පොඩි වෙලාවකට ඔයාගෙ ඔළුව ඇතුළට යන්නකෝ, ගිහින් එයාගෙන් අහන්නකො ඔයා ගැන මොකද හිතන්නෙ කියලා..
ඔයා පුදුම වෙයි ඔයාගෙ ඔළුවෙ ඔයා ගැන තියෙන්නෙ මොනවගේ දේවල් ද කියල, ගොඩක් තැන්වල ඔයා කරපු වැරදි වලට සමාව දීගන්න බැරුව ඉන්න දේ තියෙයි, තව තැන්වල ඔයා නොකරපු දේ ගැන කණගාටුවෙන තැන් තියෙයි, තව ඔයා ඔයා එක්ක තියෙන තරහවල් තියෙයි, ඔයා ලැජ්ජා වෙච්ච තැන් ටිකකුත් ඒ අස්සෙ තියෙයි, ඒ වගේම ඔයා වෛරෙන් ඉදන් ගේම දෙන්න බලන් ඉන්න අය කීපදෙනෙකුත් ඉදී, හැබැයි ඔයා ඔයාට දෙන ආදරේ කොහෙද තියෙන්නෙ කියල හොයල බලන්න, සමහර වෙලාවට ඔයාට හොයාගන්නවත් බැරුවේවි..
අපේ ඔළුව ඇතුළෙ අනිත් අයට දෙන ආදරේ ඉදල හිටල තිබ්බට අපි අපි දෙන ආදරේ ඇත්තෙම නැති ගාණයි, ගොඩක් අයට තියෙන්නෙ අනුන්ට ආදරේකුයි තමන්ට වෛරෙකුයි, එතකොට ඔයාම හිතාගන්න ඔයා ළග තියන එකේ ඔයාට වටින දෙයක් තියෙනවා ද කියලා…
අපිට කණට ගහපු කෙනාට සමාව දුන්නට අපි කරපු පොඩි වැරැද්දකට අපිට සමාව දීගන්න බැරි මිනිස්සු ඉන්නවා, මොකද අපි හිතන්නෙ අපි හරිම ශක්තිමත් සුපිරි හැමදේම කරන්න පුළුවන් කෙනා අපිමයි කියලා,
පිස්සුද අනේ..
අනිත් මිනිස්සු වගේම තමයි අපේ අතිනුත් අපිට වැරදි වෙනවා, අපි අපිට ලැජ්ජ වෙන දේ කරගන්නවා, අපිටත් දේ මගහැරෙනවා ඒක සාමාන්යයි අනේ, ඔයා පිට අයට සමාව දෙනව වගේම ඔයාටත් සමාව දීල ඕව ඔළුවෙන් අයින් කරගන්න, ඔය ජාති හන්ද ඔයා ඔයාට ආදරයක් දෙන්න දෙයක් ඔයාගෙ ඇතුළෙ තියාගෙනම නෑනෙ…
“මම ඔයාට ආදරෙයි” කියල කියන එකට වඩා “මම මට ආදරෙයි” කියන එක කියන්න සෑහෙන්න අමාරු මේ ඔළුවෙ පිරුණු දේ නිසා තමයි, ඔයා වැඩිපුරම දන්න කෙනා ඔයා නිසයි ඔය ආදරේ දෙන්න අමාරු..
අහල තියෙනවා නේද සුරංගනාවියො සැහැල්ලු වෙලා පියාඹන්න පුළුවන් උණේ එයාළ එයාළව ගොඩක් සරලව සැහැල්ලුව ගන්න නිසා කියලා, එහෙම නම් ඔයාට ඔය ජීවිතෙත් පියාඹන්න අමාරු ඔයා ඔයාව හෙන බරපතලෙට අරන් නිසා වෙන්න ඇති…
සැහැල්ලු උණා නම් ඔළුවත් නිදහස් කරගෙන ඔයත් පියාඹයි,
පියෑඹුවෙ නැතත් ඔයා තව චුට්ටක් ඔයාට ආදරේ කරන්න ගනී… 





ඒ හොදටම ඇති… 

මූලාශ්‍රය: Sudesh Tharanga