ඉස්සර අපේ තාත්තට චැලි වර්ගයේ මෝටර් සයිකලයක් තිබුණා…
ඕක මෝටර්සයිකලයක් කියල කට වචනෙට කිව්වට මොකද ඕක ඇත්තටම අභ්‍යවකාශ යානා වර්ගයට අයත් රථයක්
මොකද දන්නවද ඕක පුළුවන් තරම් අපේ පවුලේ සහ පරම්පරාවේ සියලුම දරුවන්ගෙ අත්හදා බැලීම් අතවරවලට ලක් වෙච්ච එකක්
එම සෑම අවස්ථාවකම අපගෙන් එකෙකු හෝ දෙන්නෙකු වන දරුවන් පටවාගෙන චැලිය ගමන් කළේම අහසින්
නිතරම චැලිය අප කා හෝ සමග පොළොවෙන් පටන්ගෙන අහසින් ගමන් කර අල්ලපු වත්තකට මන්දො කිරීම සුලභ දසුනක්
අපරාදෙ කියන්න ඕන්නෑ ඒ කාලේ වැඩිය තාප්ප තිබුනෙ නැහැ නමුත් ඒ ගහල තිබිච්ච කම්බි වැටවල් අපේ චැලිය එක තඹ සතේකට මායිම් කලේ නෑ ආයිබෝවන්ඩ
හුඟක් වෙලාවට චැලිය කළේ අර ගමන් කරපු එකාගේ හම ,කෙස් ,දත් වගේ දේවලුත් අර වැටවල් වල එල්ලලා පාඩුවේ ගෙදර ආපු එක
හුඟක් වෙලාවල් වලට චැලිය ගමන් කරපු එකා එක්කම, චැලිය අල්ලපු වතු වලට මන්දො කරනකොට ,ඒ වතු ,ගෙවල්, මිදුල් වල කවුරු හරි උන්නානම් ඔවුන් එක්කත් සැතපිලා තමයි ආපහු ආවේ
කොහොම උනත් චැලිය තාත්තාගේ කිව්වට තාත්තාගෙමත් නෙමේ ,දුප්පත් රජයේ සේවකයෙක් වෙච්ච තාත්තට, මෝටර් සයිකලයක් ගන්න තරම් වත්කමක් ඒ කාලෙ තිබුනෙ නැති නිසා ,තාත්තට ඔය චැලිය දුන්නේ අපේ අම්මගේ නංගී , ඉතින් පුංචි හිටියේ විදේශගත වෙලා නිසා ,ඇයට දේශීය විදේශීය ගොඩක් සම්බන්ධතා තිබුන නිසා මේ චැලිය ඇයට නාසා ආයතනයෙන් දීපු එකක් බවට ,මට අදටත් පොඩි විස්වාසයක් තියෙනවා
කොහොම වුනත් ඔය කියන කාලේ ගමක මෝටර් සයිකලයක් දකින්න ලැබුණේ කලාතුරකින්
ඒ අනුව මෝටර් සයිකලයක හිමිකාරීත්වය හිමිවීමත්, මෝටර් සයිකලයක් පැද ගෙන යෑමත් ,ඒ තියා මෝටර් සයිකලයක ඉඳ ගෙන යෑමත් හෙනම මෙව්ව එකක් වන ගරු කටයුතු කටයුත්තකි
අපි සියලු දෙනාම මෙම ගරුකටයුතු රථයේ ඉඳ ගෙන යෑමට අමතරව හැකි සෑම අවස්ථා කම එයට ඇඩෙන තරමට වද දෙමින් එය පුරුදු පුහුණු වීමටද කටයුතු කලෙමු
