“දූවිලි බෝනික්කෝ” (කෙටි කතාවකි) (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අම්මේ උක්කුං ජංගියෙ රුන්නා”
එක දවසක් ලොක්කි ඔහොම කෑ ගහලා කිව්ව එකේ ප්රතිඵලයක් විදිහට උනේ අහිංසක උක්කුංව අම්මා කෝටුමස් කරපු එක…
එදා අම්මා උක්කුන්ට පයින් හිටං ගැහුවා…
ලොක්කිට හරියට දුක හිතුණා..
එදා ඉඳන් කවදාක්වත් උක්කුං ගේ අස්සේ රුන්නත් අම්මට කිව්වෙ නෑ ලොක්කි..
එයා තනියම ඒ හැම එකම සුද්ද කළා…
පස්සේ පස්සේ ලොක්කි උක්කුන්ව පුරුදු කර ගත්තා එළි පෙහෙළියට යන්න..
වෙනසක් දැනෙන කොට උක්කුන් අමුතු විදිහට ඇඹරෙන්න ගත්තා.
එතකොට ලොක්කි ඒකාව උස්සගෙන එලියට දුවනවා…රේල් පාර පැනගෙන කැලේ පැත්තට…
ඇලෙන් ගෙනාපු වතුර බකට් එකකුත් තියෙනවා කොයිවෙලාවෙත්..ඕකත් තනි අතින් උස්සගෙන තමයි කෙල්ල දුවන්නෙ.
ලොක්කි යන කොහෙ උනත් උක්කුංව එල්ලගෙනම තමා යන්නේ…..
උක්කුං කවදාවත් හිනා උනේ නැහැ..ඒත් උක්කුංගේ ලොකු ඇස් දෙකෙන් උක්කුං හැම තිස්සෙම ලොක්කි දිහා බලාගෙන උන්නා …
ලොක්කී උක්කුන්ගේ වයසෙ විතර කාලෙදි රේල් පීල්ලෙන් පැනලා අම්මා එක්ක මාලනී නැන්දගේ පෙට්ටි කඩේ පැත්තට යන කොට, පාර දෙපැත්තේ තිබුණ කඩ සාප්පුවල, ලස්සන ලස්සන බෝනික්කෝ ගොඩක් හිටියා දැක්කා…
උන් නං හිටියෙ හිනාවේගනමයි.
සමහර වෙලාවට එයින් එකෙක් දෙන්නෙක් ඒ වගේ ම ලස්සන බෝනිකි ළමයි වඩා ගෙන ඒ ළමයින්ගේ අම්මලගේ අතේ එල්ලිලා උජාරුවෙන් දුර ගමනක් යනවා ලොක්කි දැක්කා.
ඒ බෝනික්කෝ හැම තිස්සෙම ගියේ ජය පහට ඇඳ ගත්තු ඒ වගේ ලස්සන ළමයි එක්ක විතරමයි.
කවදාවත් ඒ එක බෝනික්කෙක්වත් දූවිලි කුණු පෙරාගෙන හිටපු ලොක්කි එක්ක ආවෙ නැහැ.
දවසක් ඒ බෝනික්කෝ දිහා බලාගෙන හිටපු ලොක්කිව සාප්පුවෙ අයිතිකාරයා එලියට ඇවිල්ල එළවලා දැම්මෙ හරියට ලොක්කි බලාගෙන හිටියම ඒ බෝනික්කෝ කැත වෙනවා කියල හිතල වගේ.
හිටපු ගමන් අම්මගෙ බඩ ලොකු වෙන කාලෙට ලස්සන ලස්සන බෝනික්කෝ එළියට ආවා තමයි.
ඒත් ලස්සන ලොකු කාර් වෑන් වලින් ආපු ලස්සන ලස්සන නෝනල මහත්තුරු ගෙදරට ගෙනාපු පරක්කුවෙන් ඒ බෝනික්කෝ අරගෙන ගියා.
අම්මගේ බඩ ලොකු වෙන කාලෙට මහත නැන්දා අනිවාර්යෙන් කොහේදෝ ඉඳලා එනවා.
