බොහොමයක් මංගල උත්සවවල අන්තිමට ජෝඩුව කා එකට නැගලා යන්න යද්දි බෑන්ඩ් එකේ අය හරී ම නරක දෙයක් කරනවා. ඒකට හැබැයි ගොඩක් අය ආසයි. ඒත් මං නං ආස ම නෑ. මං ආස නෑ කියලා බෑන්ඩ් එකේ අය ඒක නොකළොත් ඊලඟ වෙඩිං එක එයාලට ලැබෙන්නෙ නැතිවෙන නිසා වෙන්න ඇති එයාලා ඒක හරි වෙලාවට තිතට ම කරනවා.
ඒ තමයි නව යුවළ මධුසමය ගතකරන්න නැකතට පිටව යන වෙලාව ම අල්ලලා සුජාතා අත්තනායක ගේ පුංචි දවස් වල නින්දට යද්දී ගීතය හරි නැත්තම්, සුනිල් එදිරිසිංහගෙ දුවේ නුඹ මගෙ ප්රාණයයි ගීතය හරි ගායනාකරන එක. මේ වෙලාවත් එක්ක ඒ දෙකෙන් මොන ගීතය ඇහුණත් මට නං හරී ම දුකක් දැනෙනවා මං තාත්තා කෙනෙක් වෙන්න ගොඩ කාලෙකට කලින් ඉඳනුත්.
තාත්තා දැඩියි. ආදරේ පෙන්නන්නෙ හොරෙන්. දූගෙ නළල සිඹින්නෙ දූ නින්දෙදී. මං හිතන්නේ අම්මෙක් ට වඩා දුවෙක් ගෙ අනාගතේ ගැන බය හිතෙන හීන පේන්නෙ තාත්තෙක් ට. ඒ,,පිරිමි ගැන,පිරිමින්ගෙ වැඩ සහ හැඩ වගේ ම යහපත් කම් සේ ම නසරාණිකම් ගැනත් අම්මෙක්ට වඩා තාත්තෙක් දන්නේ තාත්තා පිරිමියෙක් නිසා ම විතරක් නෙවෙයි. ඒ තාත්තලා අම්මලාට වඩා පිරිමි – පිරිමි සමාජෙ අත්දැකලා,අත්විඳලා ඒ ගැන හොඳ ඉවක්,අවබෝධයක් තියෙන නිසා.
ඒ නිසා දූ කෙනෙක් මොනතරම් හොඳ කෙනෙක් එක්ක හාද වුණත්, අම්මා මොන තරං ඒ වෙන්ඩ පුතා ව සුද්දකරන්න ගියත් තාත්ත කෙනෙක් ලේසියෙන් තමංගෙ දූට ලංවෙච්ච පිරිමියා ගැන ඕනවට වඩා ලකුණු නම් දෙන්න යන්නෙ නෑ.විශේෂයෙන් ම තාත්ත ම දන්නවා කොල්ලො ගැන තාත්තත් කොල්ලෙක් වෙලා හිටපු කාලෙ කියපු කරපු දේවල් එක්ක.ඒකයි.
දුවෙක් ලැබුණුදාට තමයි බොහොමයක් තාත්තලාට තමන්ගෙ සමහර අතීත කාරණා මතක්වෙලා ඔළුව රත්වෙන්න ගන්නෙ.ඒ රස්නෙ කෙල්ල බකල ගගහා ඇවිදිද්දි,චාචා චාචා කිය කියා බහ තෝරද්දී,ලොකු ළමයෙක් වෙලා හැඩට ලස්සනට පාරෙ තොටේ යද්දී දැනෙන දරු සෙනෙහසින් මැකිලා වගේ ගියාට හැබැයි. ඔන්න කෙල්ල කොල්ලෙක් එක්ක හාද වෙලා, මෙන්න කෙල්ල කසාද බඳින්න යනවා කියලා වගේ දැනෙන්න ගනිද්දි ඔන්න ආයෙ අළුත් වෙනවා. ආයෙත් අළුත් වෙනවා ඒ ඉහමොළ වලට දැනෙන රස්නෙ.