අපේ නංගිට නම් චැලියේ යාම සඳහා වංගු නැති පාරවල් අනිවාර්යයෙන්ම තිබිය යුතු වූ අතර එසේ නොමැති සෑම අවස්ථාවක ඇය වංගු කෙලින් කරමින් ඉදිරියෙන් ඇති වත්තකට ගමන් කර ,ඒ වත්තේ ගෙයක් ඇත්නම් ඒ ගෙයි ඉදිරිපස දොරෙන් ඇතුළු වී, චැලියේම පිටුපස දොරෙන් පිට වී, ඒ ආසන්නයේම වැසිකිළිය ඇත්නම් ඊටත් ඇතුළු වී ,එහි පිටුපස දොරක් නැති නිසා බිත්තියත් කඩා ගෙන ,මාර්ග බාධකයක් ලෙස කිසියම් රූස්ස ගසක් හමු වන තෙක් ඉදිරියටම ගමන් කරයි
අර රූස්ස ගස් රාජයා හෝ වෙනයම් ශක්තිමත් යමකින් අප දරාගන චැලිය නවත්වන තුරු නංගි නොවේ පසු බහින්නේ
තාත්තා උදයට බසයට නගින්නට මහපාරට වෙනකම් යන්නේ මේ මෝටර් සයිකලේයි
ඒ උදෑසන කතාව වෙනමම එකකි
අප දරු තිදෙනා පාසල් යන අතර තාත්තා ඔෆිස් යයි…අප පදිංචි වී සිටියේ අක්කර දෙකක පමණ විශාල වත්තකයි…කාලයෙන් කාලයට අපේ නිවසේ විවිධාකාර දරුවන්ට රැකවරණය අම්මා විසින් ලබා දුන්නා …ඒ අනුව බොහෝ විට අපේ ගෙදර අති විශාල සාමාජිකයන් සංඛ්‍යාවකුත් උන්නා
එකම වත්තේ නිවාස දෙකක් පිහිටා තිබුණු අතර අපට අයත් අනිත් නිවස අම්මා විසින් බෝඩිං කරුවන්ට ලබා දී තිබුණා…එහි බොහෝ විට සිටියේ විශ්ව විද්‍යාල සිසුන්
අපි පොඩි කාලේ අප පදිංචි වී සිටි නිවසේ කාමරයක් ද විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දී තිබුණා
අපට කිරි හරක් ද සිටියා
අම්මා පාන්දර 4 ට නැගිට හරක් ගෙන් කිරි දොවා….අර බෝඩින් කාරයන්ටත් අපටත් කන්නට හා ගෙනියන්නට උයාපිහා
තාත්තටත් ඔෆිස් එකට ගෙනියන්නට බත් මුලක්ද බැඳ දෙයි
නිවසින් මුලින්ම පිටත් වෙන්නේ මෝටර් සයිකලේ හෙවත් චැලියේ යන තාත්තයි
අපේ අතවර වලට ක්‍රමයෙන් ලක්වීමෙන් පසු චැලිය තල්ලු ස්ටාර්ට් වර්ගයට අයත් වූවක් බවට පත් වී තිබුණා
ඒ අනුව මුලින් අම්මා තනිවම තල්ලු කිරීමෙන් ඒ ස්ටාට් වූ අතර
ක්‍රම ක්‍රමයෙන්
අපේ මුළු පවුලම ද ,නිවසේ වාසය කළ බෝඩින් කාරයන්ද ,එහා ගෙදර රත්නෙ මාමගෙ පවුලමද ,මෙහා ගෙදර පියසේන මාමලාගේ පවුලම ද ,ඊට ටිකක් එපිටින් තනියෙන්ම නිවසේ වාසය කළ සිසිලින් කිරිඅම්මා ද ,උදේට ඒ අසලින් මී හරක් රංචුව දක්කාගෙන යන කළුවාද…ඊට අමතරව තමා ගේ වාසනාව අවාසනාවට අනුව ද ,කේන්ද්‍රයේ නරක කාලයක් ලබා සිටියවුන් ද ,මෙකී නොකී ඕනෑම මළ යකෙකුද ….සෑම උදෑසනක ම අපේ මෝටර් සයිකලය පණගන්වන්නට සහයෝගය ලබාදීම අනිවාර්ය වේ
