මේ කියන්න යන්නෙ හාමුදුරු කෙනෙක්ගෙ කතාවක්.
මගේ පවුල මධ්යම පාන්තික පවුලක්. ලොකූ දේවල් වලට සල්ලි තිබ්බෙ නෑ. නමුත් නොකා නොබී ඉන්න සෙට් වෙන තරං හිඟන සීන් එකේ හිටියෙත් නෑ. අම්මයි තාත්තයි දෙන්නම ජොබ්ස් කරා. රජයෙ රස්සා කරේ. සෝ කාල බීල අපිට උගන්නගෙන, රෝල ගහල බැලන්ස් කරගන්න පුළුවන් තරමෙ ආර්ථික මට්ටමක් තමයි තිබ්බෙ.
අපේ නෑ පරපුරේ හිටිය අර ධනපති ස්ටාටර් පැක් එක ඇප්ලයි කරන්න පුළුවන් ලෙවල් එකේ පවුලක්. අපේ අම්මට නෑ කමට අයිය වෙන ඩයල් එකක්. මිනිහ පොඩි කාලෙ ඉඳන් හොඳට ඉගෙන ගෙන, කැම්පස් ගිහිල්ල, සයන්ස් ඩිග්රී එකක් කරල, තනියෙන් බිස්නස් පටන් අරගෙන අර ඕන්ටප්රන(ර්) ලෙවල් එකට ගිය ඩයල් එකක්. අපේ අම්ම එහෙම හෙන උජාරුවෙන් කතා කරේ මිනිහ ගැන ඔය නෑ සනුහරේ ගැන ටොපික්ස් ඇදිල ආවම. අපේ තාත්තට ගහන්න කාඩ් එකක් තිබ්බෙ නෑ අම්මගෙ ඔය අයිය කාරයට ටැලි කරන්න. මේ ඩයල් එකට හිටිය දූල දෙන්නයි පුතයි. දූල දෙන්න හෙන කෑලි දෙක. ඒ නැන්දත් හෙන ලස්සනයි. පුතා ගියෙ ඉන්ටනැෂනල්.
මිනිහට අපි දැනුවත්ව ගාමන්ට් ෆැක්ටරීස් දෙකක් තිබ්බ. ගෙදර පෙජරෝ එකක් සහ තව වාහන තිබ්බ. ගේ ඇතුලෙ වෝටෆෝල් එකක් තිබ්බ. මම ඒ දවස් වල වෝටෆෝල්ස් දැකල තිබ්බෙ ට්රිප් ගියාමයි ටීවි එකෙනුයි විතරයි. මේ කියන්නෙ අනූව දෙදහ වගේ කාලෙ.
දෙදාස් දහය වගේ කාලෙදි මිනිහ දරුවොන්ව බන්දල කරල දීල, දේපල ටික ඔක්කොම දරුවන්ටයි ගෑනිටයි ලියල දීල මහණ උනා !
මහණ උනේ මේ පැත්තෙ තියෙන (මැති ඇමතිවරුත් එනව යනව කියල කියන) ලොකු පන්සලක. ලොකු උස්සවේකුත් තිබ්බ. මම ඔය කාලෙදි ඕලෙවල් නැත්තන් ඒලෙවල් කරනව. මහන උනාට පස්සෙ මිනිහ පංසලේ හිටියෙ නෑ. මිනිහ ආරණ්යයකට ගියා. ඊට පස්සෙ මනුස්සය ගැන ලොකු ආරංචියක් තිබ්බෙ නෑ. අපිටත් ටික ටික අමතක වෙලා ගියා.
