සතුට සල්ලි වලට ගන්න පුලුවන්… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද 2021.01.07 ඔෆිස් ඉදලා වරුවෙන් ගෙදර ආවේ වැඩ කරන්න තරම් ඇගට ෆිට් එකක් නොතිබුන නිසා… කොරෝනාවත් හැදීගෙන එනවද මන්දා කියලා කල්පනා කර කර ගෙදර ආව මට ආව කියලා කරන්න දෙයක් තිබ්බෙත් නෑ.. කාමරේට වෙලා ඉන්න හිතකුත් නෑ යන්න කියලා දිහාවකුත් නෑ… කන්න බඩගිනි උනාට කන්න හිතකුත් නෑ…
මේ මොන මගුලක්ද කියලා මටම බැන බැන ඉන්නකොට තමා තේරුනේ මේකට හේතුව හිතේ සතුටක් නැතිකම කියලා… දැන් කොහෙන්ද සතුට හොයන්නේ… හරි මතක් උනා.. සතුට කියන්නේ අයිස්ක්රීම් … පර්ස් එක අතට අරන් බැලුවේ සතුට සල්ලි වලට ගන්න පුලුවන්ද බලන්න… බැලුවම පර්ස් එකටම තිබ්බේ රු 500යි… කමක් නෑ 50 කෝන් එකේ තියෙන්නෙත් සතුට තමා මල්ලි කියලා මටම කියාගත්තු මම බයික් එක ගත්තේ Happy Ice Cream හොයාගෙන යන්න.. මතුගම අය නම් එතන නොදන්නව වෙන්න බෑනේ… ගිනි ගහන මහ පාරේ මෙලෝ සිහියක් නැතුව ජීවන චක්රයේ හැටියට එහෙ මෙහෙ දුවන මිනිස්සු දිහා බලාගෙන නිදහසේ අයිස්ක්රීම් එකක් කන්න කියාපු තැන…
වෙලාව 2ට විතර, අයිස් ක්රීම් එකකටත් කියාපු වෙලාව… විනාඩි 5න් කඩේ ගාව බැහැලා බැලුවම ඒ හැටි සෙනගකුත් නෑ… නිදහසේ අයිස් ක්රීම් එකක් කන ආසාවෙන් ඇතුලට ගිහින් මෙනු එක බැලුවේ පුරුද්දට මිසක් තෝර තෝර කන්න තරම් සල්ලියක් අතේ නෑ කියලා අමතක වෙලා නෙවේ… කෝන් එකක් කාල යන්න ආවට බිත්තියේ ඉදන් හිනාවෙන වයිවාරණ අයිස්ක්රීම් දැක්කම කෝන් එකකින් ලැබෙන සතුට මදි කියලා හිතුන නිසා රු. 100ක් දීලා චොක්ලට් එක්ක අඹ මික්ස් කරපු කප් එකක් ඕඩර් කරේ මෙනු එකේම තිබ්බ දේදුනු පාට අයිස්ක්රීම් එකක් හිතෙන් කන ගමන්…
අයිස්ක්රීම් එක ලැබුන … වෙනදා වාඩි වෙන තැනම ඉඩත් තිබ්බා.. ඉතිම් දැන් තියෙන්නෙ සතුට ගිලින්න… කියන්න අමතක උනා මතුගම තව අයිස්ක්රීම් ශොප් තිබුනට මෙතනටම එන්නේ අයිස්ක්රීම් රස නිසාම විතරක් නෙවේ.. දවසක් ඔය වගේම අයිස්ක්රීම් එකක් කනකොට මට ඉස්සරහා මේසේ වාඩි වෙලා චොක්ලට් මිල්ක් ශේක් එකක් බීලා ගිය සීදේවි කෙල්ල වැරදිලා හරි ආයේ ඇවිත් ඉදියොත් එයවත් බලාගන්න අදහසින්… එදාම විතරයි ආයේ දවස් 5,6ක්ම ආවත් එයා නම් ඉදියේ නෑ … අදත් නෑ… කමක් නෑ මෙතන වාඩි වුනාම එයා නැතත් හිටියා වගේම මවා ගන්න බැරි නෑ…
සතුටු හැදි දෙකක් රස නහර පිනාගෙන උගුර තෙමාගෙන පහලට බහින්න ඇති.. තුන්වෙනි හැන්ද කලින් ඔලුව උස්සපු මන් දැක්කේ මගෙ ඉන ගාවට උස නැති පොඩි කෙලි පැටික්කියක් හදුන්කූරු පෙට්ටි 4,5ක් අතේ තද කරගෙන මන් දිහා බලන් ඉන්නවා… “මාමේ හදුන්කූරු පෙට්ටියක් ගන්නවද… 2ම 100යි” කිව්වා… මාස්ක් එක නිසා ඇස් විතරක් දැක්ක පොඩි එකීගේ වයස අවුරුදු 10කට වැඩි වෙන්න බෑ… හදුන්කූරු…? අහවල් එකක් කරන්නද මට කියලා හිතුනත් පොඩි එකී අව්වෙ ඇවිද ඇවිද මහන්සි වෙලා ඉන්නවා දැක්කම ඒම කියන්න හිතුනේ නෑ… පර්ස් එකේ ඉතුරු 100 කොල හතරෙන් එකක් අරන් ඒකි අතේ තිබ්බ මම, මා දිහාට දික්කරපු හදුන්කූරු පෙට්ටි දෙක ආයේ දුන්නේ වෙන කාට හරි විකුනගන්න කියලා ඒකිට කියන ගමන්… අපි සුවද හමන්න ඕනා හදුන්කූරු වලින් වත් ෆර්ෆියුම් වලින්වත් නෙවේ ඇතුලාන්තයෙන්.. කොහෙන්ද මන්දා හෙන දාර්ශනික අදහසක් එ වෙලෙ ඔලුවට ඇවිත් මට ලාවට හිනාවකුත් ගියා..
