1 ශ්ර්රේණියට ඇතුළත් කිරීමට කුමාරව කැටුව ආ අම්මා කුමාරගෙ අතට බුලත් අත දී “ටීචට වඳින්න “කියලා කුමාරට කිවුවා. කුමාර මේ කිසිවක් නෑසුනා සේ බිත්තිය දෙස බලා සිටී. කුමාරගෙ අම්මා කුමාරගෙ බෙල්ල මා දෙසට හරවා “වඳිනවා” යනුවෙන් තදින් පැවසීය. බුලත් අතක් ඇතැතිව කුමාර මගේ දෙපා මුල වැඳ වැටුණි. බුලත් අත රැගෙන මම කුමාර ගේ හිස අත ගා ආශිර්වාද කළෙමි. නැගිට ගත් කුමාර නැවතත් බිත්තිය දෙසට හැරුණි. කුමාරත් මවත් අතර ඇති සම්බන්ධය පිළිබඳව මට කුකුසක් ද ඇති වුණේ දරුවන් පාසලට බාරදෙන මුල්ම දවසේ අම්මාවරුන්ගේ සංවේදී බව අත්දැක ඇති නිසාවෙනි.
” අනේ ටීචර් මෙයා මහා අමුතු ළමයෙක් ” කියමින් අම්මා කතාවට මුල පිරීය.
මෙම මුල්ම හඳුන්වාදීම හමුවේ කුමාරගේ ප්රතිචාරය
දැන ගැනීමේ අටියෙන් මම කුමාර දෙස බැලුවෙමි. ඔහු වගේ වගක් නොමැතිව බිත්තිය දෙසම බලා සිටී.
එහෙත් පන්තියේ අසුන් නොගනිමින් මා වට දැවටී සිටින ඉකි ගසන දෙදෙනා කට අයාගෙන කුමාරගෙ අම්මා දෙස බලා සිටින බව මට වැටහුණි. කුමාර ගැන කරන හැඳින්වීම මේ දෙදෙනා දැනගැනීම නොවිය යුත්තක් යැයි සිතූ මම ක්ෂණිකවම ක්රියාත්මක වුණෙමි. මම සිතාමතාම මේසය මත වූ ටොනික් පියන් පිරවූ පෙට්ටිය අත්වැරැද්දක් සේ බිමට වැටෙන්නට සැලැස්වූයෙමි.
අසුන් ගෙන සිටිමුත් මාගේ අවධානය හා ආදරය දැඩිව අපේක්ෂාවෙන් මා දෙස විමසිල්ලෙන් සිටි කිහිප දෙනෙකු වහා ඉදිරියට දිව ආවේ මූඩි අසුලා දීමට ය.”අනේ පුතේ ඔයාලා පාට කොල වලින් අඹ ගෙඩිය
ලස්සන ට අලවන හැටි මම බලාගෙන හිටියේ . මම ඔයාලා ඒක ඉවර කරලා පෙන්වනකන් බලන් ඉන්නේ “
යැයි පවසා ඔවුන්ව නැවත අසුන් ගන්වා වැඩෙහි නිරත කළෙමි.ඉකි ගසමින් මා අසළ දැවටි සිටින දෙදෙනාගේ හිස අතගා” අනේ පුතේ මට උදව් කරන්නකො මේ මූඩි ටික අහුලලා පෙට්ටියට දාන්න
ඔයාලට තමයි මේක හොඳ ට කරන්න පුළුවන්”කියා ඔවුන්ද වැඩක් නිරත කර ” ඔයත් මූඩි අහුලමුද” කියා කුමාර දෙස බැලුවෙමි.ඔහු බිත්තිය දෙස බලා සිටින වා විනා මගේ වචන මායිම් නොකරයි.මම කුමාර වෙන අවධානයක සිටින නිසාවෙන් මව් දෙසට හැරැණේ කුමාර ගැන දැන ගැනීමේ අටියෙනි.
