ඔබේ දයාබර එකම වදනකින්.. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මතුගම සිට ගාලු පාර තෙක් දිවෙන ප්රධාන මාවතෙහි යටදොළ මංසන්ධියත් ඉන්ධන පිරවුම් හලත් අතර පිහිටි පෙදෙසෙහි තාවකාලිකව ඉදි කොට ඇති මෙම කුඩා වෙළද සැල් කිහිපය එකී මාර්ගය භාවිතා කරන මා නිතර දකින සුලබ දසුනක්වුවත්, කෙතරම් වරක් එකී කඩ පෙළ පසු කරගෙන ගියත්, කිසිදා කිසිදුම දෙයක් ඉන් ම්ළටගෙන තිබුණේ නැත.
නමුත් මාගේ ඉතා ලබැදි හිතවතියක් එකී කඩ පෙළෙහි කඩයකින් අඹ මිළට ගෙන තිබුණු අතර ඇයට නැවත වරක් එම මිහිරි රසැති අඹ රසවිදීමට අවැසි වූ නිසාවෙන් ඇය වෙත තිළිණ කිරීම සදහා ,අඹ මිළට ගැනීමට පළමු වතාවට එම ස්ථානයෙහි නතර වුයෙමි.එම තීරයෙහි අඹ විකුණන කඩ කිහිපයක් පැවතීමත්, ඇය අඹ මිළට ගත්තේ හරියටම කුමන තැනින්දැයි කීමට නොහැකි වීමත්, මත මා සෙමෙන් ඉදිරියට රිය ධාවනය කළේ වඩාත් හොදම තැන සොයා ගැනිමට අවැසි වූ නිසාවෙනි.
ඡායාරූපයේ පෙනෙන කඩය පිහිටා ඇත්තේ එම තීරයෙහි මැදට වන්නටවන අතර ඒ දෙසට යන විට මට “ඔහු ” හමුවිය.නිල් කුරුමිට්ටෙකු මුද්රිත වූ රෝස පැහැති ටී කමිසයකට ඩෙනිම් කොට කලිසමක් ඇදි වයස අවුරුදු හතක් අටක් වීමට තරම් කුඩා, හුරුබුහුටි “ඔහු” ඉතා කඩ්සරව මා වෙත දුව ආවේය.නොපීරූ අවුල් කෙස් රොදවල් යටින් බලාපොරොත්තු දැල්වුණු නෙත් දෙකක් දිලිසුණු අතර තැනින් තැන කහ පැහැ වූ දත් පෙන්වා පුලුල් සිනහවක් පිරිනැමීමටද හේ අමතක නොකළේය.
“මහත්තයා අඹද? “
” ඔව් පුතේ. කොහොමද ගණන් කියන්නකෝ”
ඔහුගේ හුරුබුටි අත අඹ ගොඩවල් හතරකට දිගු වූ අතර මිහිරි, හුරතල් හඩකින් එකී අඹ මිළට ගැනීමට මාහට වැයවන මුදලත්, එම මුදලට මා හට හිමිවන අඹ ගෙඩි ගණනත්, පැහැදිලිව විස්තර කිරීමට තරම් වයසට සාපේක්ෂව ඉක්මවූ පරිණත බවක් ඔහු තුළ පැවතුණි.
මාගේ හිතවතියට අවැසි වූ කර්තකොළම්බන් වර්ගයේ හෝ ඊට සමාන නෑකමක් පැවති අඹ විශේෂය එතැන පැවති මිලෙන් වැඩිම අඹ වර්ගය වූ අතර මා ඉන් පහක් ඉල්ලා සිට්යෙමි.
“හොද ඒවායෙන් තෝරලා දාන්න පුතේ “
” හරි මාමේ “
තත්පර කිහිපයක් තුළ අඹ ගොඩ පීරා අඹ බෑගය මා වෙත ලබා දුන් අතර මා ඒවා නැවත පරීක්ෂාකර බැලුවේ ඔහුගේ වයස පිළිබදව පැවති කුකුස නිසාවෙනි.
මා එය සිදුකරමින් සිටින අතරතුරද “ඔහු” ලෝකයක් හිමිවූ පරිද්දෙන් අතිශයින් සොම්නස් සහගතව මා දෙස බලා සිට් අයුරු දැනුදු මැවී පෙනේ.
” හරි හපනෙක්නේ පැට්යෝ ඔයා.හොදම ඒවා තමයි.ඒකට ස්තූතියි.ගිහිං එන්නං”
මා ඔහුට ස්තූති කොට රථය මාර්ගයට ගැනීමට මූලික පියවරයන් ගනිද්දී “ඔහු” රථයේ වම් ඉදිරිපස වීදුරුවට තට්ටු කරන හඩ ඇසුනු අතර ඒ නිසාවෙන් නැවත එය විවෘත කළෙමි.
” මාමේ මේක මං ගානේ ඔයාට.”
මා ම්ළට ගත්, ඔහු ළග තිබූ වටිනාකමින් වැඩිම අඹ විශේෂයෙන් එකක් මා වෙත දිගු කරමින් සිටින ඔහු කෙරේ හදවත උණුසුම්වන බව දැනුණි.ඒ සමග ඔහුගේ සොදුරු ත්යාගය පිළිබදව ඇති වූයේ නොමද කුතුහලයකි.