අර ලොකු ලොකු මහත්තුරු නෝනලා බෝනික්කෝ ගෙනියන්න ආවේ ඒ මහත නැන්දා එක්ක.
සමහර බෝනික්කෝ එළියට ආවේ ගෙදරදිමයි.
ඒ වෙලාවට මහත නැන්දත් ආවා…
එයා තමයි ඒ බෝනික්කන්ව එලියට අරගෙන ආවේ…
ඒ බෝනික්කෝ එලියට ආපුහාම නම් කෑ ගහලා ඇඬුවා….
ඉතිං දවල්ට කන්න කෑම පාර්සලයක් අර ගන්න මාලනී නැන්දාගේ පෙට්ටි කඩේට ගියාම
“මේ සැරේ අම්මට නංගියෙක් ද මල්ලියෙක් ද බං හම්බුනේ”
“දන්නෙ නැහැ”
“උඹ දැක්කෙ නැද්ද කෙල්ලෙ?”
“දැක්කා…”
“ළමයව අරගන ගියාද ?”
“ඔව් “
“අනේ ඒක හොඳයි බං..උන් වාසනාවන්තයෝ..”
මෙහෙම අලුතෙන් එළියට ආපු බෝනික්කෙක් නෝනල මහත්තුරු ඇවිල්ල අරන් ගියාට පස්සේ ලොක්කිලට ටික දවසක් යනකං රස රස කෑම හම්බෙනවා…ගේ අස්සෙ වුණත් ටිකක් ලකක් තියෙනවා…..
රේල් පාර අයිනේ තියෙන ලෑලි ගෙයි ටකරං කෑලි, ඊට උඩින් දාපු එක එක ලට්ට ලොට්ට උඩින් දවසට දෙසැරයක් යන දුම දෙතුන් සැරයක් යන්න ගන්නවා….
හීන ලෝකෙක පාවි පාවි අම්මා හිනා වෙනවා…
“කුමාර …කුමාර ….එන්න අත් අල්ලන් දුවමු”
තනියම හිනාවෙන අම්මා එයාගෙ සුපුරුදු දෙබස් ටික කියනවා…
ලොක්කිට දැනුම් තේරුම් තියෙන දවසේ ඉඳලා අම්මා හැමදාම ලොක්කි කවදාවත් දැකලා නැති කුමාර කෙනෙකුට කතා කරනවා…
ඊට පස්සේ හයියෙන් හිනා වෙනවා…..
ඊට පස්සේ අඬනවා….
අම්මගේ කට දෙපැත්තෙන් කෙල බේරෙනවා.
අන්තිමේ වැටිලා නිදා ගන්නවා…
ඔය ඔක්කොම පටන් ගන්න කලින් ඊයම් කොළයක දාපු මොනවද සිගරට් එහෙකට දාලා නාහෙට අදිනවා….
අම්මා කොහොමත් එන්නෙ එලිවෙන ජාමෙට…ඊට පස්සේ තමයි ඔය හිනා වෙන්න පටන් ගන්න එක කරන්නේ…
අම්මා එනකොට පාන් කෑල්ලක් අරගෙන එනවා හොදි මොනවා හරි එක්ක….නැත්තං රොටියක්.
කේතලයට වතුර ටිකක් තියලා ලොක්කි තේ ටිකක් වක්කර ගන්නවා…
ඊට පස්සේ අම්මා ගෙනාපු පාන් හරි, රොටි හරි ,මොනවා හරි කනවා.
අම්මටත් ලොක්කී තේ එකක් හදලා දෙනවා ප්ලාස්ටික් කෝප්පෙට.
ඊට පස්සේ හිනා වෙලා, අඬලා අම්මා නිදාගන්නවා…
මාලනී නැන්දගේ පෙට්ටි කඩේට ගිහිල්ලා කෙල්ල බත් පැකට් දෙකක් ගේනවා …සමහර දවස් වලට එක එක නෝන මහත්තුරු ටවුමෙ ගෙනල්ලා බත් පැකට් බෙදනවා…
එතකොට ලොක්කි ගිහිල්ලා බත් දෙකක් අරං එනවා..එකක් විතරක් දුන්නොත් තව එකක් ඉල්ල ගන්නවා.