“පේන්නැද්ද ටීචර් ඇට්ටරකම .කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.ඇහුන්නෑ වාගෙ ඉන්නවා.කා එක්කවත් කතා කරන්නෙ නෑ.ඔහේ තනියම කියවනවා. දවස තිස්සේ ම පදුරු අස්සෙ ගස් උඩ තමයි.මගෙ එක්කත් එකතු නෑ.අප්පච්චි එක්ක?මම අතුරු ප්රශ්නයක් නැගුවෙමි. මෙයාගෙ අප්පච්චි නෑ.මෙයා හම්බවෙන්නත් ඉස්සර දාලා ගියා.මම මෙයා ටිකක් ලොකු වෙනකක් ඉදලා මෙයා මගේ අම්මා ගාවට දාලා ආපහු කොළඹ ගාමන්ට් ගියා. මගේ අප්පච්චි නැති වුණා. මම විතරයි අපේ අම්මාලට හිටියේ” .මට කුමාර ගැන දුක සිතුණි.”මෙයා යාළුවො එක්ක කතාබහ කරලා ඉන්නවා ඇතිනෙ” මම විමසුවෙමි.”අපේ ගෙදර කන්ද උඩම තියෙන්නේ වටේට ගෙවලුත් නෑ.ඒ හින්දා මෙයාට යාළුවො නෑ”.පෙර පාසලේදී යාළුවො ඉන්න ඇතිනෙ” මම ඇසුවෙමි.(එකල අද මෙන් මොන්ටිසෝරි බහුල නැත.සෑම ගමකම තිබුණේ සර්වෝදය පෙර පාසල් පමණි.)” අම්මාට හතිය ටීචර් ඒ හින්ද හැමදාම කන්ද බැහැලා නගින්න අමාරුයි.ඒකෙන් මෙයා පෙර පාසල් ගියේ නෑ.” කුමාරගේ මව පැවසීය.” එතකොට ඉස්කෝලෙ එන්නෙ කොහොමද?” මගෙන් නැවතත් පැනයකි.”පාර පුරුදු වෙනකන් ටික දවසක් මම එක්කන් එනවා.”කුමාරගේ අම්මා පැවසීය . පන්තියේ සෙස්සන් අඹ ගෙඩිය අලවයි.මූඩි අහුලන දෙදෙනා
මූඩි එක උඩ එක ගොඩ ගසයි.කුමාර කතාවට ඇද ගැනීමට මම ඔහු දෙසට හැරී”පුතේ මොකක්ද ඔයාගේ නම “කියා ඇසුවෙමි.කිසිවක් නෑසුණු ලෙසින් ඔහු බිත්තියේ ය.මම කුමාරගේ ලස්සන ගැන පැවසුවෙමි.මගේ ග්රාහකයා බැල්මකින්වත් ප්රතිචාර නොදක්වයි. කුමාරගේ අම්මා මට ඉගි කළේ මම බොරු ද කිවුවෙ යන අදහස ඒත්තු ගැන්වීමට ය.මම කුමාරගේ හිස අතගෑවෙමි.ඔහු මගේ අත ගසා දැම්මේ නොරිස්සුම් සහගත ලෙසිනි.” ඔයා මොකක්ද බලන්නෙ” යැයි පවසා මමද ඔහුගේ දෑස් එල්ල වී ඇති දෙසට නෙත් යොමු කළෙමි.මට එක් වරම සිහි වූයේ සුනිල් එදිරිසිංහයන්ගේ “ඉස්සර මං ගිය පාසල ඇරිලා ” ගීතයයි.එහි සිටි පරිසරයේ විචිත්ර බව අත්දකින දරුවා මා ඉදිරියේ සිටින බව මට පසක් වූයේ බිත්තිය මුල්ලේ දැලක් වියන මකුළුවා කුමාරගේ මේ මොහොතේ ලෝකය බව වැටහුණු නිසා ය.