සුජාතා කුමාරි බස්නායක දිනය තුළ කරන්නට ඇති වැඩ රාශිය ගැන සිතමින් නළල මැද පිරිමැද ගත්තාය. රන් දහර ව්‍යාපෘතියේ විවෘත කිරීමට තව ඇත්තේ සතියකි.
ජනාධිපතිතුමා ඇතුළු ප්‍රභූන් මහා පිරිසක් පැමිණෙන බැවින් සියළුම දේ කිසිදු අඩුවක් නොමැතිව තිබිය යුතුය. රටේ බෙදුම්වාදයද නැවත හිස ඔසවන කාලයක් බැවින් ආරක්ෂාව පිළිබදවද දැඩි ලෙස අවධානය යොමු වේ.
ඇය මදක් වේලා කල්පනාවේ සිට අන්තර් දුරකථනය හරහා අංජන වික්‍රමසූරියට ඇමතුමක් දුන්නාය.
“අංජන විනාඩියකට එන්න”
අත්සනට තබා ඇති ලිපි එකින් එක බල බලා අත්සන් කරන ඇය හිස එසවූයේ අංජන පැමිණ කතා කරන හඩටය.
“ගුඩ් මෝර්නිං මැඩම්” කාලවර්ණ අංජන සුදු දසන් දක්වා සිනාවෙන විට මැවෙන්නේ දුටුවන් මවිත කරන සුළු ප්‍රසන්න කමකි. අක්කර අඩි ලක්ෂ ගණනක ජලාශයට හා නළ මාර්ග සදහා ඉඩම් අත්පත් කරගැනීමේදී පැන නැගුණු ගැටළු බොහොමයක් මැඩ පැවැත්වීමට මේ සිනාවද උපයෝගී විය. තම පාරම්පරික ඉඩම් අහිමි වීම නිසා උරණ වී ගැටුමට එන ගැමියන් “මාමණ්ඩි, අප්පච්චි, නැන්දම්මා” ලෙස අමතා සන්සුන්ව කතා කර ව්‍යාපෘතිය පිළිබදව විස්තර කරන අංජන හමුවේ දමනය වන්නේ පුදුම එළවන ආකාරයටය.
තිස් වියේ පමණ වූ අංජන වික්‍රමසූරිය ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු ලෙස ව්‍යාපෘතියට බදවා ගැනීම තමන් ව්‍යාපෘතිය වෙනුවෙන් කළ වඩාත්ම නුවණක්කාරී දෙය බව සුජාතා නිතර සිතන, ලෝභ නැතිව ඕනෑම තැනක කියන දෙයකි.
තමන්ගේ සටහන් පොත විවෘත කරමින් ඇයට ඉදිරි අසුනේ හිදගත් අංජන පැයකට පමණ පසු එතැනින් නැගිටින විට සුජාතාගේ සිතේ වදදුන් බොහෝ ගැටළු නිරාකරණය වී තිබිණි.
“අංජන PSD,MoD වලට කතා කළානේ?”
“ඔව් මැඩම් කොහොමත් දවස් තුනකට වගේ කළින් එයාලා ඇවිත් වැඩ පටන් ගනී.”
“හරි අංජන ඔයා ගිහින් වැඩක් කරගන්න.”
අංජන සිනාවක් පා හැරුණේය. “මැඩම් මම ප්ලාක් ගහන තැනට පොඩ්ඩක් ගිහින් එන්නම්, ඒකත් කොලිටි විදිහට කරගන්න ඕනි නේ”
“ඔව් ඔව් අන්තිමට ඕවනේ ඉතුරු වෙන්නේ. වැඩේ කොච්චර හොද උනත් වැඩක් නෑ ඔතන අකුරක් එහෙ මෙහෙ උනොත්”
සුජාතා තම දරුවකුගේ වයසේ වූ පහළ නිලධාරියාට මෙතරම් ඇළුම් කළේ ඔහු සතු මේ ආකල්ප නිසාය. වෙනත් බොහෝ නිලධාරීන් තමාට අදාළ නැති මෙවන් දෙයක් කරන්නට තබා සිතන්නේ වත් නැත.
නමුත් අංජන සියළු කටයුතු එක ලෙස සොයා බලයි. ඔහු සියළු දෙනා සමග සුහදව, ඔවුන්ටද නිසි ගරුත්වය දී වැඩ කරන නිසා කිසි කෙනෙක් ඔහු ඒවා සොයා බලනවාට අකමැතිද නැත.
“මගේ අප්පච්චි කියලා තියන දෙයක් තමයි මැඩම් මොනවා හරි කරද්දි ඒ වැඩේ ඔක්කොම පැති දන්න එක්කෙනෙක් හරි ඉන්න ඕනි. නැත්නම් වැඩේ අවුල් වෙනවා කියලා. ගෙදර දානයක් උත්සවයක් තිබුණත් අප්පච්චි හැම පොඩි දේම හොයලා බලනවා. ඒ පුරුද්ද තමයි මටත් තියෙන්නේ”
ඔහු දිනක් කීවා ඇයට මතකය.
“අංජනගේ අම්මා හම්බුණ වෙලාවක කියන්න ඕන අංජනට ගැළපෙනම නම තමා දාලා තියෙන්නේ කියලා.”
සුජාතා කීවේ ඔහු යන්නට හැරුණු විටය.
“අනේ මැඩමුත් ඉතිං මට ගානෙං ගානෙං කළුවා කීව්වා නේද?” අජංන සිනාසෙයි.
