මගේ තාත්ත ඒ කාලේ කල වැඩ කලේ සවුදි වල හමුදා කෑම්ප් එකක හිටියේ, 5/600 එක පාර කෑම හදන මෙස් වල කෑම ගැන කතා කරලා වැඩක් නෑනේ, ඒ නිසා තාත්තලා පුරුදු වෙලා දවසට එක වේලක් හරි උයාගෙන කන්න. නිවාඩු ආපු කෙනෙක් අතේ අපි පහේ ජාති පොඩ්ඩ පොඩ්ඩ යවනවා, එයාලා ආසා දෙයක් ලංකාවේ විදිහට හදාගන්නවා.
ඒක දැන් පුරුද්දටම ගිහිල්ලා, හැමදාම යනකොට අනුන්ගේ බඩුත් සෑහෙන්න එකතු වෙනවා ගෙනියන්න. බැගේජ් එකේ තමයි ඔක්කොම දාගෙන යන්නේ.
එක පාරක් නිවාඩු ආවලු වැඩිය කාගෙත් එක්කවත් බජනයක් නැති, තමන්ගේ පාඩුවේ ජොබ් එක කරගෙන ඉන්න මනුස්සයෙක් (සිරිල්). එයා නිවාඩු ඉවර වෙලා යන්න හදහනකොට දැන් ගෙදරට හොයාගෙන එනවලු එක එක්කෙනා බඩු පාර්සල් බාරදෙන්න. බලනකොට එයා එක්ක වැඩ කරන අය තම තමන්ගේ ගෙවල් වලට එයාගේ ඇඩ්රස් එක දීලා බඩු එවන්න කියලා. ඔක්කොම ඉතින් නම් ගහලා ලස්සනට පැක් කරපු පාර්සල්.
මොනා කරන්නද. මුවින් නොබැන, ගෙනත් දීපු බඩු ටිකත් පොදිගහගෙන සිරිල් පිටත් වෙලා සවුදි යන්න. එදා කොහොමහරි කරුමෙට සවුදි වලදී බැගේජ් චෙක් කරන්න සෙට් වෙලා. අම්මෝ. මුන් බැගේජ් බලනකොට ඇල්පෙනිත්තේ ඉදන් අතගාලම බලනවා.
දැන් ඉතින් පාර්සල් කඩ කඩ බලනවලු, සිරිල් දන්නෙත් නෑ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මිනිහා ඉන්නවා ටීක් වෙලා, ඇයි චෙක් කරලා නෙවෙයිනේ බඩු ගත්තේ. කැවිලි පෙවිලි, තුනපහ මිරිස්, කරෝල උම්බලකඩ, කොයිකත් පොඩ්ඩ පොඩ්ඩ තියෙනවලු, නීති විරෝදී මුකුත් තිබිලනම් නෑ. හැබයි එක පාර්සල්යක්නම් ටිකක් කේස් වෙලා. අල්ලලා බලලා ඉබලා පොඩිකරලා පෙන්න පෙන්න උන් උන් සැකෙන් වගේ කතා කරනවලු, බැලින්නම් ගොරකා පාර්සලයක්. සිරිල්ගෙන් ඇහුවට සිරිල්ට කියන්න තේරෙන්නෙත් නෑ ඉංගීසි හරි සවුදි හරි බාසාවෙන් ගොරක ගැන. උන්ට දැන් සැකයි මේක මත්ද්රව්යයක්ද කියලා පෙනුමයි සුවදයි දෙකම අමුතුයිනේ. අතින් පයින් දන්න විදිහට සිරිල් කියලා මේක කෑමට ගන්න ජාතියක් කියලා. ඒ පාර සිරිල්ව කාබරේකට ගෙනිහිල්ලා අර පාර්සලෙන් බාගයක් විතර සිරිල්ට අමුවෙන්ම කවලා පැය 2-3ක් රදවගෙන මත් වෙනවද බලන්න. හිතල බලන්න ෆ්රෙන්ඩ්ස්, අනුන්ගේ ගොරකා පාර්සලයක් අමුවෙන් කන්න උන්නාම දැනෙන්න ඇති ෆන් එක. මත් විම කෙසේ වෙතත් සිරිල්ට දැන් බඩයනවලු හෝ ගාලා. වැඩට රිපෝට් කරන්න කලින් දවස් කීපයක් ඉස්පිරිතාලෙත් ඉන්න වෙලා.
එදා ඉදන් මෑන්ගේ කාඩ් එක ගොරකා සිරිල්, හැබැයි ඇහෙන්නේ නැති තැනකදී විතරයි. ඇහුනනම් අහගතහැකි පරම්පරාවේ ජාතකේ.
උපුටා ගැනීම: Nathanielsz Dunil Roshan