අපේ කොල්ලා දැන්,නියම වයසේ ඉන්නේ.
අපි ඉස්සරහට යනකොට වලාකුළු පස්සට යන්නේ ඇයි ?බබෙක් ඉපදෙනකොට ඇදුම් නැතුව ඉපදෙන්නේ ඇයි ?වගේ ඒවා අහන කාලේ පහු කරලා අපිට උතුර දකුණ මාරු වෙන,සමහර වෙලාවට හීන් දාඩිය දාන ප්රශ්ණ තමයි මෑන්ස් දැන් අපෙන් අහන්නේ.
ඒ නිසයි මට මේ කතාව මතක් වුනේ.
එතකොට මං ඉස්කෝලේ යනවා.වයස නම් මතක නෑ .කොහොම හරි කුතුහලය තිබුණු, හිතනකොට මේ මොන ඉටිගෙඩියක්ද කියලා හිතෙන වයසේ.
ඔන්න ඉතින් අදාල දවසේ රූප පෙට්ටියේ දිග ඇරුනා “දෙවනි ගමන”.
ආව්…ඩඩන් …..මටත් මදැයි ඕක.සබීතයි සනතුයි.මමයි අම්මයි.සෝඕඕඕඕ…..කියුට්
හරි කතාව පටා…….න් ගත්තා.මාත් ඉතින් කුල්මත් වෙලා බලාන ඉන්නවා.
දෙන්නගේ ඔමරිය……මුකුලුව…පෙරාපු රත්තරන් වගේ….
ඊට පස්සේ ඉතින් ගෙවල් වලින් කැමති වෙලා සබීතා මනමාලි වෙලා….එතකොට අපේ සනත් ගොයියා මනමාලයා වෙලා..ලස්සනේ බැරුවා.
එතකොට මං?
මං ඉතින් මුලින්ම කිව්වනේ මගෙත් කල වයස හොඳ නෑ කියලා.මං ඉතින් මේ මුකුළුව විඳිනවා මට මෙලෝ සිහියක් නෑ.
දැන් වගේ නම් මගුල් ජෝඩුවක් දැක්කම????
ආ…..ඔහොම සිරික්කිය දාගෙන,උඩ පැනගෙන යනවකෝ…ගියාම තේරෙයි……..හම්බවෙයි සබ්බුව….
හරී ලොකු දෙයක් කරගත්තා වගේ යන හැටි………..කියලා හිතනවනේ..
මේ කියන කාලේ ඔය මොකුත් දන්නවා ය.
හරි හරි ආයෙත් සබීතා…. සනත්…
දෙන්නා කාර් එකේ පිටිපස්සේ කිටිකිටියේ ලංවෙලා……ඔමරිය……
මං මෙහේ ඇඹරෙනවා ගෙදර සාලේ….
හරි පළවෙනි දවස ඉවරයි………….දැන් දෙවනි ගමන..
ඊලගට සබීතා රතු සාරියක් ඇදලා…ලස්සනේ බැ.ඒත්…..ටිකක් මූණ නම් ඇද වෙලා.එතකොට සනතා එයත් මූණ දික් කරගෙන.කමක් නෑ මට පේන හැටි වෙන්න ඇති.බලමුකෝ..තව ටිකක් ……බැලුවා.
හ්ම්ම්ම්…..ම්ම්ම්ම්ම්……
මොන…..වෙනසක් නෑ.අන්න දෙන්නා කාර් එකට නැගලා දෙපැත්තට වෙලා යනවා.මේ මොන හෝතම්බුවෝ දෙන්නෙක් ද මේ?මෙච්චර ලස්සනට ජීවිතේ පටන් ගත්තා විතරයි.
දෙන්නට දෙන්න රවා ගන්නවා ගජරාමෙට.මේකටද දැන් දෙන්න මුකුළු කර කර හිටියේ මුලදි.මූණු දෙක හරියට ගොන් පයින් ගහපු ලන්තෑරුම් දෙකක් වගේ.මට ඉතින් මුළු සත්තුවත්ත ම මතක් වෙනවා.
බලමුකෝ තව ටිකක් ඉවසලා.ආ….ඔන්න දැන් දෙන්න කාර් එකෙන් බහිනවා.ගෙට යන්නනේ හදන්නේ.තේකක් කාරිය බිව්වහම හරියයි.
ගමන් මහන්සියත් නැතෑ .මං හිතනවා.
අප්පද බොල.දැන් නේ වැඩේ.මෙච්චර වෙලා පරල වෙලා හිටියෙ ජෝඩුව විතරයි දැන් මුළු ගෙදරම එකතුවෙලා.සෝලි තියෙනවා විලාප තියනවා ඉවරයක් නෑ.