“නෑ ළමයෝ, ඔයාව දැක්කත් මගේ ඔලුවට සැනසිල්ලයි. මම උදේ ආවෙ හරිම ස්ට්‍රෙස් එකේ. දැන් ඔයා එක්ක වැඩ ටික ප්ලෑන් කරගත්තට පස්සේ සෑහෙන්න සැහැල්ලු උනා ඔලුව”
“අයියෝ බයවෙන්න එපා මැඩම් දැන් ඔක්කොම ප්ලාන්ට්, මැෂිනරි කමිෂන් කරලා, චෙක් කරලා ඉවරනේ. ඕපනිං එක ඉවර වුණාට පස්සේ අපිට ෆුල් රිලැක්ස් උනෑකි. තව සතියනේ”
“ඒක තමයි. මගේ ප්‍රෙෂර්, ෂුගර් ලෙවල්සුත් වැඩියි මේ ටිකේ. සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙන්න ළංවෙද්දි හැමදාම මට ඔහොම වෙනවා”.
“වැඩිය හිතට ගන්න එපා මැඩම්. ඇත්තටම දැන් බරපතල වැඩ ටික ඉවරයිනේ. මැඩම් මතක් කරලා රිට්රීට් එකට යන්න කළින් බෙහෙත් එහෙම ඔක්කොම අරගන්න. මොකද අම්මි කිව්වා එහෙ ඉදල පැය ගාණක් යනකම් ටවුන් එකක්වත් නෑ කියලා. හරිම රිමෝට් පැත්තක්නේ.”
“ඔව් ඔව්. මං පුතාට ලිස්ට් එක දුන්නා ගෙනත් තියන්න කියල”
ව්‍යාපෘතියේ විවෘත කිරීමෙන් පසු එළඹෙන සෙනසුරාදා සතියක නිවාඩුවකට තායිලන්තයට යෑමට සුජාතා සූදානම් වූයේ මාස දෙක තුනක සිටය.
තායිලන්තයේ මායි හොං සොංහි වනගත භාවනා මධ්‍යස්ථානයක සතියක් ගත කර ඒම ඇගේ අරමුණය.
පසුගිය වසරේ එහි වැඩසටහනකට සහභාගී වූ අංජනගේ මව ඉතා පැහැදීමෙන් ඒ ගැන කිව් බව අසා අංජනගෙන් විස්තර දැනගත් සුජාතා එයට වහා ලියාපදිංචි වූයේ නැවත ව්‍යාපෘතියකට සහභාගීවීමට පෙර ගොස් මනස සන්සුන් කරගෙන පැමිණීමට සිතාය.
වසර විසි පහක් පමණ එක දිගට මහා බරක් අදිනු මිස තමන්ට විවේක ගන්නට කාලයක් උදා වූයේ නැත.
විවෘත කිරීමේ උත්සවයට ආරාධනා කරන්නට ගිය විට ජනාධිපතිතුමා පැවසුවේ ඉන්පසු ඇයව අමාත්‍යංශයේ ඉහළ නිලයකට පත් කිරීමට තමන් අදහස් කරන බවය.
“හරියට වැඩ කරන්න ගියාම ඕකයි වෙන්නේ. නිදහසක් ලැබෙන්නේ නෑ. විය ගහේ බැන්ද හරකා වගේ පෙන්ෂන් යනකම් දුවන්න වෙනවා. අයිස් ගගහා ඉන්න අය කොතනත් සැපට ඉන්නවා.” මෙය සුජාතා නිතර සිතන්නකි.
දිසාපතිවරයෙකුගේ වූ අප්පච්චිගේ ඍජු අදහස් හා හැදී වැඩුණු සුජාතා කරන දේ හරියට කළ යුතු බවද මහජන මුදල් වලට සත පහට පවා සාධාරණයක් කළ යුතු බවද තරයේ අදහන්නියකි. කෝටි ගණන් ගනුදෙනු වන ව්‍යාපෘතිවලට නායකත්වය දී මහා පරිමාණ දෙස් විදෙස් කොන්ත්‍රාත්කරුවන් සමග වැඩ කළද මෙතෙක් ඇයට සතයක හෝ වංචාවකට චෝදනා එල්ල වී නැත. කළ සියළු ව්‍යාපෘති සාර්ථක වූ බැවින් ඇයට ඕනෑම බැරූරුම් වගකීමක් දීමට දේශපාලන අධිකාරියද පැකිළෙන්නේ නැත.
“මිනිස්ට්‍රි එකට ගියාම කොටි වලිගේ අල්ලගත්තා වගේ වෙයි. මේ තියෙන නිදහසවත් නෑනෙ. ඊට කළින් මෙඩිටේෂන් ප්‍රෝගෑම් එකකට ගිහින් එන්නම්”. ඇය සැමියාටද කීවේ ජනාධිපති තුමා හමුවී පැමිණි දින රාත්‍රියේය.
——————————
අංජන නික්මුණු පසු සුජාතා මානව සම්පත් නිලධාරිනිය කැදවා ඇය උත්සවය දින බෙදන්නට සූදානම් කළ පත්‍රිකා වල ලියන්නට සකස් කර තිබෙනා ව්‍යාපෘති විස්තරය කියවා බැලුවාය.
“දෙදහස් විසි පහ වන විට දිවයිනේ ජනගහණයෙන් 90% කට පානීය ජලය ලබාදීමට හැකි වුවද පානීය ජලය ලබාගන්නා මතුපිට ජල මූලාශ්‍ර දූෂණය වීම දැඩි ගැටළුවක් විය. කර්මාන්ත වලින් බැහැර කෙරෙන බැර ලෝහ හා වෙනත් අන්තරායකර ද්‍රව්‍ය ජලයට එකතුවීම නිසා සාම්ප්‍රදායික පිරිපහදු ක්‍රම අසාර්ථක වීමද ජලය පිරිසිදු කිරීමට අධික මුදලක් වැය වීමද සිදුවිය.
