බාරය (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මහ රෑ පටන් ගත්තු අනොරා වැස්ස උදේ වෙනකොට අඩුවෙලා ගිහිල්ලා තිබුනත් අතොරක් නැතුව වැටෙන් චුරු චුරුව නම් නවතින්න හිතලාවත් තිබුනේ නෑ . වෙනදට උදෙන්ම නැගිටලා ඇඟට වතුර එකක්දා ගත්තාම තියන ගැම්ම ඊයෙ රෑ වැස්සට හේදිලා ගිහිල්ලද කොහෙද. හරියටම කිව්වොත් ඒක මහ එපා කරපු විදිහට පටන් ගත්තු දවසක්. කාලයක් තිස්සේ එක දිග පායලා වහින්න ගත්තාම පුලු පරිසරයම හරිම නැවුම් වුනත්, ඉවරයක් නැතුව අහස අඩන්න ගත්තාම ඒ නැවුම් ගතිය මුස්පේන්තුවක් වෙන්න මහ ලොකු කාලයක් යන්නේ නෑ. ඒ මූසල ගතියෙන් මුලු කෑගල්ලම වැහිලා ගිහිල්ලා තිබුනේ.
ඔව් . ඒ කෑගල්ල . තවම ටවුමට ඇවිල්ලා සති දෙකයි. පළවෙනි රස්සාවේ පළවෙනි පත්වීම.
කාමරෙන් එළියෙ කොරිඩොවේ කොනේ තිබුන ජනේලෙ ඇරලා ඒක උඩ රෙදි වනපු මහත්තයාට පිං සිද්දවෙන්න රූම් එකෙන් එලියේ මුළු කොරිඩොවම එකම ගඟක් වෙලා . මොකක්දෝ හාස්කමකට වගේ කාමරේ ඇතුලට වතුර ඇවිල්ලා නෑ . කාමරේ බැස්ම තියන්නේ කොරිඩෝ එක පැත්තට වෙන්න ඇති. හැබැයි අනිත් කාමරවලට නම් වතුර ගිහිල්ලා වගේ තමයි පේන්න තිබුනේ, කථා දෙකක් නෑ ගොඩ නැගිල්ල හොඳ බාස් කෙනෙක් හදලා තියන්නේ.දිස්නේ, පාරට බැහැලා පැයෙන් කොහෙ ගියාද නැතිවෙන බව දැනගෙනම හැමදාම රෑට දිලිසෙන්න පොලිෂ් කරන සපත්තු දෙකත් දාගෙන කාමරෙන් එලියේ ‘ගග’ට බැහැලා ‘තප තප’ ගාලා එලියට ආවා .
කාගෙදෝ නුවනක්කාර අදහසකට පිං සිද්දවෙන්න බොහොම ළඟ කාලෙකදි ඔෆිසර් ක්වාටස් එක වටේ පස පුරවලා තිබුනේ ගල් කොරි වලින් ඉතුරුවෙන ඩස්ට එක තද කරලා . රෑ එලිවෙනලක් වැහැලා තාමත් ඉවරයක් නැති වැස්සට ඒ සේරම බුරුල් වෙලා තිබුනා. නගුලකුයි බානකුයි තිබුනානං සාරකෙතේඅස්වනු පූදන්න තිබුනා කිසිම අමාරුවක් නැතුව. අගල් පහ හයක් මඩේ එරීගෙන පාර ආවා. ජිවිතේ බාදකයක් තරණය කරලා ආවම මදක් නැවතිලා ඒ දිහා බලන්න කියලා කිමනක් තියනවලුනේ , ආපහු හැරිලා මඩ වගුර දිහා බලකොට තමයි දැක්කේ දකුණු පැත්ත අයිනේ ලෑලි දාලා එරෙන්නෙ නැතුව එන්න පාරක් හදලා තියනවා කියලා. අපරාදේ හැරිලා බැලුවේ.
වැස්සට සීතල වුනත් රේන් කොට් එක ඇන්දට පස්සේ ඇතුල සහරා කාන්තාරෙ මැද ඉන්නවා වගේ. අනික ඒවා මහන්න ගත්තු කොම්පැනිය උපරිම කොලිටියට වැඩේ කරලා තිබුන නිසා මැහුම් පාරවල් වල දාර දිගේ ඇතුලට උල්පත් මතුවෙලා සහරාවේ මැද්දේ තැන තැන ක්ෂේ්ම භූමි හදලා තිබුනා .