අම්මලාගෙ කතාව මීට ටිකක් වෙනස්.ඒකට එකක් තමයි තාත්තා හොඳ නං අපේ කෙල්ලටත් ඒ වගේ ම කෙනෙක් ලැබේ ය යන අම්මලාගේ ප්රාර්ථනීය සිතුවිල්ල.තව එකක් තමා අම්මලා තරම් තමන්ගෙ දරුවන්ට තමයි ලෝකේ හොඳම දේවල් ලැබෙන්නේ කියලා බලං ඉන්න තවත් කට්ටියක් නැති නිසා.ඔය ඔක්කෝට ම වඩා අර මං කලින් කියපු පිරිමි සමාජේ ගැන අම්මලා තමන්ගෙ සීයගෙනුයි,තාත්තගෙනුයි,අයියලා මල්ලිලාගෙනුයි, යාළුවෙච්ච කොල්ලගෙනුයි,
බැඳපු මිනිහගෙනුයි දැනගත්තු දේ ඇරෙන්න තව මහ දේවල් පිරිමි ගැන නොදැන සිටීම. ඒකට හේතුව අර කියපු තමන්ගෙ හැම පිරිමි චරිතාපදානෙම එයාලගෙ පිරිමි චරිතෙන් ගෙදරදි රැඟුවේ එක පළුවක් විතරක් නිසා.අනිත් ඔක්කොම රැඟුම් ගෙදරින් පිටනේ.ඒකයි.
තව එක්ශෙප්ෂනල් කේසස් නම් එමටයි ඒත්, මේ සුබ මොහොතක් ගැන කියාගෙන යන වෙලාවක ඒවා මතක් කරන එක හරි නෑ නේද කියලා මේක කියවන අම්මලා ම වුණත් හිතන්න ගත්තොත් ඒක හරි නැති නිසා ඒවා නොකියා ඉමු.
ඒත් හැබැයි මගේ රස්සාව ඇතුළේ නම් මම ඔය තරුණ කපල්ස් වලට සමහර තැන් වලදි අමු අමුවෙන් ම කියලා දානවා එයාලගෙ අනාගත ජීවිතේ පළු ගැලවෙන්නෙ නැතුව පවුල් කන්න ඕන නිසා ම ඒ ක්රම සහ් විධි ගැන.සහ, දැන් දැන් කෙල්ලො කොල්ලො ආදරේ කරද්දි වෙනදට වඩා තමන් දෙන්නා අතරේ ඇතිවෙන පොඩි පොඩි ගස්ටන,දරාගන්න-ලිහාගන්න බැරි දේවල් අරං එයාලා කවුන්සෙල’ස් ලා හොයාගෙන යනවා.ඉතිං ඒ විදිහට මා ලඟටත් එන අයට මං අමු ඇත්ත පැති ගැන කියලා දෙනවා.එයාලා හරි ආසං තමන්ගෙ මහ සමාජෙ තමංගෙන් හංගපු ඇත්ත අමුවෙං අහගන්න.සහ, ඒකම තමයි මේ තරුණ කොල්ලො කෙල්ලන්ට උන්ගෙ අනාගතේ සරු කරගන්න නං කියාදෙනත් ඕනම දේ.
හරි.කතාවට එන්නම්කෝ.
ඔන්න දවසක් මම වෙඩින් එකකට ගියා. ඒ වෙඩින් එකේ බොහෝ තැන්වල සිද්ධ නොවෙන දෙයක් වුණා මං ඒක කියන්නං.වෙඩින් එක දැන් ඔන්න අවසානයට ලංවෙද්දි අර මංගල සභාව කැඳවනවනේ.බෑන්ඩ් එක, ඩෑන්ස් එක, ග්ලාස් එක,බයිට් එක මේ ඔක්කෝම පැත්තකට කරලා ආපු හැමෝම එන්න එපායැ මේ මංගල සභාවට අකමැත්තෙන් වුණත්.ඒ වගේ ම ලෝකෙ ඉන්න සියලූ ම වර්ගවල නයි දෙපාර්ශවයම එකතුවෙලා ප්රසිද්ධියේ ම තරඟෙට බිම දිගේ යවන වෙලාවක් නේ මේක. ඒත් හැබැයි මම මේ කියන වෙඩින් එකේ වෙච්ච දේ වෙනස්.ඒකේ එකපාරට ම මනමාළිගෙ තාත්තා ඇවිත් මයික් එක අතට ගත්තා.ඒ අරං ආපිට හැරිලා පිටිපස්සෙන් ඉන්න සවුන්ඩ් එහෙ මෙහෙ කරන තරුණයාට මොන මොනවදෝ කිව්වා නිකං මියුසික් කොම්පෝස’ ලෙවල් එකෙන්.මං දැන් බලාගෙන ඉන්නවා මේ මොකක්ද වෙන්න යන්නෙ අප්පේ කියලා.සහ හැබැයි, මේ මනමාළිගේ තාත්තා බොහොම නිවිච්ච,වැදගත් කෙනෙක් නිසා මට මේ වෙන දේ තවත් වෙනස් දැන්.