—
මේ ලඟදි අපේ ගෙදර මිනිස්සුන්ට ඕන උනා අපේ මැරිච්ච සීයගෙ දානෙ දෙන්න ගෙදෙට්ට හාමුදුරුවො වඩම්මල. සීය මැරුනෙ අනූ අටේ. අපි නිකමට හිතුවොත් මිනිහ මැරුණ වෙලාවේම ලංකාවෙ කොහේ හරි ආයි ඉපදුනා කියල, මිනිහ දැන් කැම්පස් යන, කෑලි අදින කොල්ලෙක්. අවුරුදු විසි දෙකක්. කමක් නෑ ගෙදර මිනිස්සුන්ගෙ ආතල් එකනෙ. දැන් කොහොම හරි කොරෝන සීන් එක නිසා පන්සල් වලින් දාන මාන වලට පිරිත් වලට වඩින්නෙ නෑ. වඩම්මන්න හාමුදුරු කෙනෙක් හොයා ගන්න නෑ. ඔන්න එතකොට කට්ටියට උවමනා උනා මේ සිටුවේෂන් එකත් චාන්ස් එකක් කරගෙන අර හාමුදුරු මාමව හොයාගෙන මිනිහව ඉන්න තැනකින් වඩම්මන්න. නෑයොනෙ. අඳුරනවනෙ. බැහැයි කියන එකක් නෑ කියල කට්ටිය හිතල ආරංචි කරල බැලුව කොහෙද ඉන්නෙ කියල. ඔන්න එතකොට ආරංචි උනා කොළඹ මොකද්ද පන්සලක ඉන්නව කියල.
මිනිහ එන්නං කිවුව. බෑ කිවුවෙ නෑ. කොළඹ ඉඳන් මෙහෙට ඌබර් එකක් දාල ගෙන්නුව. ආව. දානෙ දුන්න. බණකුත් කිවුව. බණවල කන්ටෙන්ට් එක නං මට ලොකුවට සෙට් උනේ නෑ නමුත් අහන් හිටිය ඔන්න ඔහේ. ඒ බණ ඔය අපි අහන ටිපිකල් බණ වලට වඩා ටිකක් වෙනස් නමුත් ලංකාවෙ හාමුදුරුවරු ගැන මගේ තියෙන ඩිසපොයින්ට්මන්ට් එක කැඩෙන තරං ලෙවල් එකකට තිබ්බෙ නෑ. අනික මිනිහ මිනිහගෙ අතීත ජීවිතය ගැන පොඩි පම්පොරියකුත් ගැහුව. මේව මේව කරල, මේව මේව තිබිල තමයි මම ඔක්කොම අතැරල මහණ උනේ වගේ කතාවක්.
බණ සහ දානෙ ඉවර උනා. එයාව වාහනේ ආයි ගිහින් දාන්න උනේ මට. කොළඹ ඉදන් ආවට ආයි යන්නෙ කොළඹ නෙවෙයි ළඟ තැනකට කියල කිවුව. යන තැන හරියටම එක්සැක්ට්ලි අහගන්නෙ නැතුව මිනිහවවත් නග්ගගෙන ඔන්න දැන් යන්න පිටත් උනා.
දැන් යන ගමන් මට කියනව පුතා තප්පරේකට හැරෙන්නලු. මම හැරුන. මෙන්න යකෝ ෆෝන් එකක් දික් කරගෙන සෙල්ෆි ගහනව. දැන් මම අත් දෙක ස්ටීරින් වීල් එකේ තියාගෙන පාර දිහා තප්පර දෙකයි, මිනිහගෙ ෆෝන් එක දිහා තප්පර දෙකයි මාරුවෙන් මාරුවට බලනව. හරියට මිනිහට සෙල්ෆිය වදිනකන්. පන බේරගෙන එලවන්නත් ඕනෙ පොටෝ එකට ඉන්නත් ඕනෙ. මං බැලුව යකෝ මොන ලබ්බක්ද මේ ? අවුරුදු දහයකට කලින් වනගත උන මිනිහ නේද මේ ?
මිනිහගෙ බණ අහන ඉන්ටනැෂනල් කමිනිටි එකක් ඉන්නවලු ඒකෙ වට්සැප් ගෘප් එකට මගේ කන්ටැක්ට් එක දාගන්නලු ෆොටෝ එක ගත්තෙ. ඕකේ. හරි ඔයාගෙ ආතල් එකනෙ මට මොකෝ කියල මම දිගටම ඩ්රයිව් කරන්න ගත්ත. දැන් මිනිහ ඉන්නෙ මට පේන්නෙ ජස්ට් නිවන් යන පාත් එකේ නෙවෙයි ජාත්යන්තරේට ගිහිල්ලම නිවන් යන පාත් එකේ.
