳය. මට යලිත් වරක් පයිනැපල් එකේ ලොට් ඔෆ් කටු පෙන්වීමට ඌට උවමනාවක්ද නොවීය.
ගත් බඩු වලට මිළ ගෙවීමට පෝළිමේ සිට ගත් මා, කැෂියර් දෙකක් මැදින් ගසා ඇති ඇලුමිනියම් බටේ එල්ලී මැරෑටියා ටාසන් ගේ චරිතය රඟනවා බලා සිටියෙමි.
ටිකකින් මුගේ සියලු ටාසන් පැද්දිලි නැවතිණි. දෑස් අයා, ඊටත් ලොකුවට කට අයා, ප්රධාන දොරටුව දෙස මූ එක්වන බලා සිටී. මම ද මූ දුටු හොල්මන මොකාදැයි බැලීමට ඒ දෙස හැරීමි.
වාව්……
ලස්සන ය. ලස්සන යන වදනට වඩා ගැළපෙන්නෙ “පට්ට” යන්නය. කොටින්ම කීවොත් නෙක්ස්ට් ලෙවල් ය. වැරැද්දක් කියනවා තබා හොයන්නට වත් නැත. යන්තම් එල්ලාගත් රෙදි කෑල්ලකින් පපුව වසා, ඒ කෑල්ලෙන්ම ඉණෙන් යටත් වැසෙනවා යැයි ඇය සිතා ඇති බව මට හැඟුණි. ලංකාවේ දකින්නට විරල දසුනකි.
ට හුඩු… තොටළඟ ද තොරණ… මේවනෙ තොරණ… දැන් කාලෙ ෆැෂන් තමා… මොනවා වුණත් හරි ෆෝවර්ඩ් කෙල්ලෙක් වෙන්ටැ… මේ දෑස මගේ පින්වන්තයි… තේරුණේ දැන් තමයි… කෙල්ල කාලෙ නොකරන ෆැෂන් හැට පැණලා කරන්නයෑ… මේකෙ ඉන්න අම්මණ්ඩිලා දැන් ඉරිසියාවෙ පැළෙනවා ඇති…
.
.
.
.
.
.
.
.
.
.
.
සබඳ… කරුණාකර අපි මැරෑටියා දෙස හැරෙමු ද ?
නැත මා මිතුර. අපි මැරෑටියා දෙසට හැරීමේ උවමනාවක් නැත. මන්ද ඒ වනවිටත් ඌ මගේ දෙසට හැරී මුලු ලොවටම ඇසෙන සේ වචන ගළපා අහවර බැවිණි.
“ඇයි අර ආන්ටි යටට මොකුත් ඇඳලා නැත්තෙ ? මට පේන්නෙ මුකුත් ඇඳලා නෑ වගේ… පෑන්ටි එකක් ඇඳලද ඉන්නෙ ඒ ආන්ටි?”
.
.
.
.
.
කරන්නට කිසිත් මට ඉතිරි වී නැත. මුලු කැෂියර් පෝළිම් හතරම මෝර්ටීන් ගැසූ කැරපොත්තන් මෙන් හතර වටේ දුවති. සමහරුන්ගේ අත කටේය. සමහරුන්ගේ කට අතේය. සමහරු බිම වාඩිවී වළිප්පුව සෑදුණු උන් මෙන් ගැහි ගැහී සිනාසෙති. කැෂියරේ කෙල්ලන් හිතෙන හිතෙන ගණන් මැසිමේ ඔබති. ඔරලෝසුවේ කටු හිරවී කාලය එක තැන නතර වී ඇත. මිතුර, ඔබ එතන සිටියානම් මා මානසිකව බිම ඇද වැටී නන්නපෝල් වී, අනාථ මාරුතයක කුණාටු සාගරයක ගිළී යන දුලබ දසුන දැකගන්නට තිබූ බව සපථ කරමි.
මැරෑටියා එක මොහොතකින් මුලු කාර්ගිල්සයේම පට්ට ෆේමස් වී ගියේය.
අදටත් මැරෑටියා සමග එහි ගියොත් ඌට කැෂියර් ආන්ටිලාගෙන් හොඳ පිළිගැනීමක් ලැබේ. එදා නොසිටි ආන්ටිලාද දැන් මූ ගැන දනී.
හරියට මැරෑටියා කාර්ගිල්ස් සුපර් ස්ටාර් වැනිය.
**************************************
ප.ලි – මැරෑටියාගේ හැසිරීම ගැන කීපදෙනෙකුට ගැටලු මතු වී තිබූ නිසා, ඒ ගැන වදනක් මෙසේ අමුණමි.
• සිද්ධිය වනවිට ඌට වයස අවුරුදු හතරකි.
• උගේ කටින් මොනවා කොයි වේලේ පණීදැයි මා දන්නේ නැත.
• ඌ උගේ ගැටලුව යොමු කලේ මටය. ඉතින් එහි වැරැද්දක් නැත. එකම දේ උගේ කටහඬ වැඩියෙන් එළියට ආ එකය. වයස හතරක එකෙකුට කටහඬ පාලනය ඉගැන්වීමේ සාර්ථකත්වය තීරණය කිරීම ඔබටම පවරමි.
• “තැනකට ගොස් හැසිරීමට උගන්වන්න” යැයි කීමෙන් ඔබ අදහස් කරන්නේ ගලක් තිබ්බා සේ නොසෙල්වී සිටීම නම්, කණගාටුයි – මගේ එකා දුවන පණින දඟලන කතා කරන ප්රශ්න අසන එකෙක් වීම ගැන මම සතුටු වෙමි. ඌ කූඩුවක දමා හදන්නට මගේ බලාපොරොත්තුවක් නැත.
• මැරෑටියා දැන් දෙක වසරට යන්නට බලා සිටින, ඉතා ක්රියාශීලී, ජීවිතය විඳින කොල්ලෙකි. ඌ දැන් අනිත් අයට කරදරයක් නොවී ජීවත්වීමට ඉගෙනගෙන ඇත.
උපුටා ගැනීම: Ranil Ariyarathna