පොඩි එකී ගියා.. මන් ආයේ අයිස්ක්රීම් එක දිහා බැලුවා.. තව හැදි දෙකක් කන්න ලැබෙන්න ඇති අවුරුදු 60ක විතර ගැහැනු කෙනෙක් මා ඉස්සරහා.. එයා අතෙත් හදුන්කූරූ.. හදුන්කූරු අරන්ම මා ගාවට එන්නේ මා ගාවින් එච්චර ගදක් එනවද කල්පනා කරද්දිම “අනේ පුතේ හදුන්කූරු පෙට්ටියක් ගන්න .. එකක 50ක් තියෙනවා.. පෙට්ටියක් 100යි” ඒ නැන්දා හඩ අවදි කරා… මේ ඉන්නෙත් අර පොඩි එක්කෙනාගෙම කවුරු හරි හිතපු මම “දැන් ගත්තනේ හදුන්කූරු” කිව්වට පෙන්නන්න හදුන්කූරක් තිබ්බෙ නෑ නේ… ඉතිම් ආයේම “පුතේ මගෙ මනුස්සයට සනීප නෑ.. එයාගෙ බෙහෙත් ගන්නයි මේ හදුන්කූරු විකුණන්නේ” කිව්වම ආයේ එපා කියන්න කට ඇරුනේ නෑ… පර්ස් එක අරන් ඉතුරු වෙලා තිබ්බ ඒවයෙන් තව 100 කොලයක් ඒ නැන්දට දික් කරේ හිතේ සතුටින්… 100 අරන් පින් දුන්න නැන්දා පොඩි එකී වගේම හදුන්කූරු පෙට්ටියක් මට දෙන්න හැදුවත් එයාටත් මන් එපා කිව්වෙ හදුන්කූරු පත්තු කරල මගෙ මොනා සුවද කරන්නද.. ඕක ගෙනිහින් විකුනගත්තොත් තව කීයක් හරි එයාලටනෙ හිතල… ඒත් එපා කියද්දිම මේසෙ උඩින් හදුන්කූරු පෙට්ටියක් තිබ්බ නැන්දා එතනින් පිටවෙලා ගියා…
හදුන්කූරු එක ඒමම තියෙද්දි මම ආයේ අයිස්ක්රීම් එක දිහා බැලුවේ මේම ගියොත් කන්න නෙවේ බොන්නයි වෙන්නේ මේක දියවෙලා කියලා මතක් වෙලා.. ඒ බලලා ආයේ නිකමට පාර දිහා බලනකොට අර පොඩි එකී.. ආයේම මන් දිහා බලාගෙන.. මම හිනා උනා.. කඩේ අයිනට ආව කෙල්ල.. “එයා බොරු කියන්නේ… ඔය සල්ලි වලින් හවසට බොන එක කරන්නේ” කියලා මට කිව්වම .. පෙනුමෙන් පොඩි උනත් පොඩි කාලේ ඉදන්ම ජීවිතේ එක්ක හැප්පිලා ඒකි දැන් හොදට පැහිලා කියල මට හිතුනා… කමක් නෑ බීපුදෙන් පොඩ්ඩියේ… හැමෝම හොයන්නේ මොන විදියකින් හරි ජීවිතේට පුලුවන් හැම වෙලේකම සැහැල්ලුවක් නෙහ් කියල මට හිතට ආවත් ඒක අහන්න තරම් මේ කෙල්ල පොඩි වැඩි නිසා මන් මුකුත්ම නොකියා ආයේ ඒකි එක්ක හිනා උනා..
