අවුරුදු පහක ව්‍යාපෘතිය ඉවර වෙලා තායිලන්තයේම ටික කාලයක් හිටපු නිසා අපි දෙන්න ගියා බැංකොක්වල සතියක විතර නිවාඩුවකට. නිවාඩුවක් කිව්වට ඒක වචයේ පරිසමාප්ත අර්තයෙන්ම නිවාඩුවක්. උදේට කිව්වට දවල්ටත් ලංවෙලා නැගිටිනවා. හොටෙල් එකෙන් උදේටයි දවල්ටයි දෙකටම එකට කනවා,ආයෙ කාමරේට යනවා. එයා එයාගෙ සුපුරුදු විනෝදාංස වන ඔන්ලයින් චෙස් හරි අහස පොලව ගැටලන ගාණක් යූටියුබ් චැනලය ඔස්සේ හදන එක හරි තමයි කලේ. ආයෙම රෑ කෑම ලං වෙලා ලඟම තිබුණ තැනකින් මොනව හරි කනවා. මෙච්චර ෂොපිං පාරාදීසයක් මැද්දෙ හිටියත් හිතවතුනි මට ඒක රිසිසේ කර ගැනීමට අවස්ථාවක් උදා වුණේ නෑ. මොකද මේ ලෝකෙ හැම ගෑණිට වගේම මටත් සංසාරෙ මුණ ගස්වලා තිබුණ ස්වාමිපුරුෂයා රෙදි කඩේකට ගිහින් විනාඩි පහක් දහයක් ඇතුලත තමන්ට අවශ්‍ය දේ අරගෙන ඒ සුන්දර ඇඳුම් ආයිත්තම් දිහා බලන්නෙවත් නැතුව එලියට බහින්න පුළුවන් තරම් හිත්පිත් නැති එක්කෙනෙක්. ඉතිං ඇත්තටම ඒවයෙ ඇවිදලා මට ගන්න අවශ්‍ය දේ මේකයි කියලා නිෂ්චිතවම එයාට ප්‍රකාශ කරන්න පුළුවන් තරම් හැකියාවක් මට තිබුණේ නෑ. ඒ නිසා මාත් එක්ක ඇඳුම් ආයිත්තම් මිලට ගැනීමට යන එක එයා සාධාරණ හේතුමත ප්‍රතික්ෂේප කලා.
ඒ වෙනකොට මම පුරුදු වෙලා හිටිය අහල පහල තනියම ඇවිදලා ආයිම කාමරේට එන්න. උවමනාවක් තියෙනව නම් ඒකට හැකියාව හදා ගන්න එක අපේ වැඩක්. ඉතිං මහා ලොකුවට නැතත් ඔය පොඩි පොඩි සුකුරුත්තං බඩු තියෙන කඩවල් පේලි දෙක තුනක මුදලාලිලා අන්තිමට මාව ඈතින් දකිනකොට අඳුර ගන්න තරමට පොඩ්ඩක් මම තනියම ඒ පලාතෙ ෂොපිං ගියා. දවල්ටත් එක්ක උදේට කාල කාමරෙන් එලියට බැහැල ඇවිදින මට අන්තිමට ඒ කඩවල් වල ඉන්න මුදලාලිලාට වඩා ශුවර් එකට කියන්න පුළුවන් ඒ කඩවල තියෙන බඩු මොනවද කියලා. හැබැයි ඒවයෙ තිබුණ ඇඳුම් වල එක්කො මට ඕන සයිස් එක නෑ. සයිස් එක අහම්බෙන් හරි තිබ්බොත් ඒකෙන් මට ඕන පාට තිබුණේ නෑ. කඩේකට ගියාට ඒව ගන්නම ඕනෙ කියලා නීතියක් තියෙනවා ද..මළ විකාර. ඉතිං මම මට හරියන ඇඳුමක් හම්බ වෙනකල් උත්සාහය අතඇරියෙත් නෑ.
එදා ලස්සන ශනිදාවක්. හැමදාම තායි කෑමම කන්න අමාරු නිසා මමම ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වුණා ටිකක් ඈතින් තියෙන ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් රෑට කෑම අරන් එන්න. අපරාදෙ කියන්න ඕනෙ නෑ. ඉන්න තැන කිව්වාම ඒ මිනිස්සු කෑම එක ඉන්න තැනටම ගෙනල්ලා දෙනවා. ඒ වුණාට ඔය පොඩි කෑම මුලත් අරන් මොකට ඒ ළමයින්ව ඇවිද්දවනවද. මම කෝල් කරල කිව්වා මම ඒක ගන්න එනව, හදල තියන්න කියලා.
බැංකොක් වල තියෙන ස්කයි ට්‍රේන් එකේ තමයි දැන් මම මේ ගමන යන්නේ. ඒකෙ එක එක්කෙනා තම තමන්ගෙ වැඩ. සමහර අයෙක් පොතක් බලනවා,තවත් බහුතරයක් පෝන් එකට මූණ ඔබාගෙන ඉන්නවා,තවත් කෙනෙක් කාට හරි දුරකතන ඇමතුමක. මම ඉතිං වට පිට බල බල ඉන්නවා. වෙන මොනව කරන්නද? ඒකෙ ජනේලයකින් එලියක් කියල බලන්නත් නෑ. මොකද උමගක් වගේ එකක් ඇතුලෙ යන්නේ. ඉතිං මම සාධාරණයිනේ. මෙහෙම වටපිට බල බල ඉන්නකොට මගෙ අක්ෂි පතයට දෘශ්‍යමාන වන දර්ශනයෙන් මම වසීකෘත වෙනවා.