මගුල් ගෙයක් කියලා හිතාගෙන හිටියට මේක මළ ගෙයක් ද කොහෙද?මං පටලගෙන තියෙන්නේ.අර සනතා ඉන්නේ එම්බාම් කරපු මළමිනියක් වගේ.
මං ටිකක් රබර් ඇහැ දාලා බැලුවා මව් තුමී දිහාට.පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල නෑ වගේ කිසි කලබලයක් නෑ.මේක පුදුම සන්තෑසියක්නේ.
දෙනවක හාමිනේ කියවනවා අපේ පරම්පරාවේ දැලි ගෑවලු අර මනමාලි…මේ මොනවා කියවනවද?
දැලි නෙමෙයි ඕන්නං අර මනමාලිගේ ලිප්ස්ටික් ටිකක් නම් ගෑවෙන්න ඇති කියල මම හිතනවා.දැලි ගෑවෙන දෙයක් මෙතන වුනාද?
දෙනවක හාමිනේ මදිවට අර අගේට ඉන්න අයිරාංගනී සේරසිංහටත් යකා නැගලා.මේ මොන බනානා ෆ්ලවර් එකක්ද?අප්පා
මට තවත් බලන් ඉන්නම බැරි තැන…..
මොකද්ද අම්මේ මේ වෙන්නේ? ඇයි මේ රණ්ඩු වෙන්නේ.මට තේරෙන්නේ නෑ නේ කියලා තියෙන පුරස්නේ ඉදිරිපත් කලාම මං දාපු බවුන්සර් එකට හයේ පාරක් ගහපු මව්තුමී කිව්වා බලන්නකෝ මං ඉවරවුනාම කියන්නම් කියලා.
කමක් නෑ .ඇත්ත වසයෙන්ම මාගේ මිත්රවරුනි…මං අඩුම වසයෙන් මෙතන යම් විපතක් වෙනවා කියලා හරි දැන කියා ගත්තා නෙව.
පස්සේ අහගන්නවා සහසුද්දෙන් ….
ඒ අතරේ… මුලු පොළව කම්පා කරමින්,මගේ හදවත කඩා දමමින්, අර මගුල් ගෙදර ඇත්තෙක් කිසි හිතක් පපුවක් නැතුව අර යාර ගාණක් දිග මගුල් මේසේ පෙරලුවේ නැද්ද බිමට?
මං අහන්නේ මොනාද මේසේ තියෙන්නේ කියලා බලන්න දුන්නේ නෑ මේ උගුඩුවා….
අර මනමාලයා අනේ අර මනමාලිට කියනවා මං හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරයි කියලා.ඔයා මගේ බ්ලා….බ්ලා….බිලා…
මට නම් තේරෙන්නේ නෑ .මොකද්ද එයා කලේ කාර් එකේ මේකගේ ලගින් වාඩිවෙලා ආපු එකද?
කොහොම හරි මනමාලි ගෙදර ගිහින් දාලා නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ සනතා රගපානවා.ඒ අස්සේ …..මේකි අපට වැඩි නෑ කියලා මනමාලිගේ තාත්තා කියපි……….
ඔන්න ඔහොම පලහිලව් වෙලා වෙලා අන්තිමට ආයේ දෙන්නා යාලුවෙලා, බයිසිකලේක නැගලා ගම වටේ යනවා…. මොකද්ද දැන් මේ නටන නාඩගම…
එහෙම ගිහින්
…………නිමි……කියලා දානවා.
මේ මොන හත් ඉලව්වක්ද මේ.මොකද්ද නිම වුනේ?කියලා මම වටපිට බැලුවා මේ ගැටේ ලිහාගන්න.
කිරි අප්පට බල්ලො පැනපි කියලා අපේ මෑණියෝ මටත් කලින් ඇඳට පැනලා.
අනේ මට අද වගේ මතකයි.නිදි වගේ ඉන්නකොට මං ගිහින් ඇහුවා මොකද්ද අම්මේ මේ වුනේ කියලා.
අවුරුදු 18ක් විතර වුනාම කියලා දෙන්නම් ලමයෝ… දැන් ගිහින් නිදාගන්න කියලා අනිත් පැත්ත හැරුණා දෙයියනේ මට වෙච්ච් පොරොන්දුව කඩ කොරලා……….
දැන් ඉදහන්කෝ අවුරුදු 18 වෙනකල්….
උපුටා ගැනීම: Asha Dissanayake