එබැවින් දූෂණය නොවූ මධ්‍ය කදුකරයේ ජල පෝෂක ප්‍රදේශයක විශාල ජලාශයක් ඉදිකර නළ මගින් ජලය දිවයිනටම ව්‍යාප්ත කිරීමට අදහස ඉදිරිපත් විය. ඒ අනුව, 2025 වසරේදී ආරම්භ කෙරුණු දස අවුරුදු ව්‍යාපෘතිය මගින් නමුණුකුළ කදුවැටියේ කොටසක කඹුරුපොල ජලාශය ඉදිකර නළ මගින් 100,000 ක ජනගහණයකට ජලය සැපයීම ඇරඹිණි. මෙයින් වක්‍රව ප්රතිලාභ ලබන්නන්ද සැළකූ විට ප්‍රතිලාභීන් ප්‍රමාණය 250,000 ක් පමණ වේ.
වසර 10 ක ව්‍යාපෘති කාලයකින්ද ඩොලර් බිලියන 3 කින්ද යුතු මෙම ව්‍යාපතිය මෙතෙක් ලංකාවේ දියත් කෙරුණු විශාලතම ව්‍යාපෘතීන් අතරට එක්වෙයි.
එමෙන්ම මේ සදහා අත්පත් කරගත් ඉඩම් සදහා 2024 සංශෝධිත ඉඩම් අත්පත් කරගැනීමේ පණතට අනුව වන්දි ප්රදානය කෙරුණු අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් මගින් ලබාදුන් ඉහළම වන්දි පැකේජ මෙම ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වූ ඉඩම් හිමියන්ට ලබාදීමට කටයුතු කරන ලදී. 2035 වසරේදී මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පැවරීම වත්මන් රජය ලැබූ මහත් ජයග්‍රහණයකි.”
සුභානි දිගටම කියවන අයුරු සුජාතා දෑස් වසාගෙන අසා සිටියේ විවිධ කොටස් වල වෙනස් කළ යුතු තැන්ද යෝජනා කරමිනි.
“ම්ම් හරි සුභානි, මේක යවන්න අර සිංහල සර්ට ප්රූෆ් බලලා එවන්න කියලා. දැන් ගන්නකො ඉන්විටේෂන් එක. ඩ්‍රාෆ්ට් එක ගත්තට පස්සේ මිනිස්ට්රීස්වලට යවලා හරියට මැති ඇමතිවරුන්ගේ නම් ගම් චෙක් කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කාලේ අපේ ඉන්විටේෂන් එකක වික්‍රමසිංහ කෑල්ල ඒ අකුරු දාලා ප්‍රින්ට් කරලා ඔක්කොම කාඩ් ටික විසිකරලා ආය ප්‍රින්ට් කරන්න උනා. වික්‍රමසිංහ කියලා එයා නම ලියන්නේ ඊ අකුරු තුනක් එක්කනේ”
“හරි මැඩම්”
“අර මැටි කොතල ටික ගෙනාවද විකුම්?”
“ඔව් මැඩම්”
“කෝ යං බලන්න”
පළමු දියවර විවෘත කිරීමේදී ප්රභූන්ට ජලාශයෙන් නිකුත් කරන මුල් රන් දියවර පානය කිරීමට මොලගොඩින් විශේෂයෙන් සැකසූ මැටි කොතල අණවුම් කෙරුණේ මාස කිහිපයකට පෙරය. දැන් ඉතා හුරුබුහුටි කොතල රැසක් රැගෙනවිත් ගබාඩාවේ පසෙක ගොඩගසා තිබේ.
“විකුම් කවුරු හරි එක්ක එකතු වෙලා මේවා බිදිලද කියලා බලලා ඔක්කොම හොදට හෝදලා දාන්න දූවිලි නැතිවෙන්න”.
“අංජන මහත්තයා ඊයෙ සුමනා ඇන්ටිට කියලා කෙරෙව්වා මැඩම්. ඔක්කොටම වතුර පුරවලා චෙක් කරලා තමයි තියෙන්නේ”
—————-
සුජාතා ගුවන් තොටුපලට යන රියේ පිටුපස අසුනේ වැතිර දෙපස බලමින් ගියාය. උත්සවය සාර්ථකව නිමා වීමත් සමග හිසේ තිබූ ලොකු බරකින් නිදහස් වූ බවක් හැගේ. උත්සවය අති සාර්ථක බව බොහෝ දෙනාගේ අදහසයි. වර්ග කිලෝ මීටර් සිය ගණනක ජනයාට වස විසෙන් තොර පිරිසිදු ජලය ලබාදීමට දැන් හැකිය. තමන් විශාල පිණක්ද අත්පත් කරගත් බව සුජාතා සිතුවේ සතුටිනි.
හෙටින් ඇරඹෙන වනගත මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන ගැන ඇය ඉන්නේ දැඩි උනන්දුවෙනි. ඉතා තද විනයක් ක්‍රියාත්මක වන එහි දිනකට නින්ද හා ආහාර සදහා වෙන් කරන කෙටි කාලය හැරුණු කොට දවසෙන් වැඩි කාලයක් විවිධ භාවනා කටයුතු වල යෙදීමට සිදුවේ. ඇය අන්තර්ජාලයේ කියවූ පරිදි ලොව වටා විවිධ ක්ෂේත්රවල අය මේ දක්වා එයට සහභාගීවී ඇති අතර සතිය අවසානයේ ජීවිතයට කිසි දිනක නොදැනුණු තරමේ ශාන්තියක් හා මානසික සුවයක් දැනුණු බව බොහෝ දෙනා අදහස් දක්වා තිබිණි.
