ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආව ගමන් බයිසිකලෙත් අරන් හවස පහ හය වෙනකල් බයිසිකල් පැද්ද බෝලෙ නැති වෙනකල් ක්රිකට් ගැහුව ලඳු කැලෑ අස්සෙ රිංග රිංග ආමි සෙල්ලම් කරපු අපිට වෙච්ච දෙයක්….
ඇත්තටම දැන් ඉන්න පොඩි උන් කරන සෙල්ලම් දැක්කම වෙලාවකට හිතෙනවා හොඳම ළමා කාලයක් ගෙවන්නෙ උන් ද කියලත්.
මීට සති දෙක තුනකට කලින් මම ගියා දුරින් නෑදෑ වෙන නැන්දා කෙනක් ගෙ ගෙදර අම්මලත් එක්ක.
මම ගිහින් වාඩි වෙලා ඉන්නකොට අවුරුදු දහයක එකොළහක විතර පොඩි කොලුවෙක් ඉන්නව ෆෝන් එකකුත් අතේ තියාගෙන ඒකට එබීගෙන. ඔය වයසෙ එකෙක් අහු උනාම බයිට් එකට මරු…
මම ඉතින් කතා කලා මිනිහට.
” ඒයි මොකද කරන්නෙ…” මම ඇහුවා..
මූ මගේ දිහා ඔරවල බලල ආපහු ෆෝන් එකට එබුනා.
ඇට්ටර ඩයල් එකක්.
” ගේම් ගහනවා නේහ්” මම ඇහුවා
මු ආයෙත් මගෙ දිහා බලලා ඔරවලා ආපහු ෆෝන් එකට එබුනා.
මටත් ඉතින් ඉන්න බෑ කොහොම හරි මූව අවුස්සන්නමයි හිතෙන්නෙ.
මම ෆෝන් එක ඇදල ගත්තා .
මොකක්ද මූ ගහන ගේම් එක..මම බැලුවා
දෙයි හාමුදුරුවනේ..මූ ගහන්නෙ ගේම් එකක් නෙවෙයි ගෑනියෙකුයි මිනිහෙකුයි ගහන ගේම් එකක් තමයි මූ මේ එබීගෙන බලන්නෙ. නැට්ටට කිරි උනන්නෙවත් නැති බටු ඇට කොල්ලෙක් අතිශය වැඩිහිටියන්ට පමණක් වෙන් වුන වෙබ් සයිට් එකකට ලොග් වෙලා වෙනම ලෝකෙක ඌ අතරමං වෙලා.
” මේ අංකල් ඔයාට මගෙ ෆෝන් එක ගන්න අයිතියක් නෑනෙ. ඔයා ඔයාගෙ ෆෝන් එක බලාගන්න…” මූ ඇදල ගත්තෙ නැද්ද ෆෝන් එක වෙඩිල්ල වගේ.
මට දැන් මල ජම්පින්. මූ වැරදි තුනක් කලා.ලොකුම එක මට අංකල් කියපු එක. දෙයියනේ රැවුල ටිකක් වැවුණට තවම සූටි කොල්ලා..
දෙක මූ මාව කෙයාර් කරපු නැති එක.
තුන්වෙනි එක වයසට නොගැලෙපන දේවල් බලපු එක.
” මම ඔයාගෙ අම්මට කියන්නද ඔයා බල බල හිටපු දේවල්…එතකොට ඉතින් ආපහු ෆෝන් එක දෙන එකක් නෑ” මම පොඩි තර්ජනයක් දැම්මා.
” මේක මගෙ ෆෝන් එක. මේකෙ බලන දේවල් තිරණය කරන්නෙ මම. අනික මම දැන් පරිණතයි. අංකල් ආව නම් පාඩුවෙ ඉන්න …” තවම උගුරු දණ්ඩ වත් කැඩිල නැති බටු ඇට කොල්ලා හුරතල් හඬින් මට කියනවා.
“පුතේ එන්න තේ බොන්න” නැන්දා ඒ අස්සෙ මට කතා කරනවා. මහා පරිණත බටු ඇට කොල්ලා දිහා බලලා රවලා මම ගියා තේ බොන්න.
ඇත්තටම මේක විහිළු කතාවක් නෙවෙයි. ඒත් අපි හිතන්න ඕන දේවල් ගොඩයි. මේ පවතින තත්වය එක්ක හැමදේම ඔන්ලයින් තියෙන සමාජෙ පොඩි දරුවන් අත නිතරම තාක්ශණික මෙවලම් භාවිත වෙනවා. ඒත් වැඩිහිටියන් නිතරම ඒ ගැන අවධානෙන් ඉන්න එක අනිවාර්ය්න්ම් කරන්නම ඕන දෙයක්.
උපුටා ගැනීම: Kasun Sudhara Bandara