අම්මා නැගිටලා, කාලා, ආයෙත් හිනාවෙලා, අඩල නිදියගන්නවා….කළුවර වැටීගෙන එද්දි තමා අම්මා ආයේ නැගිටින්නෙ….ඊට පස්සේ ඇළට ගිහිල්ලා නාලා අම්මා ගෙදරින් පිට වෙනවා…
අම්මට ලැබෙන බෝනික්කෝ එක එක්කෙනා ගෙනිච්චට, උක්කුංව විතරක් කවුරුත් ගෙනිච්චේ නැහැ…
උක්කුං එලියට එනකොට මහත නැන්දාවත් කවුරුත් හිටියේ නෑ..අම්මා ඉස්පිරිතාලෙ යනවා කියලා ගියෙත් නෑ….
රෑ තිස්සේ අම්ම කෑ ගැහුවා …අම්මාගෙ කකුල් දෙක මැද්දෙන් උක්කුං එළියට එද්දී, එයාව ඇදලා ගන්න කියලා අම්මා කෑ ගැහුවෙ ලොක්කිට…
බෝලයක් වගේ එළියට ආපු ඔළුගෙඩිය අත් දෙකෙන්ම අල්ලලා ඇද්දා ලොක්කි….
ඔන්න බොලේ ජරාව නාගෙන හිටපු රෝස පාට බෝනික්කෙක් ….
අම්මා කියපු විදිහටම එයාව අම්මගේ බඩු උඩින් තිබ්බා…තියලා අම්මා ඉල්ලපු පිහි තලෙත් අරගෙන දුන්නා….
අම්මා එයාව කකුල් දෙකෙන් උස්සල ගත්තම ලොක්කී හිතුවේ අම්මා ඒ බෝනික්කාව විසි කරන්න යනවා කියලා..
“අනේ එපා අම්මේ එපා”
ලොක්කි කෑගහද්දී අම්මා ඒ බෝනික්කගෙ පිටට ගහගෙන ගහගෙන ගියා….
ලොක්කි කෑ ගැහුවා…
කිසි හැල හොල්මනක් නැතුව හිටපු බෝනික්කගේ පිටට අම්මා ආයෙත් ගැහුවා….කකුල් දෙකෙන් අල්ලලා හෙල්ලුවා…
ඊට පස්සේ අම්මා ඒ බෝනික්කාව පැත්තකින් තිබ්බා …..
ටිකකින් ඒ බෝනික්කා කෙඳිරි ගෑවා…
එතකොට අම්මා හැරිලා බලලා ..
“පණයි” කිව්වා……
ඊට පස්සේ ලොක්කි පොරවන චීත්තෙ කෑලි වලට ඉරලා ඒවා වතුරෙන් පොගෝලා බෝනික්කාව පිහ දැම්මා.
ඔහොමයි ලොක්කිට බෝනික්කෙක්ව හම්බ උනේ…
අමුතු ලොකු ඇස් තිබුණු …අමුතුම අමුතු උක්කුංව දැක්ක හැටියෙම මහත නැන්දා කිව්වා
“මූ ලෙඩෙක් බං”
ඉතින් කවුරුත් ආවෙ නෑ කාර් වල උක්කුංව ගෙනියන්න…
එයාව කවුරුත් ගෙනිච්චෙ නැති නිසා කලින් සැරේ වගේ සරු වුණේ නෑ…
ඒත් රෝස පාටට හිටපු උක්කුං නිසා ලොක්කිගේ ජීවිතය වෙනස් වුණා….
උක්කුං අඩන කොට, අම්මා හිනා වෙමින් ඉන්න වෙලාවල් තමා වැඩි හරිය තිබුණේ.ඉතින් උක්කුංව නැලෙව්වෙ ලොක්කි…..