උස කෙට්ටු සුද්දෙක්. ලස්සන බෑග් එකක් එල්ලගෙන. පොර දුඹුරු පාට කොට කලිසමක් ඇදල. ඩෙක් ශූස් දෙකක් දාල. කැප් එකක් දාල. සන් ග්ලාස් එකකුත් දාල. සුදු පාට ටීෂර්ට් එකක් ඇදල. හිටගෙන. අර උඩ අල්ල ගන්න තිබුණ කොක්කක එල්ලිලා. මුළු කෝච්චි පෙට්ටියම ඒකාලෝක කරමින් ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ ගෑණු ලමේක් එයා ලඟ. එයාට තමයි අර සුද්ද මොන මොනවද මුමුණන්නේ. මම සජීවීව දැකපු ලස්සනම ගෑණු කෙනා. මම කොච්චර වශී වුණාද කිව්වොත් මම හිටපු තැන ඉදල එයා හිටපු තැනට ලං වුණා. ඇත්තටම සුද්දට නෙමෙයි වශී වුණේ. අර ගෑණු කෙනාගෙ ලස්සනට.රතුපාට කොටම කොට ගවුමක්. ඒකෙ කර වී ෂේප්. අඩි උස රතු පාට සපත්තු දෙකක් දාල. ඇග හරියටම කොකාකෝල බෝතලයක හැඩයමයි. කොණ්ඩෙ කඩා දාල. ලස්සන චාම් මේකප් එකක් දාල. දිග කරාබු දෙකක් දාල. ඇත්තටම බෝනික්කියක් වගේ ලස්සනයි. ගෑණු මම මේ ලස්සනට මෙච්චර ආකර්ෂණය වුණා නම් පිරිමි අය ගැන කුමන කතාද. අරූ වචන දසදහස් ගණන් හෙමින් කතා කරනවා. මේ ලස්සන සුරංගනාවි තනියම හිනා වෙනවා. මම ඒ දිහා බලන් ඉන්නවා,චිත්‍රපටියක් බලනව වගේ. අනික් අය මම දිහාවෙ බලන් හිටියද කියලත් දැන් මට සාධාරණ සැකයක් තියෙනවා. මොකද මේ මම බලන් හිටපු බැලිල්ලට.
ටික වෙලාවකින් සුද්දා හයියෙන් හිනා වෙලා තායි බාසාවෙන් මොනව හරි කිව්වා. හීනියට හිනා වෙවී හිටපු මේ ලස්සන සුරංගනාවි හරිම ගොරහැඩි පිරිමි කටහඩකින් ඒ නරිය කියපු දේට උත්තර දුන්නා. මාව කරකවලා දුම්රිය මැදිරිය ඇතුලෙ අත ඇරල දැම්ම වගේ .උතුරක් දකුණක් නැගෙනහිරක් බටහිරක් මට මතක නෑ.කොටින්ම මම ඉන්නෙ තායිලන්තයේ බැංකොක් නුවර ස්කයි ට්‍රේන් එක ඇතුලෙ රෑට කන්න කෑම ගේන්න යන ගමන් කියන එක සිහි කර ගන්න විනාඩි ගාණක් ගියා. දෙයියනේ මේ ඉන්නෙ ලේඩි බෝයි කෙනෙක්. මටම ලැජ්ජයි මම ගැන. ඊලඟට බහින දුම්රිය ස්ථානය මොකද්ද කියලා ඒ මැදිරිය තුල පරිගණක තිරයක පෙන්නනවා. කියන්න සතුටුයි හිතවතුනි ඒ වෙනකොට මම බහින තැන පහුවෙලා දුම්රිය නැවතුම් හතරක් ඉදිරියට ගිහින්. මොකද අපේ රටේ ප්‍රයිබස් වල වගේ හෝල්ට් එකක් ගාණෙ නවත්තපු තැන මෙතනයි කියලා කෑහල බහින අයට එන්න කියන කොන්දොස්තර මහතෙක් ඒකෙ හිටියෙ නෑ. කෝච්චිවල කොහොමත් නෑනෙ. ඉතිං මම ආසන්නතම දුම්රියපොලෙන් බැහැල ආයෙම දුම්රියක ආපහු ගිහින් අර කෑම මුලත් අරන් ආයෙම හිටපු වාසස්ථානෙට පිය මැන්නා. සිදු වුණ සිදුවීම්. ගමනෙන් ලැබුණු අත්දැකීම් කාටවත් කියල ටිංකිරි එක්ක මාමයිට් කන්නෙ මොකටද. අර ගෙනාපු කෑම එක දෙන්නත් එක්ක කාල පහුවදාත් තනියම රිසි සේ මට ගැලපෙන ඇඳුමක් ගන්න ෂොපිං ගියා.
ස්තූතියි
උපුටා ගැනීම: අපර්ණා සෙව්වන්දි