මිනී කාමරේ (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
තවත් මිනී කාමරේ කථා කිහිපයක් ලියන්න හිතුන. මේවා සියල්ල සත්ය කථා වුවත් නම ගම ආදී හඳුනා ගැනීමේ කිසිම තොරතුරක් සඳහන් නොකරමි. මෙහි අදහස කුණු රසය හෝ කුතුහලය ඇවිස්සීම නොව ඔබ වැඩිපුර නොදකින දේ ගැන සහ මරණය ගැන යම් අවබෝධයක් ලබා දීමටයි. බොහෝ දෙනා සියලුම සෙල්ලම් නටන්නේ මේ අවබෝධය අඩුවීම නිසයි. මේ සඳහා එකිනෙකට වෙනස් සිද්ධි හතරක් තෝරා ගෙන ඇත.
ඒ කොටි ත්රස්ථයින් රටපුරා බෝම්බ පුපුරවණ සමයයි. කොළඹ පුරා බෝම්බ සැකසීමේ මධ්යස්ථාන එකල ඔවුන් කුලී නිවස්න වල රහසේ පවත්වා ගෙන ගියහ. මෙම භයානක ත්රස්ථයින් ඕනෑම අවස්ථාවක දිවි තොර කර ගැනීමට සූදානම්ව සිටියහ. දිනක් කොළඹ එක්තරා නිවස්නයක් ගැන ආරක්ෂක අංශ වලට ඔත්තුවක් ලැබී තිබුණි. ඔවුන් නිවස්නය මහ දවල් වටලනු ලැබූහ. නමුත් මෙහි සිටි බෝම්බ විශේෂඥ්ඥයා හතර අතින් පැනයාමට නොහැකි සේ වට කළ විට ඔහු සතු අධිබල බෝම්බයක් පුපුරවාගනු ලැබීය. මින් ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි තරම් කැබලි වලට කැඩී ගොස් තිබුණි. එය කොතරම් විනාශයක්ද යත් මෝචරියට ගෙන ආවේ පිළිස්සී ගිය විශාල පස් ගොඩකි. එහි ඇඟිලි, නියපොතු ආදී කුඩා කොටස් පස් සමඟ මිශ්ර වී තිබුණි. පස් පිළිස්සී කලු පැහැ ගැන්වී තිබුණි. මෙහි කොටස් රස පරීක්ෂක වෙත යවනු ලැබීය. මෙවන් විනාශයන් දැන් නැවතීම ගැන ස්තූති වන්ත වෙමු.
දෙවන සිද්ධිය ඉතාම අවාසනාවන්ත එකකි. අවුරුදු විසිගණනක තරුණයෙක් වූ ඔහු රිය අනතුරකට පසුව රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී දින කිහිපයකින් හදිස්සියේ මිය ගොස් තිබුණි. රිය අනතුරෙන් ඔහුගේ කශේරුව කැඩී ගොස් සුෂුම්නාවට බරපතල ලෙස හානි වී තිබුණි. නමුත් එය මරණය ඇතිවීමට හේතුවක් නොවේ. මෙම අනතුරෙන් ඔහුගේ පපු ප්රදේශයෙන් පහල සම්පූර්ණයෙන් පණ නැති වී ගොස් ඇත. ඔහුගේ උදර කුහරය කපා විවෘත කළ විට ඒ තුල වූයේ විශාල සුප් එකකි. ඇත්තෙන්ම අනතුරෙන් ඔහුගේ බඩවැලක් පුපුරා ගොස් ඇත. නමුත් ඔහුගේ උදරයේ වේදනාව දැනීමක් නොමැතිවීම නිසා මෙය කිසිවකුගේ අවධානයට ලක් වී නැත. ක්රමයෙන් බඩවැලෙන් කාන්දු වන අපද්රව්ය උදර කුහරය තුල එකතු වී දරුණු ලෙස විෂ බීජ ශරීර ගත වී අවාසනාවන්ත ලෙස මරණය සිදුව තිබේ. එක් අතකින් සදාකාලිකව දුක් විඳීමට වඩා වාසනාවකි. මෙවැන්නක් වළක්වාගත හැකිව තිබූ අවාසනාවන්ත මරණ ගොඩට වැටේ.
