සිකුරාදා හවස කියන්නේ මට හිරිකිත දවසක්
ඒක උනේ මෙහෙම. ටික කාලෙකට කලිං සිකුරාදා හවසක මං බැංකුවෙන් රු. 5000 ක් ගත්තා. ඒ හවස පහට විතර. බැංකු කාඩ් එක ගහල 5000 ඇතුලත් කරාම කහපාට කොලයක් සුරුස් ගාල එලියට ආවා. ඒ බැංකුවෙන් ගන්න පුලුවන් අන්තිම ගාන. ඒ කියන්නේ ඉතිරි උන් තව එකසියගානක් විතරයි. රු. 5000 න් තවත් දවස් හයක් ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ තවත් දවස් හයකින් ආය ගිණුම තර වෙනවා.
කෝච්චියට තවත් පැයක් විතර තියනවා. ඒක හින්දා, මං තේ එකක් බොන්න හිතාගෙන කඩේකට ගියා.
‘‘මට ටී එකක් ‘‘ කියන්නත් කලිං කඩේ අයියා මගෙන් අහන්නෙත් නැතුව, දුං දාන කෙටිකෑම පිඟානක් තිබ්බා.
එකසිය අසූවයි !
මම වේටර් අයියට සල්ලි නොදී කැෂියර්ට පන්දාහ දික්කරා. එයා කොලේ දිහාත් මං දිහාත් කීප වරක් බැලුවා. බලල
‘‘මරු දෙසීයක් නැද්ද ? ‘‘
නෑනේ ඕකත් දැං බැංකුවෙන් ගත්තේ..
‘‘දෙසීයට 5000 ක් ? ‘‘
එයා එහෙම කියලා මං දිහාට දික් උනා..
‘‘මල්ලි මේක හොර සල්ලියක්, මට මේක ගන්න බෑ. ඒ හින්දා දෙසීයක් නැද්ද ?‘‘
මට හීන් දාඩිය දාන්න ගත්තා. මගේ අතේ තව තිබ්බේ රු 30යි. එකෙන් කඩේ ගාන ගෙවන්නත් බැ. මං
‘‘වෙන්න බෑ දැං මං ඕක බැංකුවෙන් ගත්තේ..‘‘
‘‘ඒ උනාට මේක හොර සල්ලියක්. මට පුළුවන් පොලීසියට එන්න කියන්න ඒත් මේක බැංකුවෙන් ගත්ත නං ඒකටම දෙනවා‘
‘‘අයියා මං ගාව වෙන සල්ලි නෑ. ඔච්චරමයි. ‘‘ මං බැගෑපත් උනා
එයා මං දීපු තිහ ලාචචුවට විසික් කරා… මගේ මූණ දිහාවත් නොබලා, එයාගේ වැඩ කරා. මට තිබ්බේ ලැජ්ජාව දුක කලකිරීම සහ අතේ සතයක් නැති බය.
මං බැංකුවට ගාවට ආයම ගියා. බැංකුව වහල. අඩු ගානේ ටිකට් එක ගන්න වත් සල්ලි නෑ. ‘ඔෆීස් එවුනොත් දැං ගිහින් ඇති.‘ මං එහෙම හිත හිතා හිඟන්නෙක් වගේ කැරකුනා. ඒත් එක්කම මට අලුත් කල්පනාවක් ආවා.
මම මේක ආයම බැංකුවට දානවා. දාලා හාර දහක් ගන්නවා. මං එහෙම හිතලා බැංකුවට සල්ලි දාන්න පුළුවන් ඒටීම් එකක් හොයාගෙන ගියා,
එහෙම නැතුව මට ගෙදර යන්න විදිහක් තිබ්බේ නැ. උනු හින්දාම කාපු නිසා, සාක්කුව හිස් කියලා මං දන්නවා. කොහොම හරි මං 5000 ආයම ටේලර් එකට දාලා ගිණුම් අංකය ගැහුවා..
‘‘මුදලාලි කීව හරි.. ‘‘
5000 ආයම එලියට ආවා. මට ආයම ඒක කඩේකට දෙන්න බය හිතුනා. එයාලා පොලීසියට කීවොත්, මං ඒක බැංකුවෙන් ගත්තා කියලා ඔප්පු කරන්න සඳුදා වෙනකං ඉන්න වෙනවා.
‘‘පරිප්පුවක් ෂිහ් ‘‘
මං මටම කියව ගත්තා. කොච්චිය…!
තවත් විනාඩි 20 ක් වත් නෑ කොච්චියට..
අද හොරෙන් යනවා.. ඒත්
මං එහෙම හිතලා වටපිට බැලුවා. කොච්චියට දුවන අයට හදීසියෙන් කෙසෙල් විකුනන අම්මව දැක්කේ එතකොට. ඕනෑම මිනිහෙක් අස්සේ නිදාගෙන ඉන්න තිරිසනා අවදිවෙන වෙලාවක් එනවා. මගේ තිරිසනා ඒ මොහොතේ දී අවදි උනා. මම කවදාවත් ගන්නේ නැති ලොකුම කෝලි කුට්ටු ඇවරියක් අතට ගත්තා
‘‘ඉක්මනට සල්ලි ගන්න කොච්චියට පරක්කු වෙනවා.‘‘
ඇය බිම දාලා තිබ්බ ගෝනි පඩංගුව යට තිබ්බ සල්ලි එකතු කරලා පනහේ විස්සේ එවත් දාලා මට ඉතිරි බේරුවා. මං නැති හදීසියක් අරං කොච්චියට දිව්වා.