දැන් අර මම කලින් කිවුව මිනිහ මහණ උන පන්සල ලං වෙනකොට වගේ මම ඇහුව “හාමුදුරුවනේ හරියටම කොහෙටද යන්න ඕනෙ අර පන්සලටද” කියල. මෙන්න යකෝ කියපි “නෑ නෑ අපේ ගෙදර යං පුතා පාර දන්නව නේද” කියල. ගෙදර ? වට් ??
මිනිහව ඒ පාර ගෙදෙට්ට ගිහින් දැම්ම. ගෑනි එලියට එනකොට ගෑනිගෙ මූණෙන් මට තේරුණා මිනිහගෙ පැමිණීම ගැන ලොකු සතුටක් වත් සප්රයිස් එකක් වත් නෑ කියල. කතාවෙන් තේරුනේ මිනිහ යුශුවලි ගෙදර එනව යනව කියන එක. එක දුවෙක් හිටිය ගෙදර දූ පහලටවත් ආවෙ නෑ තාත්තව බලන්න. ඒ මිනිස්සුත් හිතනව ඇති මේ යකා මහණ උනා නං මහණ උන විදිහට ඉන්න දීපංකරේක ඉන්නෙ නැතුව ආයි මොන ලබ්බකට ගෙවල් අස්සෙ ලගින්න එනවද කියල. මොකද කවුරුවත් අල්ලල බලෙන් මහණ කරාද ? කන්න බොන්න නැති නිසා මහණ උනාද ? නොතේරුම් කමකට මහණ උනාද ? නෑ.
මිනිහමයි තිබ්බ දේවල් අතෑරල මහණ උනේ.
ඒ ගෙදර වාහන දෙකක් නවත්තල තිබ්බ. මම පිටත් වෙන්න හදනකොට මට කියනව මිනිහගෙ පුතාට ගේ හදාගන්න සල්ලි ටිකක් මදි වෙලා තියෙනවලු ඒ වාහන දෙක පොඩ්ඩක් විකුනල දෙන්න ට්රයි එකක් දෙන්නලු. මම හා බලන්නං කියල ආව.
මම මේක ගැන මෙතනින් එහාට කතා කරන්න යන්නෙ නෑ.
මේ; හැම දෙයක්ම තිබිල, හැම සැපතක්ම විඳල, සිහියෙන් සහ අවබෝධයෙන් තමන්ට මේව තවදුරටත් වැඩක් නෑ – තමන් අත්හරිනව – මහණ වෙනව කියල තීරණය කරපු මිනිහෙක්ගෙ අවුරුදු දහයකට පස්සෙ ස්ටේට් එක.
ඒ මිනිහ දැන් රැස් කරන්නෙ ධනය මිල මුදල් නෙවෙයි. සැටිස්ෆැක්ෂන් එක. ආත්ම අභිමානය. සතුට. තමන් සාර්ථකව ගත කරපු තමන්ගෙ අතීත ජීවිතය ගැන පුරසාරම් දොඩල ලබන ගැම්ම. තමන් කමිනිටි එකකට ගයිඩ් කරනව කියල ගන්න ෆීලින්ග් එක. මමත්වය. තමන්ගේ ගිහි ජීවිතයෙ ගෑනු, දරුවො සුවෙන් සතුටින් ඉන්නවද කියල බලල ලබන සතුට.
අපි ? අපි ගොඩ දෙනෙක් තාම ඕව රැස් කරන්න තියා සල්ලි නැති නිසා කාගන්න බැරි වෙච්ච කෑම ඇති ඕන තරං. අපි තාම විඳල නැති සැප ඇති ඕන තරම්.
උඹලට තේරෙනවද තමන්ව නැති කිරීම කියන එක කොයි තරං සංකීර්ණද කියන එක ?
උපුටා ගැනීම: Kalana Shalitha