තුන් වන සිද්ධිය අවුරුදු හතළිහකට ආසන්න කාන්තාවකගේ වේ. ඇය හෝටල් කාමරයක් තුල මිය ගොස් තිබියදී හමු වී තිබුණි. ඇය සමඟ සිටි අනියම් පුරුෂයා පලා ගොස් තිබුණි. මරණයට හේතුව පැහැදිලි නොවීය. මළ සිරුර හොඳ තත්වයේ තිබුණි. කොණ්ඩය වනා දා තිබූ අතර ස්නානය කළ බවට සාක්ෂි විය. මරණය රාත්රී කාලයේ සිදුවී තිබුණි. එහි හිස් කබල කපා විවෘත කළ විට දැකගත හැකි වූයේ හිස් කබල ආශ්රිතව හට ගන්නා මෙනින්ජියෝමා නම් ගැටිත්තක් මොළය තුලට නෙරා ඇති අන්දමයි. නමුත් එය එතරම් විශාල එකක් නොවේ. මේවා මඟින් හිස් කබල තුල පීඩනය වැඩිවී මේ ආකාර මරණ ඇති විය හැකිය. ඇයගේ නෑදෑයින්ට අනුව ඇය කලක් තිස්සේ තදබල හිසේ කැක්කුමකින් පෙලී සිට ඇති අතර එම කාමරයේ තිබී සිද්ධාලේප කුප්පියක්ද සොයා ගන්නා ලදී. වෙනත් සැකකටයුතු කිසිම තුවාලයක් සිරුරේ නොතිබුණි. කෙසේ හෝ මෙම සොයා ගැනීම අනියම් පුරුෂයා මහත් අකරතැබ්බයකින් ගලවා ගනු ලැබීය.
අවසන් සිද්ධිය ඉතාම කුරිරු මරණයකි. ඔහු රටේ නම ගිය පාතාල සාමාජිකයෙකි. ඔහු ප්රතිවිරුද්ධ පාර්ශවයක් විසින් පළිගැනීමක් ලෙස මරා දමා තිබුණි. මේ ආකාර මරණ දකුණු ඇමරිකාවේ මත්ද්රව්ය කල්ලි අතර බහුලව දක්නට ලැබේ. මෙම පුද්ගලයාගේ හිස කොටස එක් තැනකින්ද, කඳ කොටස තවත් තැනකින්ද සොයා ගනු ලැබ තිබුණි. මේ කොටස් දෙක මෝචරියේ වෙන වෙනම ලොකර් දෙකක දා තිබුණි. මෙහි තිබූ සලකුණු අපූරු ඒවා වේ. හිස කොටසේ ඇස් වටා කඩුවක හෝ පිහියක තුඩකින් රවුමට ඉරි රාශියක් ඇඳ තිබුණි. ගෙල ඉතාමත් ඉහළින් කපා වෙන් කර තිබුණි. එය මරණය සිදුවූවාට පෙරද, පසුද යන්න පැහැදිලි නැත. කඳ කොටසේ දෑත් පිටුපසට තබා නයිලෝන් ලණුවකින් ගැටගසා තිබුණි. ගෙලද එකවර කපා නැත. එහිද සමේ ඉරි රාශියක් පිහිතුඩකින් ඇඳ තිබුණි. මීට අමතරව කලිසම් සාක්කු වල කසිප්පු පිරවූ කුඩා බෑග් කිහිපයක් තිබී හමුවිය. සෑමවිටම අපරාධකරුවන්ගේ ජීවිතය මේ අකාරයෙන් භයානක ලෙස කෙළවර වේ.
මෙසේ එකිනෙකට වෙනස් සිද්ධි හතරක් ගෙනහැර දැක්වූයේ මරණය ඕනෑම මොහොතක ඕනෑම ආකාරයකට පැමිණිය හැකි බව පෙන්වීමටයි. එය සූදානම්වද, සූදානම් නොමැතිවද ඉක්මනින්ද, සෙමින්ද ආදී ඕනෑම ආකාරයකට පැමිණිය හැකිය. තරුණ ජීවිත මේ ආකාරයෙන් අකාලයේ විනාශ වූ අවස්ථා ඕනෑ තරම් දැක ඇත. මින් බහුලම යුධ සමයේ යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන් සහ වාහන අනතුරු නිසා මිය ගිය තරුණයින් ය. මේ අතරින් බහුතරය මෝටර් සයිකල්, අධික වේගය, නිදි මත හෝ මත් පැන් යන එකක් හෝ කිහිපයක් නිසා සිදු වූ අනතුරු වේ.
උපුටා ගැනීම: Vipula Bataduwaarachchi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!