සතිය ගෙවී නැවත පැමිණ පුතා විශ්ව විද්‍යාලයට ඇරලවීමට සිඩ්නි නුවර බලා යා යුතුය. උසස් පෙළ හොදින් සමත් වුවද රාජ්‍ය විශ්විද්යාලයකට ඔහු ඇතුළත් නොකර විදෙස්ගත කරවීමට ඇයට අවශ්‍ය වූයේ ඔහු ස්වාධීන වනු දැකීමට අවශ්‍ය වූ නිසාත් එයින් ලැබෙන අත්දැකීම් සමුදායත් නිසාය.
විශේෂයෙන් එයට හේතුවූයේ වසර ගණනාවක් අංජන හා අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල උපාධිදාරීන් සැසදීම බවද ඇය දනී.
අලුත් වැඩක් හෝ තමන්ට ඍජුව අදාළ නොවන යමක් කිරීමට කියූ විටම බොහෝ නිළධාරීන් මුහුණ නරක් කරගන්නා අයුරුද පැකිළෙන අයුරුද දකින ඇය අංජන වහා එවැනි වැඩ භාරගෙන ඉතා උසස් ලෙස නිම කරන අයුරු දැක තිබේ.
තනි දරුවා ලෙස ඕනෑවට වඩා සුරතල් වෙමින් හැදී වැඩුණු තම පුතාද එවැනි යමක් කමක් කරගත හැකි, ඇසූ පිරූ තැන් ඇති තරුණයකු ලෙස හැදී වැඩෙනු දැකීමට පියවරක් ලෙස විදේශ සරසවියකට ඇතුළු කළ යුතු බව ඇය තීරණය කළේ සැමියා සමගද දිගින් දිගට කතා කිරීමෙන් අනතුරුවය.
———————————-
දුරකථනය වැදුණේ ඇගේ මනෝලෝකය බිද දමමිනි.
“හලෝ”
“හලෝ, හලෝ, මැඩම්ට අදුරන්න පුලුවන්ද දන්නෙත් නෑ අපිව දැන්” ලතාවට කතා කරන කාන්තා හඩකි. කතා කරන්නා කවුදැයි නොකියා මෙලෙස හුරතල් වීම තරම් සුජාතාගේ කෝපය අවුළුවන තවත් දෙයක් නැත.
“අදුරගන්න බෑනේ. කවුද කතා කරන්නේ?”
“අනේ අනේ ඔහොම තමයි ඉතිං. ලොකු නෝනලානේ දැන්. අපි දැක්කා ඊයෙ ටීවී එකේත් ජනාධිපතිතුමා ළගින්ම වාඩි වෙලා ඉන්නවා”
“මිස් කරුණාකරලා කියනවද කවුද කතා කරන්නේ කියලා”
“අනේ සුජා මම විනීතා, ඉංගිරියේ, “සිනා” මතක නැද්ද අනේ” විනීතා සුජාතාගේ විශ්ව විද්‍යාල කණ්ඩායමේ සිටි කෙල්ලකි. නමුත් දැන් දශක තුනකින් පමණ ඔවුන් හමුවී නැත.
“හලෝ විනීතා, සොරි අනේ කාලෙකින්නේ මට අදුරගන්න බැරි උනා. ඉතිං ඉතිං”
“ඔයාව නම් පත්තරේ ටීවී ඒකේ එහෙම දකිනවනේ නිතරම. මම අද පත්තරේ ප්‍රොජෙක්ට් එක ගැන තිබුණු විස්තරේකින් නොම්බරේ අරන් ඔයාගෙ ඔෆිස් එකට කතා කරලා බොහොම වදෙන් පොරෙන් තමයි ඔයාගෙ මොබයිල් නොම්මරේ ඉල්ල ගත්තේ.’
කතාව සෑහෙන වේලාවක් ඇදිණි. දෙන්නා පවුල්, දරුවන්, සැමියන් ගැන තොරතුරු බෙදාහදා ගත්හ.
“අපේ පුතෙකුත් ආව අනේ ඔය ප්‍රොජෙක්ට් එකේ ඔපරේෂන් මැනේජර් ඉන්ටර්වීව්. මම එතකොට දන්නෑනෙ ඔයා ඔතන හෙඩ් කියලා. එයා අන්තිම ඉන්ටර්වීව් එන්න ලෑස්ති වලා ඉද්දි පණිවිඩයක් ඇවිත් තිබුණා එක්කෙනකේ ගත්තා එන්න එපා කියලා. අපි හිතුවා ඉතිං ලොකු තැනක කාගෙහරි නෑයෙක් වක් දාන්න ඇති කියලා. එහෙමනේ ලංකාවෙ වෙන්නේ.”
“මොකද්ද?”සුජාතා වහා ඇසුවාය.
මෙහෙයුම් කළමනාකරු තනතුරුට අංජන තෝරාගත්තේ සම්මුඛ පරීක්ෂණ තුනකින් පසුවය. කිසිදු වංචාවක් එහිදී සිදුවූයේ නැති බව ඇය හොදින් දනී. ව්‍යාපෘතියේ වැදගත්ම තනතුරක් වූ එයට දේශපාලන මැදිහත්වීමේ වලින් තොරව සුදුස්සකුම යොදාගත යුතු යැයි කියමින් තමන් ඇමති කෙනෙකු සමගද හැප්පුණු බව ඇයට මතක තිබේ.