කොහොමටත් බෝඩිංකාරයො නම් වැඩි කාලයක් අපේ ගෙදර හිටියේ නැහැ මේ මෝටර් සයිකල් මළඉලව් හින්දා ඔවුන් හැමෝම වගේ ඉතාම කෙටි කලකින් අපේ බෝඩිම හැර ගියා
අපේ ගෙදරට එන විට පුෂ්ටිමත් ව සිටි නමුත් මේ මල උලව්ව තල්ලු කිරීමෙන් ම පසුකාලීනව ඔවුන් බොහෝ දෙනෙක් කෘශ වී ගියා
අම්මා උදේට බත් මුල අතේ තියාගෙනම බයිසිකලය තල්ලු කරන්නට යෑමෙන් බොහෝවිට සිදුවන්නේ තාත්තා බයිසිකලේ ස්ටාට් වී යාමත් අනතුරුව අම්මා බත් මුලත් රැගෙන කළු වෙළඹ නම් ලද මේරියන් ජෝන්ස් මෙන් බයිසිකලේ පසුපස හඹා යාමයි
ඒ අනුව තාත්තා විවාහ වී සිටියේ මේරියන් ජෝන්ස් සමගයි
එක්කෝ මේරියන් ජෝන්ස් අපේ අම්මා ය නැත්නම් අපේ අම්මා මේරියන් ජෝන්ස් ය
කොහොම හරි අපේ අම්මා කෙටි දුර ධාවන ක්ෂේත්රයට ආවානම් මේරියන් ජෝන්ස්ලාට අනාගතයක් නැතුව යන බවට මට දැඩි විශ්වාසයක් ඇත
මන්දයත් තාත්තගේ මෝටර් සයිකලය පිටුපස බත් මුලක් ද අතැතිව දුවමින් අම්මා හැමදාමත් උදේට ප්‍රැක්ටිස් කළ බැවිනි
තාත්තා බයිසිකලය හන්දියේ දමා ඔෆිස් එක තෙක් ඇති දුර ගමන් කළේ බස් රථයෙනි.
රැකියා වලට හා පාසල් වලට ගමන් කරන අයගේ පාපැදි හා යතුරු පැදි රැකබලාගැනීමට ඇති කඩයක් හන්දියේ තිබුණු අතර අප විසින් ඊට දෛනික ගාස්තුවක් ගෙවිය යුතු වුණා
මුලින් මුලින් උදේට තාත්තා විසින් අර කඩයේ නවතා යන මෝටර් සයිකලය අපි බොහෝ විට පාසැල ඇරී එනවිට රැගෙන එන්නට පුරුදු වී සිටියා එයට අවසර ලැබෙන්නටත් එක්තරා ආකාරයක හේතුවක් තිබුණා එනම් අම්මට කොහේ හෝ දුර ගමනක් මේ මෝටර් සයිකලේ යන්නට ඇත්නම් එදාට මේ මෝටර් සයිකලය අර ගෙන එන්නට අම්මා විසින් අපට අවසර දෙනවා මේ අවසරය බොහෝ විට හම්බ වුණේ අපේ අයියාට පමණයි. මෝටර් සයිකලය නිතරම ලෙඩ දෙන නිසාත් මටත් නංගීටත් එය නුපුරුදු නිසාත් අප දෙදෙනාට මේ කටයුත්ත බාර දෙන්නට අම්මා දැක්වූයේ ඉතාම අකමැත්තක්
විශේෂයෙන් හංදියේ සිට අපේ ගෙදර දක්වා අති විශාල වංගු සංඛ්‍යාවක් තිබූ නිසා අපේ නංගි නම් මේ ඉල්ලීම වැඩිය කළේ නැහැ