මාස්ක් එක නිසා ඒකිගෙ කට නොපෙනුනත් යන්තමට දිලිසෙන ඇස් වලින් මට හිතුනා ඒකිත් මා එක්ක හිනා වෙනවා ඇති කියලා.. ඔය අස්සේ ආයේම දියවෙන අයිස් එක මතක් වෙලා හැන්ද අතට ගත්ත මට එක පාර හිතට ආව අදහසක් හින්දා ආයේ බලද්දි ඒකි තාම මන් දිහා බලාගෙන… “අයිස්ක්රීම් එකක් කමුද” මන් හෙමීට ඇහුවා.. අහන පරක්කුවට සතුටින් හා කියලා ඔලුව වනපු කෙල්ලට අතින් ඇතුලට එන්න කියලා උබ දියවෙනවා නම් දිය වෙයන් මගෙ සතුට මන් ඇවිත් බොන්නම් උබව කියලා අයිස්ක්රීම් එකට හිතින් කියාගෙන පර්ස් එකත් අරන් ඒකි එක්ක කඩේ ඇතුලට ගියා…
මන් වගේම ඒකිත් ඇස් ලොකු කරන් බිත්තියේ ඇදලා තියෙන පාට පාට රස පිරුන අයිස්ක්රීම් දිහා බලන් ඉද්දි කෝන් එකක් පෙන්නලා මේකක් අරන් දෙන්නද ඇහුවේ අතේ සල්ලි නැතිකම නිසා නෙවේ.. මෙතන පරක්කු වෙන වෙලාවේ ඒක කන ගමන් පාර දිගේ ගියොත් තව එක හදුන්කූරු පෙට්ටියක් වත් විකුනගන්න ලැබෙයිනේ හිතලා… ඒත් මෙච්චර අලි මටත් කෝන් එකක් හිතට මදිකොට මේ චූටි හිතට ඇති වෙයිද… පොඩි එකී තමන්ගේ ඇස් මට්ටමේ තිබ්බ mix oreo එකක් පෙන්නුවේ මේකක් කියලා ගාන කියවලවත් අකුරු තේරිලවත් නෙවේ ආසවට කියන්න තරම් නොතේරෙන මට්ටමක මන් ඉදියේ නෑ… කීයක අයිස්ක්රීම් එකක් ඉල්ලුවත් අරන් දෙන ආසාවක ඉදියත් කඩේ මගේ නොවෙන නිසා මගෙයි ඒකිගෙයි දෙන්නගෙම වෙලාවට ඒකි පෙන්නුවේ අතේ තිබ්බ ගානට හරියන්න…
කඩේ අක්කට කතා කරලා සල්ලි දුන්න මම පොඩි එකීව පෙන්නලා මෙයාට මේ පෙන්නන අයිස්ක්රීම් එක්ක දෙන්න කියලා මන් ආයේ ඇවිත් වාඩි වුනේ දියවුන අයිස්ක්රීම් එක කන්න… සතුට දියවෙලා වගේ පෙනුනට සතුට දියවෙලා නෙවේ ඒ සතුට හිත පුරාම පැතිරිලා මට හිතුනා…
ආයේ පාරක් අයිස්ක්රීම් එක එක්ක තනි උන මගෙ ඔලුවට ආයේ පාරක් අර චොක්ලට් ශේක් කෙල්ල කොහේද මන්දා ඉදන් පාවෙලා ආව.. එතන එ වෙලේ නැති උනත් ඒකිට හිනාවක් දැම්ම මම ආයේ අයිස්ක්රීම් කන්න ගත්තා … එතකොටයි දැක්කේ ඒ තත්පරේට චොක්ලට් ශේක් කෙල්ල නිසා අමතක වෙලා ගිය අයිස්ක්රීම් පොඩ්ඩි හදුන්කූරු පෙට්ටි ටිකත් කිහිල්ලෙ ගහගෙන වැටෙයි බයට තදින් අල්ල ගත්ත අයිස්ක්රීම් ට්රේ එක මූන ගාවට උස්සගෙන හෙමීට එනවා… ඇවිත් එදා චොක්ලට් ශේක් කෙල්ල වාඩි වෙලා ඉදිය ටේබ්ල් එකෙන් වාඩි උන කෙල්ල පරිස්සමට ට්රේ එක මේසෙ උඩ තියල කිහිල්ලෙ ගහන් ඉදිය හදුන්කූරු පෙට්ටිත් පැත්තකින් තියලා මාස්ක් එක ගැලෙව්වෙ අයිස්ක්රීම් එක කන්න…මේ සිද්දි වෙනකොට කවුරුවත් නොහිටියත් ඒ වෙද්දි තුන් හතර දෙනෙක් කඩේට ඇවිත් ඉදියා … ඒ සමහරක් පොඩි එකී දිහා අමුතුවෙන් බැලුවේ ජීවත් වෙන්න කියලා අපිට හදුන්කූරු විකුණලා මේකි කරන්නේ අයිස්ක්රීම් කන එක කියලා හිතිලවත්දෝ කියලා මට හිතුනත් පොඩි එකීට ඒ කිසි දේක වගක් තිබ්බෙ නෑ…