“අපේ අක්කගෙ පුතා අනේ. එයාට පීඑච්ඩී එකකුත් තියනවා. ඉන්ටර්වීව් දෙකකින් තේරිලා අන්තිම එකට යන්න ලෑස්ති වෙලා හිටියේ. දවසකට විතර කලින් ඊමේල් එකක් ආවලු එන්න එපා, හදිසි නිසා දෙවෙනි ඉන්ටර්වීව් එකේ ප්‍රතිපල වලින්ම එක්කෙනෙක් තෝරගත්තා කියලා. මම දන්නෑනෙ සුජා ඔයා ඕකෙ හෙඩ් කියලා එතකොට. නැත්නම් මම කතා කරලා පොඩි පුෂ් එකක් දෙනවා”
සුජාතා අසා සිටයේ කැළඹීමෙනි. මෙවන් කිසි දෙයක් නොවූ බව ඇයට විශ්වාසය. නමුත් අංජනටද සටනක් දිය හැකි තරුණයෙකු අවසානය තෙක් ආ බවත් ඔහු අන්තිම සම්මුඛ පරීක්ෂණයට නොපැමිණි නිසා අංජන පහසුවෙන් තේරුණු බවත් ඇයට එක්වරම මතක් වූයේ සිහිනයකින් මෙනි.
“අනේ විනීතා මම පොඩ්ඩක් ඒක හොයලා බලන්නම් දැන් අවුරුදු ගානක්නේ.”
සුජාතා වහා දුරකථනය තබා ව්‍යාපෘතියේ මානව සම්පත් නිලධාරීට ඇමතුමක් ගත්තාය. මේවා සුළුවෙන් තැකුවොත් විගණනයටද හසුවිය හැකි දරුණු ගැටළු බවට පත්වීමට හැකි දේය.
“සමන් දැන්ම මට මේල් කරන්න අපි ඔපරේෂන් මැනේජර් රෙක්රූට් කරන්න කට්ටියට යවපු ඊමේල් සේරම”
ඇය සිටියේ කැළඹීමෙනි.
ඇයට විනීතාගේ ඥාති පුත්‍රයා මතක වයසේ හැටියට ඉතා හොද සුදුසකම් තිබූ ඔහු විශිෂ්ඨ අයුරින් සම්මුඛ පරීක්ෂණයටද මුහුණ දුන් නිසාය. ඔහු අවසාන පරීක්ෂණයට නොපැමිණියේ තමන් දෙන්නේ යැයි කිවු වැටුප් හා වරප්‍රසාද පැකේජය මදිවූ බැවින් බවය ඇය හා අනෙකුත් නිලධාරීන් පසුව තීරණය කළේ. නැතිනම් අප්‍රිකානු රටවල් දෙකක මීට සමාන ව්‍යාපෘතිවල දිගු කලක් වැඩ කළ ඔහු තෝරාගැනීමට ඇයද තීරණය කර තිබිණි.
විනාඩි දහයකට පසුව ඇය සිටියේ ස්මාර්ට් ෆෝනයේ ඊමේල් එකින් එක පිරික්සමිනි. අවසානයට ඇත්තේ අංජන තෝරාගත් බව කියා ලිපියේ ස්කෑන් පිටපතක් සමග ඔහුට යැවූ ඊමේලයයි. ඊට පෙර ඇත්තේ තෙවන සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්නට කියා වැඩිම සුදුසුකම් ඇති පස් දෙනාට යැවූ ඊමේලයයි. එහි යායුතු පේළිය බැලූ ඇය නළල රැළි කරගත්තාය.
පස් දෙනාගේම ඊමේල් එහි පෙනෙන්ට තිබේ. අනෙකුත් සිව් දෙනාටම තේරුණු අන් අය දැනගැනීමට එයින් හැකිව තිබූ බව ඇයට වැටහිණි. ඊමේල් යැවීමේදී ලිපින කොපි කිරීම මිස මෙලෙස පොදුවේ ලිපින දැමීම නොකරන ලෙස තමන් පුන පුනා සමන්ට කියා තිබූ බව ඇය සිහි කළේ කෝපයෙනි.
අංජන එවැනි නිහීන වැඩක් කිසිලෙසකින් නොකරන බව දන්නා සුජාතා සිතුවේ අනෙක් තිදෙනාගෙන් කෙනෙකු දක්ෂයා ඉවත් කිරීමට එළෙස කරන්නට ඇති බවය. කෙසේ හෝ නැවත කාර්යාලයට ගිය විට එය අනිවාර්යෙන් සොයා බැලිය යුතු බවට ඇය දුරකථනයේ සටහනක් දමා ගත්තාය.
සුජාතාට වැඩි දුර ඒ ගැන සිතන්නට වූයේ නැත්තේ රිය ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළු වූ බැවිනි. ඇය වහා අඩුම කුඩුම එක්රැස් කරගෙන බහින්නට සූදානම් වූයේ නැවත කාර්යාලයට පැමිණීමෙන් පසු ඒ ගැන සොයාබැලිය යුතු බව සිතාය.
—————————————–
සවර්ණභූමි ගුවන් තොටුපලෙන් මායි හොන්ග් සොන්ග් වෙත ප්‍රාදේශීය ගුවන් යානයක ගිය සුජාතා පිටතට ගොස් ඌබර් රියක් සොයා එයට නැග මාර්ග සිතියම දුරකථනයේ බැලුවාය. භාවනා මධ්‍යස්ථානයට යෑමට පැය ගණනාවක් ගතවේ. ගුවන් තොටුපලේදී සුසිල්ට හා පුතාට කතා කළ බැවින් හිත නිදහස්ය. ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතුද පෙර දිනයේ සිට අංජන වෙත භාර දුන් බැවින් ඒ ගැනද වදවීමට දෙයක් නැත.
ඇය පිටුපස අසුනේ පහසු පරිදි දිගාවී දෙපාද ඉහළට ගෙන ස්වර්ණභූමි ගුවන් තොටුපළේ පොත් හලකින් මිලට ගත් රොබින් ෂර්මාගේ නවතම පොත වූ “ The Titan Play Book” කියවන්නට පටන් ගත්තාය.