මම කුමාරගේ අම්මාට කිසිවක් නොකියන ලෙසට සන් කොට කුමාර දෙස විමසිලිමත් වූයෙමි.දැන් දැන් කුමාර හිස දෙපසට වනයි.මොනවාදෝ මුමුණයි.මෙම කුමාර සමීප කර ගත හැකි තුරුම්පුවෙන් උපරිම ප්රයෝජන ගැනීමට මම උත්සුක වුණෙමි.”මගේ මකුළු යාළුවා ඔය ඉන්නෙ මම එයාට කියන්නම් ඔයත් එක්කත් යාළු වෙන්න කියලා..” මම කුමාර ගේ උස මට්ටමට පහත් වෙමින් කීවෙමි.මෙතෙක් කිසිවකට ප්රතිචාර නොදැක්වූ කුමාර මා දෙස බැලුවේ “ඔය ඇත්තමද
යන ප්රශ්නාර්ථයෙන් යැයි මට සිතුණි.” මකුළු යාළුවේ මෙයත් එක්ක යාලු වෙන්න” මම කුමාර ට ඇසෙන සේ පැවසූවෙමි.කුමාර නැවතත් මදෙස බැලූයෙන් මම පස්වනක් ප්රීතියෙන් ඉපිල ගියෙමි.මම අම්මාගෙන් කුමාර ව පෙන්වා රහසෙන් භාවිත නම් අසා ඔහුගේ උසට සම වී(එතරම් උස නැති මට මෙය පහසු කටයුත්තක් විය)ඔහුට පමණක් ඇසෙන සේ” කුමාරගේ යාළුවා , කුමාරගේ යාළුවා , කුමාරගේ යාළුවා “කියා තාලයට කීවෙමි.කුඩා දෙතොල් අතරින් මන්දස්මිතියක් මතුවිය.මම කුමාරගේ හිස නැවතත් අත ගෑවෙමි.පෙර මෙන් විරෝධයක් නොමැත.මම පන්තියේ සෙස්සන් අමතා” හැමෝම මෙහෙ බලන්න. ඔන්න පුතේ
ඔයාලට අලුත් යාළුවෙක් ඇවිත් .එයා ආපු ගමන්ම
බිත්ති යාළුවෙක් හොයා ගෙන” යැයි කීවෙමි.” බිත්ති
යාළුවෙක්..!ඒ මොකෙක්ද ඒ?”
පන්තියේ සිටින්නන් විස්මිත ව විමසූහ.” කුමාර විතරයි දැක්කේ නේද කුමාර ?” මම කුමාරගෙන් විමසුවෙමි.
.කුමාර කිසිදු ප්රතිචාරයක් නොදැක්වූ වද ආඩම්බර බවක් දෙනෙතින් පෙන්වීය.
“කෝ ටීච මොකාටද බිත්ති යාළුවා කියන්නෙ”? සෙස්සන්ට කුතුහලයකි.කුමාර දැන් සෙස්සන් දෙස බලා සිටී.අපි කුමාරගෙන් ම අහමු.”ඔයාලා කුමාර කවුද යාළුවා කියලා අහන්නකෝ.” සියල්ලෝම මහ හඩින් “කුමාර කවුද යාළුවා” කියා විමසූහ.නැගූ පැනයට පිළිතුරු නැතත් කුමාර විප්ක්ෂිත්වබලා සිටින්නේ තමාගේ නම මහ හඩින් ඇසූ පළමු වර නිසා විය යුතුය.තවත් පුදුම වන්නට ගිය හොත් වැඩේ දෙල් වන බව සිතූ මම කුමාර වෙනුවට හඩ අවදි කළෙමි.
“ඒ යාලුවා මගේ යාළුවා. දැන් කුමාරගෙත් යාළුවෙක්.එයා තමයි ම…..කු….ළු…..යා…..ළු….වා….