මේක අපේ රථ වාහන සතිය. එතකොට ඒ අංශයට අදාලව වැඩ බලන ස්ථානාධිපති කමක් අපිට කඩා පාත් වෙනවා . අහ්…….. කියන්න අමතක වුනානේ.මම පොලිසියේ, එක තරුවක් තියන නිලධාරියෙක් , අවුරුදු එක හමාරක පුහුණුවෙන් පස්සේ පලවෙනි පත්වීම, සහ කලින් නියම කරපු Schedule එකකට අනුව ගෙවන probation පීරියඩ් එක .ඒ ඇති.
උදේවරුවේ ටිකක් අමාරුයි . පාරෙ වාහන වැඩි හවස නම් එච්චර අවුලක් නෑ කොළඹ වෙනස් ඇති . ඒත් මේ කෑගල්ලනේ, මෙහෙ එහෙමයි. ඒ සාමාන්ය දවසට . අද විශේෂ දවසක් . පාන්දරම ඇගට ආපු කම්මැලි ගතිය ඇවිල්ලා තියන්නේ මට විතරක් නෙවෙයි වගේ. වෙනදට උදේ හත අට වෙනකොට ටවුමේ වාහන දෙගොඩ තලාගෙන යන්න හැදුවත් අද එහෙම නෑ . කාලෙ බටේකින් අපු වතුරපාරක් අගලේබටේකට වැටුනා වගේ තත්වයක් තමයි පාරෙ තිබුනේ. වෙනදා තරම් මහන්සි වෙන්න වුනේ නැති වුනත් , අනිත් හැම දවසකටම වඩා තෙහෙටටුවක් ඇගේ තිබුනා.
වෙනදා ඉර මුදුන් වෙලා මද්දහනේ වේලෙන, සීතලට මොනවා හරි බොන්න කියලා හිතාගෙන ගොඩ වැදෙන සම්පත් බැංකුව ඉස්සරහා තියන නිලූකා හොටලයට මමත් මගේ බඩියො දෙන්නත් අද ගොඩ වැදුනේ දවල්ට කනකල් මොනවා හරි පොඩි දෙයක් කාලා රස්නෙට දෙයක් ඇගට දාගන්න හිතාගෙන. මොන තරම් සෙනග හිටියත් තේ බොයිලේරුව ලගම තිබුනු තුන් දෙනෙකුට විතරක් ඉගන්න පුලුවන් පුටු දාපු මේසේ අපේ . මේ හෝටලේට ආපු දවසේ ඉදන් මොනවා කෑවත් කීයට ආවත් , පුටු තුනක් තිබුනට කීදෙනෙක් ආවත් ඒක තමයි මගේ මේසේ .
රේන් කොට් එකක් කියන්නේ පුදුම බරක් කියලා තේරෙන්න නම් එක පැය හත අටක් ඇඳගෙන මොකක් හරි වැඩක් කරන්නම ඕනේ . නිකන් නෙවෙයි, වැස්සේ තෙමෙන ගමන්. ඉතිං විනාඩි දහයකට පහලොවකට හරි ඒ ඇඳුමෙන් මිදෙනවා කියන්නේ කාන්තාරෙ අතරමන් වුන කෙනෙක්ට වතුර ලැබුනා වගේ හැඟීමක්. ඔය හැඟිමට සමවැදිලා ඉන්න අතරෙ තමයි නිශාන්ත, දැහැන බිදලා දැම්මේ.
“ සර් , මොනවාද ? දවල්ට කාලාම යනවද නැත්තං පොඩි දෙයක්ද ? “
“ ඩියුටි ඉවර වෙලාම කනවා නිශාන්ත අපිට ගේන්න ටී තුනකුයි ශොටීට්ස් මොනවා හරී ! “
“ ස්පෙශල් ටී එකනේ ?”
“නැතුව නැතුව”
කඩේට ආපු පලවෙනි දවසේ මං කලේ මට ඕනේ විදිහට ටී එකක් හදවපු එක. සීනි, කිරිපිටි, කහට මේ හැම දෙයක්ම ටිකක් වැඩිපුර දාලා ඉඟුරු කෑල්ලක එක්ක මයිලෝ හැන්දකුත් දාලා හැදෙන ස්පෙශල් ටී එක සාමාන්ය එකට වඩා පොඩ්ඩක් ගනන් වැඩී . කමක් නෑ මගේ රෙසපියට ඇඟට කික් එකක එන තේ එකට පොඩ්ඩක් වැඩිපුර ගෙවන්න වුනාම මොකද .