රොබින්ගේ “The Monk Who Sold His Ferrari” ගෙනවිත් දී ඇයද ෂර්මාගේ රසිකාවියක කළේ සුසිල්ය. ඇමරිකාවේ ජීවත් වුවත් ඉන්දියානු සම්භවයක් ඇති රොබින් අපූරුවට බටහිර හා පෙරදිග ක්‍රම සංකලනය කර ඒ පොතේ ඇති මනස හා සිරුර හසුරුවා ගැනීමේ උපදෙස් ලබාදී තිබූ බැවින් ස්ටීවන් කොවේ, ඩේල් කාර්නගී වැන්නන්ගේ පොත් වලට වඩා ලාංකික බෞද්ධ හිතකට ඒ පොත් සමීප කරගන්නට පහසුය.
ඇය ඒ පොතේ ආ විවිධ මනස සන්සුන් කරගන්නා ක්‍රම උපයෝගී කරගත් අවස්ථා පසුගිය වසර කිහිපයේ තිබිණි. රොබින් පවසන පරිදි වදුරකු තැනින් තැනට පනින්නාක් මෙන් සිතුවිල්ලෙන් සිතුවිල්ලට පනින මනස තමන්ගේ පාලනයට ගත යුතුය. හෙටින් ඇරඹෙන සතිය ඒ සදහා මග විවර කරනු නොඅනුමානය.
————————————————————–
“ඉනර් පීස්” භාවනා මධ්‍යස්ථානය වෙත පැමිණ රියෙන් බැස දෙපා දිගහැරෙන තුරු මදක් සිටගෙන සුජාතා වටපිට බැලුවාය. ඇය සිතේ ඇදගත් ලෙසම වන මැද එහිම කොටසක් ලෙස සකසා ඇති මෙහි ඇත්තේ අපූරු සරලත්වයකි.
වටිනා කියන දේ මධ්‍යස්ථාන කාර්යාලයේ සේප්පුවකට භාර දුන් ඈ මුදල් ගෙවා තමන්ට හිමි කුටිය කරා ගියාය. වන මැද සාදා තිබූ එම කුටිය පිහිටා ඇත්තේද තනිවය. එහි ඇත්තේ කුඩා කාමරයත් යාබද නාන කාමරයත් ඇදත් ඇදුම් රාක්කයකුත් පමණි. තව සතියක් යනතුරු තමාට සෙවණ දෙන්නේ මේ සරල කාමරයයි.
ඇයගේ වැඩසටහන ඇරඹෙන්නේ ඊළග දිනයේ උදෑසන හතරට බැවින් සුජාතා ඇග පත සෝදාගෙන මදක් ඇදේ ඇළවුණාය. කළ යුතු වැඩක් හෝ සහභාගි විය යුතු රැස්වීමක් ඔළුවේ තබා නොගෙන දවසක් ගෙවන්නට ලැබුණේ වසර ගණනාවකිනි. ඇද අසල කියවිය යුතු වාර්තා කිහිපයක් හෝ නැති වීමද වෙනසකි. දුරකථනයද ක්‍රියා විරහිත කර සේප්පුවේ තබා ආ බැවින් විනාඩි පහෙන් පහට හඩා සන්සුන් බව බිදෙන්නට මගක් නැත.
————————————————————–
උදේ හතරේ සිට විවිධ භාවනා, යෝග ක්‍රම ප්‍රගුණ කරමින් පළමු දිනය ගෙවිණි. ආතරයිටිස් රෝගයෙන් පෙළෙන සුජාතාට ආසනවල රැදීම හා වැඩි වේලාවක් හිදගෙන භාවනාවේ යෙදී සිටීම අසීරු වුවත් තමන් සිතුවාට වඩා හොදින් එයට මුහුණ දෙන බව ඇයට සිතිණි.
සරල සුදු වතින් සැරසී, තෙල් මිරිස් නැති සීනි ලුණු රස රහිත නිර්මාංශ ආහාර ගැනීමේ ඇත්තේද පුදුම සැහැල්ලුවකි. විවිධ ජාතීන්ට අයත් තවත් විස්සක් පමණ දෙනා වැඩසටහනට සහභාගී වූවත් එකිනෙකා කතා කිරීමක් හෝ විස්තර ඇසීමට තැත් කිරීමක් නොමැත. සියල්ලන්ම පැමිණ සිටින්නේ තමන්ගේ ඇතුළාන්තයෙන් ශාන්තිය සොයාගැනීමට මිස අලුත් මිතුරන් හදුනාගන්නට නොවේ.
මධ්‍යස්ථාන වැසියෝ එහා මෙහා යෑමේදී පවා කලබලයක් නැත. කුරුළු හඩ හා වනස්පතීන්ගේ සරසරය බිදෙන්නේ ආපන ශාලාවේ දමා ඇති ගයාත්‍රි මන්ත්‍රයේ හඩිනි. එය පටිගත කර තම රියේද දමා ගත යුතු බව සුජාතා සිතා ගත්තේ සිත් නිවීමටද සවණ සැනසීමටද එහි ඇති අපූරු හැකියාව නිසාය.
——–
රාත්‍රී දහයට පමණ අජාන් තුමාගෙන් ප්‍රශ්න අසා අවසන කුටියට පැමිණි සුජාතා ඇදේ හිදගෙනම හුස්ම ගැනීම පිළිබදව සිත යොමු කරගෙන සිටියාය. ඇගේ දොරට තට්ටු කරන හඩ ඇසුණේ විනාඩි විස්සකින් පමණ පසුය.
———
වැඩසටහනට සහභාගී වන්නන් බොහෝ වේලාවක් කුටි තුළද භාවනා කරන බැවින් සාමාන්‍යයෙන් කුටිවල වසන්නන්ට කිසිදු විටක බාධා නොකරන බව සුජාතා දැන සිටියාය. ඇය වහා ඇදෙන් නැග දොර හැරියේ ඒ නිසාය.