ඒකි පලවෙනි අයිස්ක්රීම් හැන්දා කනවා මන් බලාගෙන.. ඒ කාපු ගමන් කරේ මා දිහා බලපු එක… බලලා මා එක්ක හිනා උන එක.. මෙච්චර වෙලා දැක්කේ මාස්ක් එක නිසා ඇස් විතරක් උනත් අයිස්ක්රීම් කියන්නේ සතුට නිසා ඒ සතුට නිසා ආව හිනාව මූන පුරා තිබ්බා.. ඇත්තටම ඒක ලස්සන හිනාවක්… මන් දිහා බලලා උන හිනාවෙන් මට ලැබුන සතුට අයිස්ක්රීම් එකෙන් ලැබුන සතුට දෙගුන උනත් … ඒකිට ආයේ හිනාවකින් සංග්රහ කල මගේ ඇස් අගට කදුලක් ආවේ සතුටටද දුකටද කියන්න නම් මන් තාම දන්නේ නෑ…
ඒකිගේ පාඩුවේ අයිස්ක්රීම් එක රස බලන්න දීලා මගේ අයිස්ක්රීම් එක ඉවර කරපු මම යන්න නැගිටලා පර්ස් එක අතට ගනිද්දි දැක්කෙ නැන්දා තියලා ගිය හදුන්කූරු එක.. ඒකත් අතට අරන් ඒකි ගාවට ගිය මම ඒක ඒකිගෙ මේසෙ උඩින් තියලා ඔයා මේකත් විකුනගන්න කියද්දිත් අයිස්ක්රීම් කට පුරෝලා ඒකිගේ.. මන් දිහා දිලිසෙන ඇස් වලින් බලන් ඉන්න අයිස්ක්රීම් පොඩ්ඩිටයි… අහම්බෙන් දැකලා තාමත් හිත පුරා දුවන චොක්ලට් ශේක් කෙල්ලටයි දෙන්නටම ගිහින් එන්නම් කියලා මන් එතනින් ආවේ එද්දි නැතිවෙලා තිබ්බ හිතේ සතුට වැඩියෙනුත් එක්ක හිතේ දෝර ගලද්දි…
වෙච්ච කතාව හිතේ සතුටෙන්ම මේම දිගට ලිව්වට උබලා ලේසියකට කියවන් උන් නෙවේ මන් දන්නවා… ඒත් කියන්න ඕන උනේ මෙච්චරයි.. “සතුට සල්ලි වලට ගන්න පුලුවන්.. ඔව් හැබැයි ඒකට ලක්ශ ගනන් නම් ඕනා නෑ.. රු.500ක්… නෑ රු. 100කුත් ඇති… ඒ පොඩි එකී ඒ අයිස්ක්රීම් එක නිසා විනාඩි 2ක් සතුටු උනා නම් මන් ඒකෙන් අමතක නොවෙනකම් සතුටු වෙනවා… උබලත් කොහෙ හරි ඒම අවස්ථාවක් ආවොත් බලපල්ලා බොරුද කියලා.. ඇත්තම සතුට කියන්නේ මොනා හරි දේකින් තමන් ලබන සතුටට වඩා පොඩි හරි දේකින් තමන් නිසා වෙන කෙනෙක් සතුටු වෙනවා කියලා දැනෙන හැගීම … මට නම් ඒ සතුට රු ලක්ශයක් ලග තිබුනත් ගන්න බෑ..
ප.ලි. ඒ ලබපු සතුට … මගෙ හැගීම් තව අකුරු කරන්න පුලුවන්.. ඒත් උබලා කියවන් උන්ද.. ඒ හන්දා මේ ඇති.. අහ් තව දෙයක් අර චොක්ලට් ශේක් කෙල්ල.. අහන්න එපා කව්ද කියලා මන් දන්නෙත් නෑ.. ආයේ කවදාවත් දකීද දන්නෙත් නෑ… හැබැයි එකක් දන්නවා එතනට ගිහින් ඒකිව හිතේ මවාගන්න එක.. ඒක වෙනමම සතුටක්…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!