තේ එක එනකල් දැන් රත් කරලා ගෙනාපු සාම්බාරු දීසියක උළුදු වඩයක් පෙගෙව්වා. වෙනදට සෙනග පිරිලා හිටියත් අද ගොඩක් නෑ , කැශියර් කූඩු ගාවම මෙසෙට කපල් එකක් හිටියා , දෙන්නගෙම එහෙම ලොකු ලකයක් නෑ.බලන්න තරම් ලව් එකකුත් නෑ. එතනම එහා පැත්තෙ වයසක සීයා කෙනෙක් බත් මුලක් කනවා. ඉසකොලේ කොල්ලො තුන් දෙනෙක් තව මෙසෙක . පොඩ්ඩක් ඉන්න ,ඉස්කෝලේ කොල්ලො …… තවම ඉස්කොල ඇරෙන වෙලාව ඇවිල්ලා නෑනේ. එතනින් එහා පැත්තේ සාරි ඇදගත්තු ගෑණු ලමයි දෙන්නෙක්. එතනින් එකෙක් මගෙ දිහා බලාගෙන ඉදලා මම බලනකොට අහක බලාගත්තා. කමක් නෑ ලංකාව වගේ රටක පාරක ඔටුවෙක් ගියොත් හැරිලා බලන්න හිතෙන එක සාධාරණයිනේ.
දෙවනි වඩේ කැල්ල කඩා ගන්නකොටම තමයි ඒ අම්මා කඩේ ඇතුලට ඇවිදගෙ ආවේ . ප්ලාස්ටික් මිටක් නැති පැත්තක නනයක් ගැලවුන දම්පාට කුඩයක් අකුලන ගමන් උකුලේ ගහගෙන හිටපු අවුරුදු තුනක විතර පොඩි කෙල්ලෙක තව ටිකක් උස්සලා වඩා ගත්තා. තව ළමයෙක් හම්බවෙන් ඉන්නෙ මාස හතක අටක වගේ දරු ගැබක්. මේ වැස්සෙ තනියම මොන එකට ආවද.
මම කෙලින්ම හෝටලයේ ඇතුල්වීමට මුණ දාලා ඉදගෙන ඉන්න නිසා හැම දෙයක්ම පැහැදිලිව පේනවා. පොඩි කෙල්ල හෝටලේ ඇතුලේ කෑම කන හැමෝගෙම දිහා මාරුවෙන් මාරුවට බලන අතරෙ අම්මා කලේ ඇඟිල්ල තියලා පෙන්න පෙන්න හැම ජාතියකම කෑම වල ගනන් අහන එක.
චිකන් කෑම එකක් 250යි ඉදන් පරිප්පු වඩේ එකක් 20යි කියන කල් හැම කෑම ජාතියකම ගාන ඇහුවා . කිසිම දෙයක් ගන්නේ නැතුව ආපහු කඩෙන් එලියෙ වහින වැස්ස දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා.
“මොනවා හරි ගන්නවාද? නිශාන්ත අම්මගෙන අහනවා.”
“ප්ලේනටි දෙකකුයි පරිප්පු වඩේ එකකුයි දෙන්න මුදලාලි.”
පිගානකය තනි පරිප්පු වඩයක් දාලා අම්මගෙ අතට දෙනකොට අම්මගේ අතේ එච්චර වෙලා ඔළුව කරකව කරකවා කෑම දිහා බල බල හිටපු පොඩි කෙල්ලගෙ ඇස් දෙක බොඳ වේගෙන එන හැටිත් එහෙම්මම අම්මගේ කනට එබිලා මොනවදෝ කියන හැටිත් මම හොඳටම දැක්කා . කෙල්ල අම්මට මොනවද කිව්වේ කියලා මම දන්නේ නෑ , කවදාවත් දැන ගන්න වෙන එකකුත් නෑ. කෙල්ලගෙ මූණ දිහා බලාගෙනම අම්මා අපහු වඩේ පිඟාන නිශාන්ත අතට දුන්නා . දුවට පුංචි හාද්දක් දෙන ගමන් අපිට එළවලු කෑම එකක් දෙන්න කියනවා ඇහුනා.
අතේ තිබුන ටියුලිප් මල්ල කරකවලා හොයාගත්ත රුපියල් 100කුයි දහයේ කාසි හතරකුයි මුදලාලිට ලැබුනා .
