සාරාව මට තුන් වතාවක් හම්බ වෙලා තියෙනවා.සාරා හරිම ලස්සනයි. මුලින්ම දැක්කේ බදුල්ල දෙනුවර මැණිකේ කෝච්චියෙදි.
අපි කොලඹ ඉඳල නානුඔය වෙනකන් ආවා. ඒ වෙද්දී අපි හොඳ යාලුවෝ වෙලා ඉවරයි. සාරා මට දෙවෙනියට හම්බුනේ කඳුකරයේ මීදුමෙන් පිරුණු ලස්සන උදේ වරුවක. අපි දෙන්නා කඳු මුදුනටම නැග්ගා.නගින හැම පියවරක් ගානේම සාරා මගේ වාරුවෙන් තමා උඩට ගියේ.එහෙම කරන්න එයාට ලොකු හේතුවක් තිබුනා. එයා උත්පත්තියෙන්ම ආබාධිත කෙල්ලෙක්. හැබැයි මම ඒ වචනෙට කැමති නැහැ.මොකද ඒ වගේ ධෛර්යමත් කෙල්ලෝ හරි අඩුයි.
එයාට අඩුවකට තිබුනේ කකුලකුයි, අතකුයි විතරයි. හැබැයි එයා ලඟ ඊට වඩා ගොඩාක් දේවල් තිබුනා. සෑහෙන්න.
ඒදා දවස අන්තිම වෙද්දී සාරායි මමයි අතර ගොඩනැගුනු බැඳීම මෙහෙමයි කියන්න මට තේරෙන්නෙත් නැහැ. ඒක ආදරයද, අනුකම්පාව ද , රාගයක් ද කියන්න දන්නේ නැහැ.හැබැයි අපි දෙන්නටම ආයේ වතාවක් මුණගැහෙන්න ඕනේ උනා. අපි ඒක කටින් නොකිව්වත් අපි දෙන්නගෙම ඇස් වල ඒ දේ ලියවිලා තිබුනා. ඇත්තටම අපි ඊට පස්සේ හම්බුනා. ඒ තමා සාරාත් මමත් හම්බුනු තුන්වෙනි දවස වගේම අන්තිම වතාව.
ඒක ගම්මානේ කෙලවරට වෙන්න තිබුනු පුංචි අඳුරු හෝටල් කාමරයක්.
” ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී බැඳුනා ඉබේ “
සාරාගේ කිසිම වෙනසක් මම දැක්කේ නැහැ. අපි දෙන්නා ලෝකේ දෙකෙලවරක උනාට මටවත්, එයාටවත් ඒකේ කිසිම ප්රශ්නයක් උනේ නැහැ . ඇත්තටම මට සාරාව තවත් ලස්සනට පෙනුනේ.හරියට වයිකිං දේව කතා වල එන දෙවඟනක් වගේ.මම වැඩිපුරම ආස කලේ සාරාගේ ගින්දර තඹ පාට කොන්ඩෙට. එයත් එහෙමයි මගෙ කලු කැරලි කොන්ඩෙට එයා ආස කලා.
ගෑනියෙකුගේ සන්තානයේ මොන තරම් දේවල් තියෙනවද. පිරිමි අපිට එව්වා හැමේකක්ම තේරුම් ගන්න නම් බැරි වෙයි කිසිමදාක. සාරා වගේ කෙල්ලෙකුගේ ධෛර්යය ඉස්සරහ පිරිමි අපි නිකන් වෙඬරු පිඩක් වගේ දියවෙලා යනවා. මම ඒ ධෛර්යය මීට කලින් දැක්කේ අපේ අම්මගෙන්.
සාරා ආපහු බෙල්ජියමට ගියා. ඊට පස්සේ එයාවත්, මමවත් ආපහු කෝල් එකකින්වත් කතා කලේ නැහැ.ඇත්තම කිව්වොත් මම සාරාව අමතක කලා කිව්වොත් හරි.
ඔහොම කාලය ගෙවුනා.ලෝකෙට ඊට වඩා ප්රශ්න කරදර ඕනේ තරම් තිබුනා උත්තර හොයන්න. දවසක් මට කෝල් එකක් ආවා. ඒක බෙල්ජියමෙන්. හැබැයි ඒ සාරා නෙමේ.එයාගේ අම්මා.
ලෝක වසංගතයට සාරාත් පරාද වෙලා. සාරා පොඩි කාලෙ ඉඳලම සංකූලතා එක්ක ජීවත් වුනු කෙනෙක්. ඒ නිසා සාරාට තවදුරටත් වයිරසයත් එක්ක සටන් කරන්න ශක්තිය ඉතුරුවෙලා තිබිලා නැහැ.සාරාගේ අම්ම එයා බොහොම උපේක්ෂාවෙන් ඒක දරාගෙන තිබුනා.
” සාරා නූර් වෑන් ඩ’ර්’ හර්ස්ට් ” ගොඩක් මිනිස්සුන්ට පේන විදිහට අබ්බගාත කෙල්ල, උපන්නදා ඉඳලා දුක් වින්ද කෙල්ල, ජීවිතේම අසරණ දරුවෝ, ලෙඩ්ඩු වෙනුවෙන් කැප කරපු ඒ ධෛර්යයවන්ත, ශක්තිමත් ගින්දර තඹ කොන්ඩකාරි ධෛර්යය ගැන ලොකු පාඩමක් මට කියල දුන්නා.
මට කරන්න පුලුවන් ඒ කෙල්ලගේ ආත්මයට ශාන්තිය ප්රාර්තනා කරන එක විතරයි. මොකද මම දවසක් හරි ඒ කෙල්ලට ආදරේ කලා.
උපුටා ගැනීම: Irantha Fernando