අඳුරත් එක්ක ආව තිරිසන් ගඳ මාව වෙලා ගත්තා.
මං මාරු සල්ලි ටිකට් එකට දීලා කොච්චියේ අඳුරු මුල්ලකට බර දුන්නා.
පත්තර පිටුවක ඔතලා ෂොපින් කවරේක දාපු ලොකු කෙසෙල් ඇවරිය බඩු තියන රැක් එක උඩ තිබ්බා. ඊට පස්සේ නැති නිදි මතක් මවං ඇස් පියා ගත්තා.
පවු. ! ඒ අම්මා. හෙට එයා සල්ලි මාරු කරන්න ගිහින් මොනවා වෙයිද ?
ඒත් බැංකුවෙන් ආපු කොලයක් නේ. ඒ උනාට ඒක හොර සල්ලියක් කියලා බැංකුවම කීවනේ… ඒත් ඒ මොකවත් අරං අම්මා දන්නේ නෑනේ..
එයා කෝච්චියට දුවපු මහත්තයෙක් දුන්නා කියයිං.. සිහ් පොලීසිය මග ඉඳීද ?
මට නොයෙකුත් විකාර පේන්න ගත්තා. ඒත් එහෙම උනොත් මට කියන්න දෙයක් තියනවා. ඒ මං ගිනුමෙන් ගත්ත බව. ඒකට සාක්ෂිත් තියනවා.
මං සිතිවිල අතරේ ම ආවා. මට කරුමේ පල දුන්නා කියලා හිතුනේ, බහින ස්ටේෂන් එකෙන් ආයම කොච්චිය අද්දනවා දැකලා..
ශිහ් .. ආයම වීල් එකට 400 ක් වත් දෙන්න වෙනවා.
ඊළඟ නැවතුමට කලිං මං කොච්චියේ දොර ලඟට ආවා. ඒ කෙසෙල් ඇවරිය හිතා මතාම රැක් එකේම තියලා. මට ඒක ගෙදර ගෙනියන්න හිත දුන් නැ…
ගින්දර දීල ගත්ත කෙසෙල් ….
මට එහෙම හිතුනා…
‘‘මල්ලි මල්ලි… මේහ්.. ඔයාගේ පාර්සලේ අමතක වෙලා… ‘‘
අද්දන කොච්චියේ කවුලුවෙන්, පාර්සලය දික් කරපු මැදිවියේ ‘කරුමක්කාරයා ‘ මට එහෙම කීවා. වෙන දවසක නං ඒක කරුනාවන්ත කමක්..
එකම සිද්ධිය වෙනස් වෙන හැටි. මං වීල් එකකට නැගලා ඇවරිය එකේ පිටිපස්සට දාලා ගෙදර පාර කිව්වා.
ගේ ගාවටම වීල් එක ගත්තේ නැ. අක්කාගේ ප්ශ්න අසූවකට විතර උත්තර බඳීන්න වෙන හින්දා, වීල් එකට සල්ලි දීලා, ඇවරිය අමතක කරලා මං ගෙට ගොඩ වැදුනා.
‘‘මල්ලි මොකද අද පරක්කු, කොච්චිය නං යන සද්දේ ඇහුනා. මූනත් හරි නෑ අද ?‘‘
ඒකිටත් ඕන නැති රෙද්දක් නෑ. මං එහෙම කීවේ නෑ හිතුවා. එහෙම හිතලා ලිඳ ගාවට ගියා.
–
‘‘තමුසේට අද යකා ගහලද ? කවදාවත් නැතුව වීල් එකක ඇවිත් ඒ මදිවට අපූරු කෙසෙල් ඇවරිය, ඒකේ දාලා ඇවිල්ලා. ඒ මනුස්සයා හොඳ හින්දා හොඳයි.
ආයම දැකලා ඇවිත් දුන්න.
අක්කා කියව කියව කෙසෙල් ගෙඩියක් කඩලා දෝනිට දුන්නා.
‘‘විසි කරනවා මල ජරාව‘‘
මං කෑගහල කෙල්ලගේ අතේ තිබ්බ කෙසෙල් ගෙඩිය විසා කරා, ඒකි ඇඩුවා. අක්කා බය උනා.
—————
ඇත්තටම මට කරුමේ පල දුන්නා…
තාමත් මං අර අම්මාව මග අරිනවා. එත් මට මගේ හෘද සාක්ෂිය නං මග අරින්නම බෑ..
—————————–
කාලකන්නි සිකුරාදා හවස.
උපුටා ගැනීම: Chandana Ellewala