” මගේ දූගේ විවාහ මංගල්යෝත්සවයට දෙපාර්ශවයෙන් ම පැමිණි සියළුම දෙනාගෙන් අවසරයි.”
ඔන්න පටන්ගත්තා කතාවක්. දැන් කට්ටියම මනමාළිගෙ තාත්තා දිහා ම ඇස් ලොකුකරං බලාගෙන.
.” දූ කසාද බැඳපු දවසෙ මම දූගෙ තාත්තා හැටියට මෙතන කතාකරන එක සාමාන්යයෙන් ගැලපෙන්නෙ නැති දෙයක් වගේ ඔබලාට දැනේවි.ඒත්, කරුණාකරලා මට පොඩි වෙලාවක් දෙන්න මේ හැමෝම.මට පුංචි ම පුංචි දෙයක් කියන්න.ඒක කියන්න මට මේ වෙලාව බොහෝ ම වටිනවා ඒකයි.”
බොහෝම කුළුපග,ලැජ්ජාවත් පොඩ්ඩකට හරි මිශ්ර වෙච්ච ඒ තාත්තගෙ උඩු තොල් යටි තොල් මාරුවෙන් මාරුවට එක යට එක තෙරපෙන්න ගත්තා.ඒ අතරෙම පිටිපස්ස හැරිලා ආයෙමත් අර සවුන්ඩ්ස් එහෙ මෙහෙ කරන තරුණයාට පොඩි විධානයක් හස්ත මුද්රාවෙන් දීලා දැම්මා.
” මේන්න මේ ගීතයට පොඩ්ඩක් තමුන්නාන්සේලා හැමෝම කරුණාකරලා සවන්දෙන්න.මට පොඩි ම පොඩි වෙලාවයි තව ඕන.”
ඒ කියනකොට ම බෆල්ස් වලින් කන් වලට දරාගන්න පුලුවන් තරමේ සද්දෙකින් ගීතයක් අපි කාටත් ඇහෙන්න ගත්තා.
මධුර යාමේ,
සුවදෙ සාමේ,
ටික දුරක් ගීතය යද්දි මේ තාත්තා ආයෙ මයික් එකත් එක්ක අර තරුණයා පැත්තට හැරිලා ගීතය නතරකරන්න කියන සංඥාව දුන්නා.ඒ දීලා මංගල සභාව දිහා බලං කෙළින් හිටගත්තා.මුළු මූණම හිනාවෙන් පිරිලා ඒ තාත්තගේ.ආයෙත් ම අර පෙර කියපු තාලෙටම.ඒ විදිහට ම ඒ තොල් පෙති තෙරපෙන්න ගත්තා.
“තමුන්නාන්සේලා කවුරුත් ඒ දැන් ඇහුණු ගීතය මීට කළින් අහලා ඇති. අහලා තියෙනවා.මං දන්නවා.ඒත්, මං දැන් ඒක පොඩ්ඩක් අහන්න කිව්වෙ මේ මගේ දූ අද මනමාළි වෙලා ඉන්න.එයා එයාට අවුරුදු හතක් නැත්නම් අටක් වයස කාලෙදි දවසක් මගෙන් ප්රශ්නයක් ඇහුවා.ඒත් ඒ ප්රශ්නෙට මට එදා මගේ මේ දූට උත්තරේ හරියට ම දීගන්න බැරිවුණා.ඒ , දුව එතකොට පොඩි නිසා.”
මෙහෙම කියපු ඒ තාත්තා ආයෙ ම පිටුපස හැරිලා අර තරුණයාට සංඥාවක් දුන්නා.ඔන්න ආයෙ ම සිංදුව ප්ලේ වෙනවා.අපි දැන් අහං ඉන්නවා.සිංදුව ඔහොම යද්දි එක තැනක් පහුවෙද්දි ම ආයෙ සංඥාව ගීතය නතරකරන්නට.