කෑම එකත් අරගෙන දෙන්න ආවේ අපි හිටපු මේසෙට ලඟම මෙසෙකට. අපරාදෙ කියන්න බෑ පොඩි කෙලි පැටික්කිට හොඳට කන්න පුළුවන් , මොනවා තේරෙනවා කියලද . කලින් බොඳ වෙලා තිබුන ඇස් දෙක ආයෙම පෑදිලා තිබුනා. අම්මට කන්න ලැබුනේ කෙල්ලට බත් කටවල් පහක් විතර කැව්වට පස්සේ එක කටක් විතරයි.
තව බත්පතක් ගන්නටවත් වෙන දෙයක් ගන්නවත් අඩුම තරමේ ආපහු බස් එකේ ගෙදර යන්නවත් ඒ අම්මා ලග සල්ලි තියෙන්න විදිහක් නෑ. ටියුලිප් මල්ලට අතදාලා රුපියල් සීය ගත්ත විදියටත් අතේම ගුලිවෙලා තිබුන දහයෙ කාසිටිකත් එක්ක ඒක එකතු වෙලා කඩේට දීපු විදිහටත් ඊට වඩා එක රුපියලක් එ අතේ නැති බවට මට ඕනේම දෙයක් ඔට්ටු අල්ලන්න පුලුවන්.
අතේ ඉන්න කිරිසප්පයෙක් අඩලා බඩගිනී කිව්වට පස්සේ මොන අම්මටද ඉවසන්න පුලුවන් .දරුවෙක්ගේ බඩගින්න වෙනුවෙන් මාස ගානක බඩකුත් අවුරුදු 3 විතර කෙල්ලෙකුත් උස්සගෙන බඩගින්නෙ වැස්සෙ කිලෝමිටර් ගානක් පයින්ම ගෙදරට යනවා වගේ අභියෝගය බාරගන්න පුලුවන් ආදරණීය අම්මා කෙනෙකුටම විතරයි.
දෙයියනේ කියලා දැන් එහෙම නොවුනට සමහර දවස්වල අම්මයි තාත්තයි රෑට නොකා අපිට කන්න දීපු අතීතයක් එක්ක දුප්පත්කම මිනිස්සු මොනතරම් අසරණ කරනවද කියන එක මම දන්නේ අදදැකීමෙන්.
“මිස් , පොඩ්ඩක් කථා කරන් පුලුවන්ද !
මම මේ පොලිසියට අලුතින් ආවේ , රස්සාව ලැබෙනකොට වෙච්ච බාරයක් තියනවා , දරුවෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක්ට මට පුලුවන් විදිහට දෙයක් දෙනවා කියලා . තාම එක ඔප්පු කරගන්න වුනේ නෑ.” මොනතරම් කරුණාවෙන් කථාකලත් නිල ඇදුමට මිනිස්සු තිගැස්සෙනවා . මම එකපාරම ඇවිල්ලා කථා කරනකොට ඒ අම්මගේ ඇස්වල තිබුන ඒ තිගැස්ම මට හොදටම පේන්න තිබුනා.
“මොනවත් අරගෙන දෙන්න තරම් වෙලාවක් නම් නෑ , ඒ මගෙ අතේ තියන පොඩි මුදලක් දෙන්නම මොකුත් හිතන්නේ නැතුව බාරගන්න පුලුවන්ද ? මට බාරෙ ඔප්පු කරගන්න උදව්වක් විදිහට ?” නාදුනන කෙනෙක් මගේ ඉස්සරහා දුප්පත්කම නිසා අඞපු පලවෙනි වතාව ඒක වෙන්න ඇති. ඇස් දෙකෙන් කඳුළු ගලන අතරෙ හා කියලා කියන්න ඔළුව වනන එක විතරයි අම්මට කරගන්න පුලුවන් වුනේ.
මේ මාසේ පඩි එන්න තව සති එකහමාරකට ව‍‍ඩා තිබුනත් ඉතුරු දවස් ටික මෙස් එකෙන්ම විතරක් යැපෙන්න හිත හදාගෙන වොලට් එකේ තිබුන අන්තිම දාහේ කොළ පහ ගුලි කරලා අම්මගේ අතේ තියලා මම ආපහු මේසෙට ආවා.
අපේ මේසෙට තේ එක අවෙ හරි වෙලාවට . අද ඉඟුරු ටිකක් වැඩිී වගේ ….. කමක් නෑ මූඩ් ෆික්ස් කරන්න මරු ඉඟුරුම තමයි.
-ප්රභන්ධයක් නම් නොවේ
උපුටා ගැනීම: Dinelka D. Kuruppuarachchi

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!