නමුත් ඉස්කෝලේ ඇරිලා නංගිත් මාත් ගෙදර ආවේ එකට නිසාත් ,ඒ අනුව ඇය ගේ දැඩි ආශාව මත මා අම්මට කරුකුරු ගා, වදෙන් පොරෙන් මෙන් මෝටර් සයිකලේ ගෙදර ගෙන ඒමට අවසර ලබාගත් දිනක ,නංගි හන්දියේ සිට මාවත් දමාගෙන චැලියේ එන්නට ගොස් ,වංගු නොගෙන උඩින් ගමන් කර ,හන්දියේ සිටින අමන කොල්ලන්ගේ හූ හඩ මැද්දෙන් ඔවුන්ගේ දෙපතුල් ළඟටම උඩින් ගොස් දක් ගා ඇද වැටීමත්, මෙසේ උඩින් ගමන් කරන අතරතුර අප ගේ සුදු ගවුම් සුලන් පාරේ සැරට අහසට ඉගිල්ලී, අර අමන කොල්ලන් ඉස්සරහට අපව වැටෙනුයේ නිල් චිත්‍රපට නිලියන් මෙන් අමු හෙලුවැල්ලෙනි
කිහිප වතාවක් ම මෙය මෙසේ වූ අවස්ථාවල චැලියට යට වී සිටි නංගිව චැලිය ඔසවා උඩට ගන්නට පෙර මා හඬමින්ම නංගිට බැන වැදීමත් ,විලි ලැජ්ජාව නිසා ඇයට පහරදීමත් යස අගේට කළා
කොහොම උනත් නංගි මාත් එක්ක එන දවස් වලට ,අම්ම ගේන්න කිව්වත්….. මෝටර් සයිකලේ ගෙන ඒමෙන් නම් මං වැළකුණා
මේ කියන අද්විතීය දවසේ නංගී මට කලින් පාසල ඇරිලා ගිහින් තිබුන
එදා අපිට ඉස්කෝලේ පන්ති තිබුණා
නංගී හෙට මා එක්ක ඉස්කෝලෙ ඇරිල එන්නෙ නැහැ කියල මම දැනගෙන හිටපු හින්දා අම්මට නොවඳිනා වැඳුම් වැඳලා බයිසිකලේ ගෙදර එන්න මම ඉල්ලගත්තා
ඉතින් අපේ ගෙවල් ගාව මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්කා කෙනෙක් හිටියා එදා ඒ අක්කටත් හවස ඉස්කෝලේ පන්ති තිබුණා
හන්දියේ ඉඳලා අපේ ගෙවල් වලට සෑහෙන දුරක් යන්න ඕනා ඒ අක්කා ඒ දුර ගියේ පයින්
ඉතින් අද මම යන්නෙ මෝටර් සයිකලයේ නිසා ඉතාම සුවපහසුවට ඒ අක්කටත් ගෙදර යන්න පුලුවන් හින්දා මාත් එක්ක යන්න එන්න කියලා මම ඒ අක්කට ඉතාම කාරුණිකව ආරාධනා කළා
ඉක්මනින් පහසුවෙන් ගෙදර යන්න පුළුවන් හින්දා ඒ අක්කත් ඉතාම සන්තෝසෙන් හිටියේ
ඉතින් ඉස්කෝලේ ගාව ඉඳලා හංදිය දක්වා බස් එකේ ආපු අපි දෙන්නා අපේ තාත්තා බයිසිකලේ දාන අර කඩේට ගියා
ගිහිල්ලා ඉතින් ඔන්න චැලියත් එලියට අරගත්තා
ඉතිං ඔන්න මම දැන් සහෝදරවරුනි චැලිය ස්ටාර්ට් කරගන්න කික් කරනවා
…ඒකත් බොහොම සාඩම්බර ලීලාවෙන්
ඒ කාලෙ ඔටෝස්ටාර්ට් මෝටර් සයිකල් තිබුණේ නැහැ
අනික සාමාන්‍යයෙන් අපේ චැලිය නම් තල්ලු ස්ටාර්ට්…..
