පිට රට කටර් (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්සර මං දහම් පාසල් යනවා හැම ඉරිදාම. අද වෙයි ඉරුදින…මඟ ඕලු පිපේවිද කියලා ගියාට මොකද හැමදාම දකින ගඳපානයි වතු සුද්ද මල් විතරය ඉතිං පේන්න තියෙන්නෙ. දහම් පාසල් යන්නේ සුදු සරමයි අත් දිග කමිසෙයි ඇඳලා. තව සරමට රෙදි පටියක් ගැට ගහලා, ඊට යටින් ඉස්කෝලේ අඳින නිල් පාට කොට කලිසම ඇඳලා. ආරක්ෂක පියවර අනුගමනය කරගෙන. මොකද සරම සීයට දාහක් ශුවර් උනාට සරම ඇඳන් ඉන්න කුසාං පුතා සත පහකට සුවර් නෑ.. ඊට වඩා මගේ වෙලාව සුවර් නෑ. මොකුත්ම නැත්නම් ටවුම මැද්දෙන් යද්දි හරි බස්සෙකෙන් බහිද්දි හරි සුලි සුලඟක් ඇවිල්ලා හරි පොදු ජනතාව ඉස්සරහා පිට සරම ගලවන් යන ජාතියේ ලකී සෙවන් වෙලාවක් මට තිබ්බේ. ආ තව මම උදේම දහම් පාසල් යද්දි ශොපිං කවරයක් අරන් යනවා. මොකටද දහම්පාසල ඉවර උනාම සරම ගලවලා ඒ මල්ලට දාගෙන එන්න. බලන්න අපේ හැදියාව නේද. එක දවසක් අලුතෙන් මහපු නැශනල් කමිසේ ඇදන් ගිහින් දහම් පාසල් ඉවර වෙලා සරම ගලවලා කවරේ දාං පාරේ එද්දි මිනිස්සු හිනා වෙනවා… හත්වලාමේ බැලින්නම් නැශනල් කමිසේ දණිස්ස ලඟට දිග නිසා කමිසෙට යටින් තියන කොට කලිසම පේන්නේ නෑ… හරියට නිකං කමිසේ ඇඳන් යටට අදින්නේ නැතුව යනවා වගේ.
ආං එහෙම දහම් පාසල් ගිය දවසක , තාත්තා හෝ අම්මා රට ඉන්න ලමයෙක් ගෙනල්ලා තිබ්බා කටර් එකක් , නිකං එකක් නෙමේ පැනසල් උල්කරන පිට රට කටර් එකක්, රට ෆොරිජින් බඩුවක් .ඒකෙ බොත්තම එබුවම ලයිට් එහෙකුත් පත්තු වෙනවා. ගෙනාපු ලමයත් නිකං රජතුමා වගේ. හරි ආඩම්බරයි මං ලයිට් එක පත්තු කරන්න ඉල්ලුවම ඌ මට බැන්නා. ඒ විතරක් යෑ මම පැන්සලේ උල බිම ඇනලා කඩලා උල්කරන්න කටර් එක ඉල්ලුවම ඌ මට දුන්නේ රට කටර් එක නෙමෙ. මලකඩ කාපු පරණ කටර් එක. ඒ නිසා ඌට දෙන්නම් ජම්බු කියලා ඉන්න අවු අස්සේ මම එක පාරටම දැක්කා ඉන්ටවල් එකේදි මෑන්ස් කටර් එක නිකම්ම බංකුව උඩ තියලා එලියට යනව. ඊලඟ තත්පරයෙන් කටර් එක මගේ සරම හරහා යටින් තිබ්බ නිල් කොට කලිසමේ සාක්කුවට එනවා .මම හොරකම් කලේ නෑ කටර් එක මං ගැන පැහැදිලා මට අනුකම්පාවෙන් මං එපා කියද්දී සාක්කුවට ආවේ.
ඊටත් ටිකකට පස්සෙ කටර් එකේ අයිතිකාරයා ඉස්සර ෆිල්ම් වල දෙනවක හාමිනේ අඬනව වගේ පන්සල දෙක වෙන්න හූ තියාගෙන අඬන්න ගන්නව.