මම අදිමින් තාලයකට කීවෙමි.සෙස්සන්ගෙන් සිනහවක් මතු වුවත් එය සමච්චලයකට පත් නොවූයේ
මගෙත් යාළුවෙක් කී නිසාවෙන් යැයි මට හැගිණි.” ඉතින් කෝ එයා” සෙස්සන් විමසූහ.” ඈතට පේන්නෑනෙ ළගට එන්න.” කීවා පමණකි.සෙස්සෝ මේසය වටා රොක් වී එක පොරයකි.පොරකෑම සමග මතු වූ ගෝෂාව හා කලබලකාරී බව
කුමාර තුළ භීතියක් මතුව ඇති බව ඔහුගේ ඉරියව් කියා පාන්නට විය.වහා ක්රියාත්මක වූ මම සෙස්සන් අමතා “ඔන්න බිත්ති යාළුවා තරහා වෙයි ඔහොම සද්ද කළොත්
යැයි සෙසු හඩ පරදවා හඩ නැගුවෙමි.”කෝ යාළුවා”සෙස්සන් බිත්තිය පුරා ඇස් යැවූවත් මුල්ල ගැන තැකීමක් නැත.” කෝ නෑනෙ” කුතුහලය නිවී නැත.”කුමාර පෙන්නයි” මම කුමාර මුදුනා කළෙමි.ම්හ්… ප්රතිචාර නොදක්වයි.”ආ හරි මම පෙන්නන්නම් “කියා මම පෙනෙන මකුළුවා නොදුටු ලෙසින් බිත්තිය පුරා මකුළුවා සොයමින් කුමාර දෙස බැලුවෙමි.මම”කෝ නෑනෙ යන්න වදනින් නොව
ඉගියෙන් කුමාරගෙන් විමසුවෙමි.කුමර සෙමෙන් අත මකුළුවා දෙසට යොමු
කළේය.”ඔන්න කුමාර යාළුවා පෙන්වනවා” යැයි මා පවසත්ම සෙස්සෝ මකුළුවා දැක” ඔව්මයි අර ඉන්නේ” යනුවෙන් පවසා කිසිදා මකුළුවෙකු නොදුටූවන් සේ විමසිලිමත් ව බැලූහ.ඒ අතරින් එකෙකු “ටීචර්ට පෙනුනෙත් නෑ.අලුත්යාළුවා හිටිය හින්ද හොඳයි” යනුවෙන් පැවසීය.කුමාරගේ ඇස් දීප්තියෙන් බබළද්දී මා උද්දාමයට පත් වූයේ කුමාර
කිසියම් හෝ ප්රතිචාරයක් දැක්වූ හෙයිනි.කුමාරගේ සිත තුළ ඇති වූ දීප්තිය තව තව වඩවාලීමට මකුළුවා දැල් වියන ආකාරය නිහඩවම බලා ගැනීමට යොමු කළ මම
දැල් වියන්නට නූල් සපයා ගන්නා අයුරු හා දැලට පැටලෙන්නන්ගේ ඉරණම රසවත් අයුරින් කියා දුන්නෙමි.මෙතෙක් බිත්තියේ රැදී සිටි කුමාර කට අයා මා දෙස බලා සිටියේ එම විස්තරය දැල ගැන ඔහු තුළ වූ කුතුහලය සන්සිදවෙන නිසා යැයි මම උපකල්පනය කළෙමි.ඉන්පසු මම ” අපි දැන් බිත්ති යාළුවා ගැන කවියක් කියමු යැයි පවසා
බිත්ති යාළුවා
අපේ මකුළු යාළුවා
සුදු පාටින් දැලක් වියයි
මකුළු යාළුවා
තාලයට ගයා දරුවන් ලවා ද අත්පොඩි ගසා තාලයට ගායනා කරලූවෙමි.එක ගලෙන් කුරුල්ලන් බොහෝ ය.කුමාර කවිය නොකියවූවද
අතෙන් කකුලට තාල තබයි.
ඉකි ගසා හැඩූවන්ට ඉකි
ගැසුම යටපත්ව කවි කියයි.
බෙරිහන් දීම කෙසේ වත් වළකාගත නොහැකිව යාබද පුටුවේ මව වාඩි කර ගෙන සිටි පැටවා මව අමතක කර මකුළුවා දෙස බලා සිටී.සෙස්සන් මකුළු නිරීක්ෂණය,මකුළු විස්තරය දැන ගැනීම,තාල තබා කවි ගායනය, මා හට කුමාර යනු හුදකලාව මගින් ගහකොළ, සත්තු හා කතා කරන්නෙකු මෙන්ම එම ලෝකය ඔහුගේ එකම ලෝකය බවට පත්ව ඇති බවත් ඔහුව බාහිරට විවර කිරීමේ යතුර එයම බව පසක් වීම එක ගලේ කුරුල්ලන් ය.
.උපුටා ගැනීම: Chithra Gangani