අම්මා රෑට එළියට ගියාම උක්කුං අඬද්දි තේ කහට, කොත්තමල්ලි වතුර පොවලා ලොක්කි එයාව පරක් කරගත්තා….මාලනී නැන්දා කියපු විදියට.
පස්සේ පස්සේ උක්කුංට තේ කහට වල පොගෝලා පාන් කෑල්ලක් කවන්නත්…ටික ටික බත් කවන්නත්..තිස්සෙම එයා එලියට ආපු පළවෙනි දවසෙ වගේ කෑම හිරකරගෙන හැල හොල්මනක් නැතුව ඉද්දි ,අම්මා ගැහුව වගේ පිටට ගහලා ආපහු එයාව හුස්ම ගන්න ජීවියෙක් කරන්නත්, ලොක්කිට පුළුවන් වුණා.
උක්කුංට ඇවිදන් යන්න බැරුව ගියා.
එයා ලොකු වෙද්දිත් ගියෙ බඩගාගෙන.
තිස්සෙම රේල් පීල්ල හරියට බඩගාගෙන යන නිසා උක්කුං හිටියෙම දූවිලි නාගෙන…
කෝච්චි වල සද්දේ ඇහෙනකොට කොයි වෙලෙත් ලොක්කි උක්කුංව හොයනවා…
කොහොම වුනත් නිතරම උක්කුංව ඇළට ගෙනිහිල්ලා නාවල, ඇඟ හෝදලා පිරිසුදුව තියන්න ලොක්කි නිතරම කටයුතු කළා…
උක්කුංගේ කට දෙපැත්තෙන් තිස්සෙම කෙල බේරුණා …මාලනී නැන්දා ගේ උපදෙස් අනුව ඒකගෙ බෙල්ලෙ පරණ රෙදි කෑල්ලක් ගැට ගහලා තිබ්බ ලොක්කි…
ලොක්කිගෙ උසට හිටපු ළමයි ඉස්කෝලේ යනවා බල බල හූල්ලපු කාලේ ඉවර වුණා උක්කුංගේ පැමිණීමත් එක්ක.
උක්කුන්ගේ වැඩ එක්ක එහෙම හීල්ලිලි වලට වෙලාවක් තිබුනෙම නැති තරම්.
ටවුමේ දාන දෙන වෙලාවට දැන් ලොක්කි යන්නේ උක්කුංවත් වඩාගෙන නිසා බත් පැකට් දෙකක් කොහොමත් හම්බෙනවා…
කෝච්චියක් යන සද්දෙ ඇහෙන හැම වෙලාවෙම උක්කුනුත් ඒ හා සමානම සද්දයක් පිට කරනවා….එතකොට ලොක්කිට හරි හිනා …
හවසට රේල් පාර පැනලා උක්කුංවත් වඩාගෙන ලඳු කැලෑව පැත්තට යන ලොක්කි බාලොලියා පඳුරු වල ඉන්න සමනල්ලු උක්කුංට පෙන්නනවා…
ලොක්කිගෙ ඔලුවෙ තඩි පිරිලා හිටියට උක්කුංගෙ ඔලුව තිස්සෙම බලලා තඩියි ලේඩියි අයින් කළා ලොක්කි…
තිස්සේම හෙම්බිරිස්සාව හැදිල කහින්න ගන්න උක්කුංව, මාලනී නැන්දා ගේ උපදෙස් අනුව ඉස්පිරිතාලෙට එක්කන් ගියා.
මේ ලෙඩ දරුව උස්සගෙන එන පුංචි කෙල්ලව තරුණ වෛද්යවරයාටත් දැන් හොඳට හුරුයි.
මේ දැරියව දකින කොට වෛද්යවරයාගේ හිතටත් ලොකු දුකක් දැනුනා.
මුල්ම පත් වීම අරන් රෝහලට ආපු මුල්ම දවස්වල, මේ දැරියව සහ අර ලෙඩ දරුවව දැක්කාම තරුණ වෛද්යවරයාගේ සිතට මහත් කුතුහලයක් දැනුනා ..