” ඇයි දරුවෝ ඕක මට දෙන්න හිතුනේ”
ඔහුගේ පිළිතුර මා කෙනෙකුගෙන් ඇසූ සුන්දරතම පිළිතුරු වලින් එකකි.
” මාමා මට “පුතේ” කියපු නිසා “
මා තුළ උපන්නේ කුමන ආකාරයක හැගීමක්ද යන්න විස්තර කිරීමට උගත් වචන මට මදිය.එය ආමන්ත්රණයක් නිසා මා ලද ලොකුම සතුටකින් එකක් බව නම් පැවසිය හැකිය.
තවත් ඔහු සමග දොඩමලුවන්නට එය කදිම අවස්ථාවක් හිමිකර දී තිබුණි.
“කෝ පුතේ අම්මා තාත්තා..”
” අම්මානං කිරි කට්ටියේ.
තාත්තා අපිව දාලා ගිහිල්ලනේ..”
මා අසා ඇත්තේ ඔහුගෙන් නෑසිය යුතු නුසුදුසුම පැනයක් වූ අතර එයින් ඔහුගේ ව්සල් හදවත රිදුනේදැයි මොහොතකට සිතුනි.නමුත් ඔහුගේ තිබුණු ප්රියමනාප පෙනුමෙහි එකදු අඩුවක් එයින් ඇති නොවූ අතර එය අප හමු වූ මොහොතට වඩා වැඩි සතුටකින් පිරුණු හදවත් දරන් වෙන්ව යන්නට කිසිදු බලපෑමක් ඇති නොකළේය.
මාගේ හිතවතිය එම අඹ ඉතාමත් මිහිරි රසයකින් වූ බව අමතා පවසා සිටියාය.ඇය නොදත් එක් දෙයක් ඇත.ඒ, මා හට හිමිවූ මා විසින් රස නොවිදි රසවත්ම අඹයද ඒ අඹ මල්ලෙහි සැගව සිටි බවයි.
“ඔහු” මුලින් මා ඇමතූයේ “මහත්තයා” යන කිසිදු දරුවෙක් වැඩිහිටියෙකු ආමන්ත්රණය නොකළ යුතු යැයි මා සිතන වචනයෙනි.නමුත් අප වෙන්ව යන විට “මාමා” යනුවෙන් අමතන්නට තරම් නෑදෑ බැදීමක් ඇති කිරීමට “පුතේ” යන වචනය ප්රබල චරිතයක් ඉටු කොට තිබුණි.
මා ස්තූතිවන්ත වෙමි.අසාමාන්ය වූ මගේ ළමා කාලයට.ක්රිකට් පිත්තක් තිබිය යුතු අතක ලෝකයේ හොදම ළමා පරිවර්තනයන් තිබුණු ළමා කාලයට. එමිල්, යුෂ්කා, ඈන්,පොලියානා, එලිසබෙත් ,ඩෙනිස්, ආදී ළමාව්ය සොදුරු කළ මිතුරන්ට.මිතුරියන්ට.ඔවුන් නිසාවෙන් කවර තරාතිරමක කුමන සමාජ ස්තරයක දරුවෙක් වුවත් ඇමතිය යුතු ආකාරයක් ඇති බව නිරායාසයෙන්ම පුරුදු පුහුණු වී ඇත.
ජීවිතයක ළමා ලෝකය පවතින්නේ ඉතාමත් කෙටි කාලයකි.ඒ කාලය තුළ ලෝකයේ හොදම දයාර්ද වචන වලින් ආමන්ත්රණයක් ලැබීමට දරුවන් ඔවුනගේ උපතින්ම සුදුසුකම්ලද්දෝ වෙති.ඉතින් හිතවත අපි ඔවුනට ඔවුනගේ නම,”අක්කා”, “නංගා” ,”මල්ලා”,”අය්යා”(🤮) ලෙසින් නොව හුරුබුටි වචනයකින් ආමන්ත්රණය කරන්නට පුරුදුවෙමුද?
දිගු යැයි මා සිතන ලියමනක් කෙටියෙන් අවසන් කිරීමට සිතෙයි.”වචන” කෙනෙකු කඩා ඉහිරවන්නට මෙන්ම ආදරයෙන් මුසපත් කිරීමට තරම් ප්රභල මාධ්යක් වන්නේය.කැඩුනු බිදුනු හදවතක් සැණින් සුවපත් කිරීමට වචනයකට තරම් හැකියාව ඇති වෙනත් ඔසුවක් නොදන්නෙමි.ඔබ බිදී ඉහිරුණු වෙලාවක ඔබේ ජීවිතයේ සොදුරුම බැදීමකට අමතා බලන්න.මා කියනා දෙය වැටහේවි.
” ලොවම එපා වී,ලොවම කළකිරී,
තැවී දැවී හිදිනා වේලේ…..
ඔබේ දයාබර එකම වදනකින්,
මගේ ආත්මය සුවපත් වේ…. “
උපුටා ගැනීම:  ✍ නිපුන ඩී. ගුණසේන.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!