අන්තර්ජාතික වශයෙන් වටිනාකමක් සහිත කටර් එක අතුරුදන් වෙලාය කියලා නිව්ස් එක හැමතැනම පැතිරෙනව. කොටින්ම මිනිහා අඬනව බලන්නත් කට්ටිය වට වෙනවා. ඌත් අරින්නේ නෑ ඔටුවා මැරිච්ච සුල්තාන් කෙනෙක්ට නයා මැරිච්ච අහිකුණ්ඨික මනුස්සයෙක් සෙට් වෙලා වගේ නාගසලං වෙන්න අඩනවා. වැඩෙ කිරිමේල් ඔෆෙන්ස් එකක් ගාණට යනවා. ඊට වඩා හපං මිනිහට ඒ කටර් එකම ඕන නිසා ඒක ගේන්න ඉතාලියටම යන්න වෙන එක. ප්රශ්නේ විසඳන්න ගුරුතුමෙක් ඉදිරිපත් වෙනවා.
“ආ සේරම වාඩි වෙන්න… ආ කෑ නොගහා ඉදගන්න…කෝ ලමයි සේරම කෝ එන්ඩ….හ් “
ඊලගට එතුමා ඉරටු මිටියකින් කෑල්ල කෑල්ල හැමෝටම බෙදනව. පුදුම වෙන හැමෝම ඉරට්ටක් අරගෙන බලන් ඉන්නව. ඊලඟට ඔහු මෙහෙම කියනව.
“කවුරු හරි බැරිවීමකින් මේ දරුවගේ කටර් එක අරන් තියනවා. ඒක අත්වැරදීමකින් වෙච්ච දෙයක් , ඒ නිසා ලමයි කලබල වෙන්න එපා
දැන් ඔය හැමෝටම දුන්න ඉරටු කෑල්ල එක සමානයි, හැබයි විනාඩි විස්සක් යද්දි , ඒ කියන්නේ දවල් දොලහා වෙද්දි කටර් එක ලඟ තියන කෙනාගේ ඉරටු කැබැල්ල අඟලකින් දිග වෙනවා…. තේරුණාද…
හරි අපි දැන් පාඩම පටන් ගමු…”
අන්න මිත්රවරුනි මං හීන්දාඩිය දාන් භ්රන්ත වෙලා උඩපනින්න ගත්ත මොහොත, මං සුටුස් ගාලා හොරාට ඉරටු කෑල්ල අඟලකින් කොට කරලා දැම්ම. දිග උනත් පරණ ගානමනේ… කෝකටත් දොලහට ලං වෙද්දි තව ටිකක් කොට කලාම තවත් හොදයි කියලා හිතපු මම අඟල් දෙකකින් ම කොට කරලා දැම්ම. කඩපු කෑලි දෙක හපලා කෑව.
හරක කියලා මරන්නද පිංවතුනි , මං හිතුවේ ඇත්තටම ඉරට්ට දික් වෙයි කියලා.
ගුරුතුමත් සේරම ඉරටු කෑලි එක්කහු කරන් මොකුත් නොවුන ගාණට ආපහු ගියා. මට රටක් රාජ්ජයක් දින්නා වගේ දැනුනා. කටර් එකත් මගේ, ඒ විතරක් ද අර මැජික් ඉරට්ටට බැරි උනානේ මාව අල්ලන්න.මං සෑහෙන උද්දාමයට පත්වෙලා හිටියා.
හැබයි දහම්පාසල ඇරිලා ගාතා කියලා ගෙදර යන්න ඔන්න මෙන්න තියෙද්දි හෙමීට මාව ආවාස ගෙට අඬගහන් ගිය ගුරුතුමා මට මෙහෙම කිව්ව.
“පුතේ … කෝ කටර් එක …?”
මං සුරුස් ගාලා එවෙලෙම ඒක ආපහු දුන්න. එයා මොකුත් නොකියා ආපහු ගියාට මොකද ලොකු හාමුදුරුවෝ වේවැලෙන් තැලුවේ කොන්දේ හරහට පාරවල් හිටින්න. ඒ දඬුවම තාමත් අමතක නොවුනට , ජීවිතේ බරපතලක් තේරෙන කාලෙක.. තේරුම් ගිය එක දෙයක් තිබුණා.
ඒ දහම්පාසල් ගුරුතුමා, වෘත්තියෙන් කලේ ත්රීරෝද රථ පැදවීම. හැබයි මිනිහෙක් ගේ වරදක් ඔඩු දුවන්නේ නැතුව විසඳලා චූදිතයත් වින්දිතයත් දෙන්නම යහ මාර්ගයට අරගන්න ක්රමය ඔහු හරියටම දැනන් තිබුණා. නිකං හරි සේරෝම ඉස්සරහා එයා ඒකට මට දෙකක් තලලා හොරෙක් කියලා හංවඩුවක් ගහලා ප්රසිද්ධියේ දඬුවම් කලා නම් බොහෝ විට අපි තෝර ගන්නේ වල් වැදුණු පාරවල් වෙන්න තිබුණ.
එඤ්ඤං

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!