කහ නිල ඇදුමෙන් සැරසුණු මධ්‍යස්ථාන සේවකයකු වෙනුවට ඇය මුලින්ම දුටුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. ලාංකිකයන් යැයි බැලූ බැල්මට කිව හැකි දෙදෙනෙක් ඊට ඉදිරියෙන් ඇය දෙස බලා සිටිති.
“මිසිස් සුජාතා බස්නායක”
“ඔව්”
“මැඩම් අපි ලංකාවේ එම්බසි එකෙන්”
සුජාතා තුෂ්ණීම්භූතව බලා සිටියාය. මහා දුරක් ගෙවා බැංකොක් සිට තමන් හමුවට මේ රැයේ තානාපති නිලධාරීන් පැමිණ සිටියේ ඇයි?
“ඇයි, මගේ ගෙදර මුකුත් කරදරයක්ද?”
“නෑ මැඩම්, ඔබතුමී සම්බන්ධ කරගන්න අපි විස්තර හොයාගත්තේ ගෙදරින් තමයි. එහෙ කරදරයක් නෑ. රටේ ලොකු ප්‍රශ්නයක් ඇතිවුණ බවක් ඔබතුමී දන්නේ නැතිව ඇති?”
“ප්‍රශ්නයක්? මං බැංකොක් එයාර්පෝට් එකේදී අන්තිමට ලංකාවේ නිව්ස් බැලුවේ. එතකොට මුකුත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. මෙහෙදි ඒවා බලන්නේ නෑනේ. ඇයි මොකද වෙලා තියෙන්නේ?”
“මැඩම් කලබල නොවී මේ ටික බලන්න.” ඔහු ඇය වෙත පෑවේ තායි නිව්ස් ඉංග්‍රීසි පුවත් පතකි.
එහි මුල් පිටුවේ පහළ පින්තූරය හා හෙඩිම දුටු ඇගේ ඇග පණ නැති වෙන්නාක් මෙන් දැනිණි.
“Separatist threatens to poison the nation! Sri Lanka defenseless!” යටතේ ඇති පින්තූරයේ දක්වෙන්නේ ඇගේ කාර්යාල කාමරයයි. එහි සිටගෙන කුඩා බෝතලයක් වැනි යමක් ඔසවාගෙන සිටින අංජනගේ රුව පැහැදිලිව දිස්වේ. උපැස් නොපැළද සිටි සුජාතාට අනෙකුත් කුඩා අකුරු කියවා ගත හැකි වූයේ නැත.
“ප්ලීස් මොකද වෙලා තියෙන්නේ කියන්න. මේ මගේ ඔපරේෂන් මැනේජර්” ඇය පසුපසට ගොස් ඇදේ හිද ගත්තාය. සිසිල් රාත්‍රියක් වුවත් හුස්ම හිරවෙන ගතියක් දැනෙන බවද දහදිය දමන බවද ඇයට තේරේ.
“මැඩම්ට වීඩියෝ එක පෙන්නන්න. මැඩම් සිකුරාදා උත්සවේ තිබිලා ඊයෙ වෙනකොට මුළු ඩිස්ට්‍රිබියුෂන් සෝන් එකටම වතුර ගිය බව මැඩම් දන්නවනේ. ඒ ප්‍රදේශවල තිබුණු ජල ටැංකි හයම පිරිලා තිබුණේ. ඊයෙ දවල් වෙද්දි මේ වීඩියෝ එක හැම තැනම ගියා. මැඩමුත් ඊයෙ උදේ රටින් පිට උන බව දැනගත් ගමන් හැමෝම කලබල උනා.”
මෙතෙක් නිහඩව සිටි අනෙක් ලාංකිකයා ඇයගේ අතට පත් කළේ ක්‍රියාත්මක වන ටැබ්ලට් පරිගණකයකි. එහි වීඩියෝවක් දිස්වේ. මන්දහාසයක් රැදි මුවින් කතා කරන්නේ අංජනය. ඔහු පරික්ෂණ නළයක් වැනි යමක් රබර් අත්වැසුම් යෙදූ අතකින් අල්ලාගෙන සිටියි.
“අපි රජයට අපේ ඉල්ලීම් බොහොම සුහදව ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒකට ප්‍රතිචාර නැති නිසා අපි හිතුවා මේ විදිහට වෙන ක්‍රමයකින් ඉල්ලලා බලන්න. මගේ අතේ තියෙන්නේ (ටීක්) කියන රසායන ද්‍රව්‍ය. ඔබතුමන්ලාගේ අතේ තියෙන ෆෝන් එකේ පොඩ්ඩක් ගහලා බැලුවොත් පෙනෙයි ඒකෙන් මොකද වෙන්නේ කියලා. මේ රසායනය අපිට මේ ජලාශයට මිශ්‍ර කරන්න පුලුවන් තත්පර ගණනින්. ඒ වගේම අනිත් ජල ටැංකි වලට. හැම නළ මාර්ගයකම හැතැම්ම බාගෙන් බාගෙට ඕනෑම මොහොතක අපිට පුපුරවන්න පුලුවන් විදිහට බෝම්බ සවිකලා තියෙන්නේ. අපිට පැය කිහිපයක් කල් දෙන්න පුලුවන්. නමුත් මිලියන කාලක ජීවිතද රටේ පොඩි ප්‍රදේශයක්ද කියන එක රජයට බොහොම පහසුවෙන් ගන්න පුලුවන් තීරණයක්. පැය බාගයක් ඇති.”
අංජන විස්තර කරන්නේ ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී කරුණු කියන පැහැදිලි ස්වරයෙන්මය.