කොහොම උනත් ඉතින් දැන් මම දාඩිය මුගුරු නාගෙන ගහනවා ගහනවා මේක නෙමෙයි ස්ටාර්ට් වෙන්නේ
පස්සෙ අර අක්කත් මම කරන විදිහ බලාගෙන ඉඳලා එයත් පටන් ගත්තා බයිසිකලේ ස්ටාට් කරන්න
දැන් සැරෙන් සැරේ එයත් කික් කරනවා මාත් කික් කරනවා
බයිසිකලේ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්
ඔය බයිසිකලේ දාන කඩේ හිටිය බයිසිකල් බලාගන්න අවුරුදු 45 ක විතර අංකල් කෙනෙක්
අපි බයිසිකලේ ස්ටාට් කරගන්න කරන යමර යුද්දේ බලාගෙන ඉඳලා ඒ ඒ අංකල් ආවා එතනට
මේ අපේ බැංකුවේ මහත්තයා ගෙ ලොකු දුව නේද කියලා අහලා
” දෙන්නකො මම බයිසිකලේ බලන්නම් “කියල කිව්ව
එතකොට මේ මල ඉලව් බයිසිකලේ ස්ටාට් කරලා හෙම්බත් වෙලා හිටපු අර අක්කා මට කිව්ව නංගි එහෙනම් මම හෙමීට පයින් යන්නම් ඔයා මේක ස්ටාට් කරගෙන එන්න කියලා
“නැහැ නැහැ යන්න එපා ඉන්න අක්කේ ඉක්මනට ගිය හැකි මේක ඉක්මනට ස්ටාර්ට් වෙයි”
ඔහොම කියල මගේ තනිය ගැන හිතල මම ඒ අක්කාව තියා ගත්තා
කොහොම හරි අර අංකල් මෝටර් සයිකලය මගෙන් ඉල්ලගෙන කික් කරන්න පටන් ගත්තා
ඒත් බයිසිකලේ නෙමෙයි හෙල්ලුනේ
පස්සෙ මට මතක් වුණා අපි මේක තල්ලු ස්ටාර්ට් කරන විදිය ඒ අනුව අංකල් බයිසිකලේ ඉද්දි මාත් අක්කාත් බයිසිකලේ තල්ලු කරා
අපි මැරීගෙන තල්ලු කරාම ටිකක් වෙලා යද්දි බයිසිකලේ ස්ටාට් වුණා
ස්ටාර්ට් වෙච්ච බයිසිකලේ අංකල් වත් අරගෙන ඉස්සරහටම ඇදී ගියා
එතන ඉස්සරහින් තිබුනේ රවුන්ඩබවුට් එකක්
දැන් අංකල් වේගයෙන් යනවා මම හිතුවා වටින් ගිහිල්ලා හරවගෙන එයි කියලා
අංකල් එතන රවුන්ඩබවුට් එකෙන් කරකවාගෙන ඇවිල්ලා ආපහු අපි ඉන්න තැන පහු කරගෙන ගියා
යන්නම් කියාගෙන එතනින් අංකල් යනකොට මම හිතුවේ බයිසිකලේ ටිකක් රත් වෙන්න අංකල් ඒක පදිනව කියල
ඊළඟ පාරත් අංකල් බයිසිකලේ අපිව පහු කරගෙන යන ගමන් එන්නම් කියාගෙන ගියා
දැන් බඩගින්නයි බයිසිකලේ ස්ටාට් කරලා තියෙන මහන්සියටත් අර අක්කගෙ මූන නිකං බෙරි වෙලා
එයා පයින් යන්නම හදනවා …..මම ඒක වළක්වනවා
දැන් අර මගේ සුහද ආරාධනාව ඉවරයි
ඒ වෙනුවට මම එයාට කිව්වේ “ඔහේ හිටපිය දැන් ඉතින් මගෙ බයිසිකලේ මාත් එක්කම යමන්” වගේ ස්වරයකින්