පස්සේ තමා දැනගත්තේ ඒ දැරිය සහ ලෙඩ දරුවා රේල් පාර අයිනේ අනවසර ලෑලි නිවසක වෙසෙන මත් කුඩු වලට ඇබ්බැහි වූ තරුණ වෛශ්යාවගේ කියලා….
ලෙඩ දරුවාට හැමදාම දෙන සුපුරුදු ඉස්පිරිතාල බේත් වට්ටෝරුව දීලා, දැරියගේ හිසත් අත ගාලා තමා, වෛද්යවරයා ඒ දෙන්නම පිටත් කරන්නේ.
අම්මා උදේට පාං කෑල්ලක් වත් නැතුව හිස් අතින් එන දවස් වලට, ලොක්කි උක්කුංව වඩාගෙන පන්සලට යන පඩි පෙළ ගාව ඉඳගෙන, යන එන අයට අත පාන්න පටන් ගත්තා …නැත්තං එහෙම දවස් වල ට දවල්ටත් මොකුත්ම නැති බව දන්න නිසා..
එහෙම වුනේ හුඟක් වැහි කාලවල් වලට….මාලනී නැන්දාගේ පෙට්ටි කඩෙත් නෑ එහෙම දවස් වලට..උක්කුංව බඩගින්නේ තියන්න පුලුවන්ද වැස්ස කියලා…
පොලොන්නරුව කියන්නේ රජ ගොල්ල හිටපු දිහක්ලු …රජගොල්ලො කියන්නෙ බෝනික්කන්ටත් වඩා හොද අය කියන එකට වඩා දෙයක් ලොක්කිට තේරුම් ගියේ නැහැ.
මාලනී නැන්දා ඉන්නේ මනන්පිටිය දිහාලු…ලොක්කි දන්නෙ නැහැ ඕවා …වහින කොට මනම්පිටිය පාලමට මෙහායින් වතුර දානවලු …ඒකලු මාලනී නැන්දා වහින කාලෙට එන්නෙ නැත්තෙ..
හැබැයි ගේ පහුකරන් යන කෝච්චි නවත්තන්නෙ කදුරුවෙල ඉස්ටේසමේ කියලා නං ලොක්කී දන්නවා.
අම්මත් උන්නා කියන්නේ මාලනී නැන්දලගේ ගමට අල්ලපු ගමේලු…එහාට කොටි ගැහුවලු….අම්මලාගේ සේරම මැරුව ලු .
කොළඹින් ආපු නෑදෑයෝ අම්මව අරගෙන ගියාලු….
හුඟ කාලෙකට පස්සේ අම්මා කදුරුවෙල ටවුන් එකේ හිටියලු…..
“ඒ එනකොට ඒකිගෙ ගන්න දෙයක් නෑ බං …” හැමදාම කියන එකම කතාවේ අන්තිම දෙබස ඕකයි.
රේල් පාර අයිනේ ලෑලි පැලේ ඉස්සරහ ඉදගෙන උක්කුංට බත් කවන ලොක්කිගෙ දසුන කෝච්චියේ එහෙට මෙහෙට දිනපතා ගිය මිනිස්සුන්ට පුරුදු දසුනක්….
හිනා උනේ නැති උක්කුංව අඬවන්නේ නැතුව තියාගන්න, ලොක්කි පුංචි කමට හැමදේම කළා….
ලදු කැලෑවේ බාලොලියා පඳුරු වල මල් පැණි හොයාගෙන ආපු සමනලයින්ගේ ඉඳලා බත් කූරෝ…කොටින්ම කාක්කො පවා ලොක්කිට ඒකට උදව් කරා …..
උක්කුං කතා නොකළට ලොක්කි තිස්සේ ම උක්කුං එක්ක ඔහේ කියෙව්වා..දෙපැත්තෙන් බේරෙන කෙළ පිහදාලා උක්කුංව ඉම්බා…ලොක්කිගෙ බෝනික්කා….
තමුන්ට යන්න බැරුව ගියාට, උක්කුං තමුන්ගේ උසට ආවහම උක්කුංව නම් කොහොම හරි ඉස්කෝලේ යවනවා කියලා ලොක්කි හිතින් හිතා ගත්තා….