වීඩියෝවේ රසායනයේ හඩ නෑසෙන පරිදි විකෘති කර ඇතත් එය බොටුලිනම් වැනි ඒ කාණ්ඩයේ උග්‍ර විෂක් වන්නට ඇති බව ඇයට සිතිණි. ව්‍යාපෘතියේ ජල පවිත්රාකාරක රසායන වන ක්ලෝරීන්, ඇලම් ආදිය එක්කෙරෙන්නේ ස්වයංක්‍රීයව බැවින් ඒ ආකාරයෙන්ම පහසුවෙන් මෙම විෂ රසායනයන්ද ජලයට මුසු කිරීම පාලන මධ්‍යස්ථානයෙන් කළ හැකිය.
“අපිට මුලින්ම කඹුරුපොල වේල්ල පුපුරවන්න පුලුවන්. එතකොට පහළ අක්කර කීයක් යටවෙනවද කියලා ඔබතුමාලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඊටත් නිකම් වතුරෙන් නෙවෙයි. (ටීක්) වතුරෙන්. ආය අවුරුදු සීයක් ගියත් ජීවී වාසයකට නුසුදුසු, කිසිම බෝගයක් පැල නොවෙන බිමක් ඉතුරු වෙන්නේ ඒ වතුර යන පාර දිගට. වතුර ගෑවෙන ලොකු මී හරකෙක් මැරෙන්න යන්න විනාඩි තුනයි. මනුස්සයෙක්ගේ බර හා ශාරීරික යෝග්‍යතාවය අනුව තත්පර තිහේ සිට විනාඩිය දක්වා ඒක වෙනස් වෙනවා. ඔබතුමන්ලාගේ රජයේ සියළු තැන්වලට අපේ ඉල්ලීම් යොමු කරලා තියෙන්නේ. අපි සාකාච්ඡා කරන්න ලෑස්තියි. නමුත් මේ මධ්‍යස්ථානයේ පාලනය සම්පූර්ණයෙන් අපේ අතේ නිසා සාකච්ඡා කරන්න එන කණ්ඩායමට යම් අනතුරක් කළත් මේ මෙහෙයුම් කරන්න තවත් ඕනෑ තරම් පිරිසක් ඉන්නවා. ඔබතුමන්ලාගේ රජයේ ඉල්ලීමට අනුව මේ ව්‍යාපෘතිය ඉදිකළේ සියළුම ස්ථාන එකම මධ්‍ය මෙහෙයුම් පද්ධතියකින් පාලනය වෙන්න. ඉතිං ඒ පාලනය දැන් අපි අතේ. අපි පැය කිහිපයක් කල් දෙන්න කැමතියි.”
සුජාතා ඇද අසල අතපත ගා ප්‍රෙෂර් පෙත්තක් ගෙන කටට දමා ගත්තේ නළල දෙපස බෙර ගසන්නාක් වැනිව රුධිරය ගලන අයුරු දැනෙන්නට වූ බැවිනි.
විවිධ රටවල සිටිනා අංජනගේ මිතුරන්, ඔහු සතුවූ නවීනතම ඉලෙක්ට්‍රොනික උපකරණ, ව්‍යාපෘතියේ සියළු අංගෝපාංග නිසි ලෙස දැනගැනීමට ඔහු දැක්වූ උනන්දුව මේ සියල්ල වසර ගණනාවක් දැක දැක තමන් අද ගැහැණියක මෙන් මේ සා විනාශයකට ඔහු මග පාදා ගන්නා තුරු බලා සිටියාද යන්න ඇයටම සිතාගත හැකිවූයේ නැත.
අංජන සේවය කරන සංවිධානයෙන් ඔහුට මිනිසුන් හා වැඩ කිරීමටද ඔවුන් වසග කරගැනීමටද අවශ්‍ය පුහුණුවද නොඅඩුව ලබාදෙන්නට ඇති බව දැන් ඇයට වැටහිණි. තමා වැනි ලෝකය ගැන, මිනිසුන් ගැන අත්දැකීම් ඇති තලතුනා ගැහැණියකගේ උපරිම විශ්වාසය පවා ලබාගන්නට ඒ පුහුණුවෙන් ඔහුට හැකියාව ලැබී ඇත.
“දෙවියනේ. මොකද උනේ? ජනාධිපතිතුමා සාකච්ඡා කරන්න කැමති උනාද?” සුජාතා ගොත ගසමින් ඇසුවේ අද ඉරු දින රාත්‍රිය බව වහා මතක් වූ බැවිනි. ව්‍යපෘතිය අංජනගේ පාලනයේ දින දෙකක් තිබී අවසන්ය. තානාපති කාර්යාල නිලධාරීන් මුහුණෙන් මුහුණ බලාගනු ඈ කුහුලින් බලා සිටියාය.
“ජනාධිපති තුමා මාධ්‍යයට ආවේ නෑ තවම. සැකයක් තියෙනවා එතුමට යම් විෂක් ශරීරගත වෙලා කියලා. ආරක්ෂක ලේකම්තුමා තමයි තත්වය හැන්ඩ්ල් කරන්නේ. මැඩම් කරුණාකරලා දැන් අපි එක්ක යන්න ලෑස්ති වෙන්න ”
සුජාතා නිනව් නැත්තියක මෙන් බලා උන්නාය. උත්සවයේදී තද නිල් ඔසරියෙන් සැරසුණු අභිරූමත් බාලිකාවක බන්දේසියක තබා ගෙනා නැවුම් දිය පිරවූ මැටි කොතලය මදහසින් අතට ගත් ජනාධිපතිතුමා දිය පොදක් මුවට වත් කර ගනුද සුරතට ගත් දියෙන් මුහුණ දොවා ගනුද ඇගේ මනසේ නොයෙක් වියවුල් මැද මතුවී පෙනිණි.
උපුටා ගැනීම: පවිත්‍රා අභයවර්ධන