මගේ කරුණාව වැඩිවෙලා, උතුරලා… පිටාර යන්නත් ලගයි… දැන් ඉතින් මගේ බයිසිකලේ නොගියහොත් එයා මගෙන් ගුටි කන ලයින් එහෙක හිටියේ
මේ වෙද්දි අක්කගෙ මූන නිකං ඊශ්‍රායල් මිසයිල වැදිච්ච ගාසා තීරය වගේ
ඔන්න අර අංකලුත් යන්නම් ගාගෙන එහාට යනවා එන්නම් ගාගෙන මෙහාට යනවා
රතු කට්ට පැනපු මමත් අනේ මාමේ ඔහොම ඉන්නකෝ කියාගෙන එහාටත් දුවනවා මෙහාටත් දුවනවා
අංකලුත් ඉන්න ඉන්න බබා කියාගෙන හැල්මේ යනවා
ඒ අව් අස්සේ පයින් යන්නම් කිය කියා අර අක්කා නාහෙන් අඬනවා
ආ… මේ ටිකත් කියන්නම ඕනේ තාත්තාගේ රජයේ රැකියාව නිසා දුෂ්කර සේවය කිය කිය ඉන්න තරම් හිටියෙම වන්නි වල උනාට අපි ඉතින් මීගමුවේ කෙල්ලො කියන ගැම්මෙන් තමයි හිටිය….ඇත්තම කතාව අපි මීගමුවේත් හෙනම ඇතුළට වෙන්න හිටියේ……..ඒත් ඉතිං අපිත් කොළඹ හරිය
මීගමුවේ ඉදන් කොළඹටත් කිලෝමීටර් අසූ අටක් ද කොහෙද තියෙනවා අයිබොං.
දැන් මම අර අංකල් ට මාමේ බයිසිකලේ හිටවන්න කියාගෙන වැඳ වැඳ දුවන අතර අර අක්කා මං පයින් යන්නම් කිය කියා මට වදිනවා
ඔන්න මම දැන් බයිසිකලේ ඉස්සරහට පනින පදම්
අර රවුන්ඩබවුට් එකේ හැරෙන් නැතුව කෙලින්ම ගියොත් එක තැනකදී ඒ සරල රේඛාව නතර වෙන්නේ කුණු ඇළකින්
මේක තරමක් පායපු කාලයක් හින්ද ඒ ඇළේ වතුර පිරිලා තිබුණේ නැහැ….එහි නිදිකුම්බා ගාල් දියසෙවළ පෙඳ-පාසි වගේ තමා තිබුනේ
ඔන්න මම දැන් එතන කෙළවරේ ඉඳගෙන කෑ ගහනවා
අංකල් නිකං නයිට් රයිඩර්ගෙ බාප්පාගේ බාල කොල්ලා වගේ හැටට හැටේ චැලියේ එනවා
මෙදා පාර පාර නම් අංකල් සරල රේඛාවක ගමන් කළා
බයිසිකලෙත් එක්ක උන්දා උඩින්ම ගිහිල්ලා මම අර කලින් කියපු කුණු ඇළට පත බෑවා
දැන් උන්දා ඇලේ චැලිය තාම ස්ටාට් එකේ
දැන් ඉතින් සියල්ල පැත්තකින් තබා අංකල් වත් චැලියත් ගොඩට ගන්න ඕන
මේ වෙද්දීත් හැත්තෑ හතට හෙන ගැහුවා වාගේ මුහුණ හදාගෙන ඉන්න අක්කට රවල මම එයාට එතනට අඬ ගැහුවා
මුලින්ම අර අංකල්ව අපි දෙන්නා ඇලට බැහැලා ගොඩට ගත්තා
උන්දෑ ගේ ශරීරයේ කිහිප පොලක ලෙලි ගිහිල්ලා
“බලන්නකෝ බබා බයිසිකලය නැවතුනේ නැහැ නේ “
උන්දා කෙඳිරි ගානවා