ඒකට ‘සහතික’ ඕන කියලා මාලනී නැන්දා කිව්වා …
පන්සල ගාව තව ටිකක් වැඩියෙන් ඉඳලා සල්ලි හොයා ගෙන, ‘සහතික’ කියන එව්වා විකුණන තැනකින් ගන්නවා කියන එක තමා ලොක්කිගෙ කල්පනාව.සමහර විට මාලනී නැන්දගේ පෙට්ටි කඩේ තියෙනවද දන්නෑ …සහතික…
එදත් කලින්දා වගේම අම්මා උදේට මුකුත්ම අරන් ආවෙ නැති දවසක්…
උක්කුංටත් උණ ..
තදින් වහින හින්දා මාලනී නැන්දත් නැතුව යයි…ණයට බත් පැකට් එකක් ගන්න.
වැස්සේ තෙමන්න උක්කුංව අරගෙන යන්නත් බෑ,පන්සල ගාවට..අනික උණ නිසා උක්කුං නිදි ….
ලොක්කී තනියම පිටත් වුණා …අම්මටත් කට ඇරන් නින්ද ගිහිල්ලා …
පන්සල ගාවත් වැඩිය සෙනග හිටියේ නෑ… ටවුමේ බස් ස්ටෑන්ඩ් එක ගාවටත් ගියා….කීයක් හරි හොයා ගන්න ටිකක් වැඩිපුර ඇවිද්දා…
ආපහු එනකොට රේල් පාර පැත්තට සෙනඟ දුවනවා ලොක්කි දැක්කා …එයත් හයියෙන් දිව්වා…
සෙනග වට කරන් රේල් පාර….
“අර හිඟන කෙල්ල උස්සන් යන අබ්බගාත ළමයා…”
“ඒ ගෑනි කුඩු ගහනවා නේ ..කොල්ල බඩගාගෙන රේල් පාරට ඇවිල්ලා …”
සෙනග තල්ලු කරගෙන දිව්වා ලොක්කි…
උක්කුං ගේ ඔලුව පැත්තක …..එයා හිනා වේගෙන හිටියේ ….ආනේ…උක්කුං හිනාවෙලා….
ලොක්කි ලෑලි පැල පැත්තට හැරිලා අම්මට කෑ ගැහුවා …
“අම්මේ මේ බලන්න උක්කුං හිනා වෙලා….එයා හිනාවෙනවා අම්මේ …”
ගෝනියකුත් අරන් දුම්රියෙන් බැහැලා ආපු දුම්රිය නියාමක මහත්තයා ලොක්කි එපා කියලා කෑ ගහද්දි හිනාවේගනම හිටපු උක්කුංව එකතු කරගෙන ගෝනියට දාගෙන අරන් ගියා…
_____________________________________________
හවසට හවසට ලස්සනට ඇඳ ගත්තු ලොක්කි අම්මා වගේම ලස්සන ලස්සන බෝනික්කෝ ගෙනාවා…හැබැයි කවදාවත් ඒ එක බෝනික්කෙක්වත් එයා ලඟ තියා ගත්තේ නැහැ.ටිකක් වයස උනත් අර මහත ගෑනු කෙනා තාම එනවා….දැන් ලොක්කි ඉන්නෙ රේල් පාර අයිනේ නෙමෙයි.පොලොන්නරුව ටවුමේ ලොකු හෝටලයක් වගේ ගෙදරක.
අර මහත ගෑනු කෙනා ඒ ගේ ගාවට එනවා ලොකු ලොකු වාහන වල…
ලොක්කිගෙ බෝනික්කෝ අරගෙන යන්න…අවුරුද්දකට දෙකකට සැරයක් වගේ..
හැබැයි හුඟක් වෙලාවට හවස් වෙද්දිත් ලොකු ලොකු වාහන එනවා…බෝනික්කෙක් වගේ හැඩ වැඩ වෙච්ච ලොක්කිව අරන් යන්න.
නිමි
උපුටා ගැනීම:   Ishu S Weerawarna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!