ගීතය නතරවෙනවා.ඒ තාත්තා පිරුණු සිනාවකින් මයික්රෆෝනයත් අතකින් අල්ලං බලං ඉන්නවා අද මනමාළිය වෙලා තමන්ගෙ සහකාරයත් එක්ක සෙටි එකේ මංගල ඇඳුමින් සැරසිළා වාඩිවෙලා ඉන්න මනමාළි දිහා.තමන්ගෙ දූ දිහා.හැමෝම නිශ්ශබ්දයි
තාත්තා කටහඬ අවදිකරනවා.
” මං අර කියපු පුංචි වයසෙදී මෙයා දවසක් ඔය සිංදුව රේඩියෝ එකේ යනවා අහං ඉඳලා මගෙන් අහනවා මෙහෙම..
” තාත්තෙ, අතට අත දෙන්න පුලුවන් ඒත්…හිතට හිත දෙන්නෙ කොහොමද තාත්තේ.” කියලා.
ඒ තාත්තා ආයෙමත් සිනහ පුරෝගෙන මනමාළි දූ දිහා බලං ඉන්නවා.
” මෙයා ඒ අහපු ප්රශ්නෙට එදා මට උත්තරයක් දෙන්න බෑ.ඒ ප්රශ්නෙ පොඩි නැති නිසා.සහ මෙයා එදා පොඩි නිසා.හිතට හිත දෙන්නෙ කොහොමද කියලා මට එදා දූට කියාදෙන්න බෑ.ඉතිං මං මේ ඔබ තමුන්නාන්සේලා හැමෝගෙන් ම පුංචි වෙලාවක් ගත්තේ එදා මගේ දූ ඒ අහපු ප්රශ්නෙට උත්තරේ දෙන්න. අද තමයි මට මගේ දූට තේරුම්කර දෙන්න පුළුවන් මෙන්න මෙහෙමයි පුතේ කෙනෙක් තව කෙනෙකුට හිතට හිත දෙන්නේ.”
එහෙම කියන ගමන් ඒ තාත්තා තමන්ගෙ නිදහස් අත අර මංගල යුවළ දිහාට දික්කළා.
මංගල සභාවෙ බොහෝ දෙනෙක් ගෙ ඇස් වලට කඳුළු ආවා.ඒත් මේ තාත්තා එක කඳුළු බිංදුවක් ඇස් මායිමේ නැතුව කතාකරනවා තමන් ගෙ දුවට.ඒ පීතෘ පෞරුෂය ලෙහෙසි නෑ.ඒ මංගල සභාව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඒ තාත්තවත්!
මේ ඡායාරූපය දැකපු ගමන් ම මට මතක් වුණේ ඒ තාත්තා.බලන්න මේ ඡායාරූපයේ තාත්තා.මේක අමුතු පිංතූරයක්. තමන්ගෙ දූව අරං මනමාළ පුතා මධුසමයට පිටත්වෙන වෙලාව.බලන්න මේ මනමාළි දූගෙ අම්මගෙ ඇස් හොයන්නේ මොනවද කියලා.ඒත් එක්කම මේ තාත්තගෙ ඇස්.
තාත්තගෙ ඇස් සහ අම්මගෙ ඇස් හොයන දේ දෙකක්!
තාත්තගෙ ඇස් මේ බෑණගේ ඇස් එක්ක ලොකු කතාවක්!
බෑණා ට හෙණ පණිවුඩයක්!
මේ කිසි දෙයක් අනිච්ඡානුග නෑ.
දැකල තියෙනවද තමන්ගෙ දු කුමාරිව අරං මධුසමය ගතකරන්න යන්න වාහනේට නැගපු බෑනාට කෙනෙක් ට මනමාළිගෙ තාත්තා සැලියුට් කරනවා.මේ සැලුයුට් එක හමුදාවෙ සැලුයුට් එකට වඩා හරි බරයි. හරි සැරයි. ගැඹුරුයි ගොඩක්.
බෑනා කෙනෙක් ට පුළුවන් නම් තමන්ගෙ ජීවිත කාලෙ ම තමන්ගෙ මාමණ්ඩියගෙන් මෙන්න මේ වගේ සැලියුට් එකක් ඇස් වලට නොපෙනී හෝ ලබන්න.
මාමණ්ඩියට බෑණා වෙච්ච ඒ පුත්රයාව හදපු තාත්තා සහතිකයි සද්ධන්ත කුළේ පිරිමියෙක්!
උපුටා ගැනීම: උදයා දේවාමුල්ල
[ඡායරූපය සිතුම් ප්රශාන් ගෙන්]