“ඉතින් මාමේ බයිසිකලේ ඔයා නවත්ත ගන්න එපැයි “
“අනේ බබා මම මෝටර්සයිකල් පදින්න දන්නේ නැහැ” කියලා මේ යකා කියපි නම්
මෙහෙම මාමලා මරණ එකත් ආනන්තරීය පාප ක්‍රියාවක් කියලා මම ඒ කාලේ හිතාගෙන උන්නේ නැත්නම් මං ඒ වෙලාවේ උන්දව මරනවා
ඒ වෙලාවේ අංකල් ලාවට වගේ සප්පායම් වෙලා හිටපු බවත් උන්දව උස්සගෙන ගොඩට එනකොට මට දැනුනා
චැලියේ දර්ශනය ඊළඟට ඉතාම මාරාන්තික විදියට මට දර්ශනය වුණා
හරි අමාරුවෙන් අර අක්කයි මායි ඒක ගොඩට ගන්න කොට චැලියේ සිග්නල් ලයිට් දෙක අපේ අත්තම්මගේ තන් ගෙඩි දෙක වගේ එල්ලෙනව… ඒ මදිවට මල් මාලයක් වගේ නිදිකුම්බා ගාලකින් ඉස්සරහ ඩෙකරේශන් වෙලා……
තව පෙඳ පාසි ,සැල්වීනියා, පන් ගස් ,ශොපින් උර අරව ද මේව ද හැම එකම බයිසිකලේ තිබුණා
නිකං සතොස වගේ
අර මේ කාලේ මඟුල් ජෝඩු රැග් එකට අරගෙන යන්න සරසන වාහන තියෙන්නේ අන්න ඒ වාගෙමයි
බයික් එකේ හෙඩ් ලයිට් එක මේ වෙනකොට ඇලේ
ලයිට් කියන ඒව නම් ඒවායේ නියම ස්වරූපයෙන් තිබුනෙම නෑ
මම අදටත් නම දන්නැති බයිසිකලේ පැත්තෙ කෑල්ලකුත් කැඩිලා තිබුනා ඒක ප්ලාස්ටික්
දැන් මගේ දුක ඉලාස්ටික්
අක්කගෙ මූණ ඇන්ටික්
අර මාමගේ මූණ දකිද්දි මගේ තරහ මහද්වීපයයි ඇන්ටාක්ටික්
කොහොම වුණත් මම බයිසිකලේ නැගලා තරහෙන් කික් කළා විතරයි ඔන්න බයිසිකලේ එක පාර ස්ටාට් වුණා
මරන්න වගේ කට හඬකින් මම අර අක්කාට නගින්න කිව්වා
එයා නැග්ගා අපි අර ඩෙකරේශන් පිටින්ම බයිසිකලේ ආවා….මේ වෙද්දි අපි තවදුරටත් ඇඳල හිටියෙ සුදු ගවුම් නෙමේ කලුගවුම්
ගෙදර ඇවිල්ලා මාස ගානක් යනකන් අම්මගෙන් කුනු බැනුම් ඇහුවා
ආයෙ නම් මම බයිසිකලේ දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ
ඒ වගේම අර අක්කත් මං දිහා ඇහැක් ඇරල බැලුවෙ නැහැ
කිසිම හේතුවක් නැතිව ඒ අක්කා මාව දැක්කොත් එයා ඉන්න තැනින් වාෂ්ප වෙන්න ගත්තා
කොටින් ම එයා අතුරුදහන් වෙනවා
ආ එතකොට අර නයිට් රයිඩර්ගෙ බාප්පාගේ පුතාගේ බාලම කොල්ලා , එහෙම නැත්නම් අර අංකල්, එයා කර කර හිටපු කඩේ රස්සාවෙනුත් අස්වෙලා යන්න ගිහින් තිබුණා
අපිටමයි වෙන්නෙ සාන්ත….
උපුටා ගැනීම: Ishu S Weerawarna