ආදරය ගැන කථා කරද්දී මුලින් ම මතකයට එන්නේ යශෝධරා දේවිය.කල්ප ගණනාවක් තිස්සේ හැම දේම ඉවසමින් ආදරය කියන දේ පරිපූර්ණ ව සිදුහත් වෙතම පරිත්යාග කල යශෝධරා උත්තමාවිය ආදරය කරන්නේ කොහොමද කියලා ලෝකයට ම පෙන්වා දුන්නා.
ඒ තරම් ම නොවුනත් කෙනෙකුට කියන්න හිතෙන පුංචි ආදණීය සිදුවීමක් මගේ ලඟත් තියෙනවා .
ඔන්න දවසක් දා මම මගේ බිරිඳයි දුවයිවත් දාගෙන මගේ ත්රී වීලර් එකේ හොරණ ගියා බඩු වගයක් ගන්න.ආපහු එන්න පිටත් වෙලා හොරණ බස් ස්ටෑන්ඩ් එක පහු කලා විතරයි දකුණු පැත්තෙ ටයර් එකේ හුලං ගියා.හොඳ වෙලාවට එතනම රෙදි සාප්පුවක කාර් පාක් එක තිබුනා.දැන් ඒකට දාලා ස්පෙයාවීල් එක දා ගන්න මම ලෑස්ති වෙන්නේ.
ගිනි අව්ව.මේ කියන දවස්වල ගිනිරාමෙට පායන හින්දා කුඩ ගෙනාවෙත් නැහැ .වයස හැටහතරක් වුනාට මට ඕනෑම බර වැඩක් කරන්න පුලුවන්.ඒත් අව්වේ ඉන්න එක තමයි ඉවසන්නම බැරි.ත්රීවීලර් එකටයි,ටයර් එකටයි ,අව්වටයි කුණුහරුප ඇරෙන්න දන්න හැම විදිහට ම බැන බැන මං වැඩේ පටන් ගත්තා.
මගේ බිරිඳ දන්නවා අව්වයි මගෙයි තියෙන කෝන්තරය.ඔයා විතරක් නෙමෙයි මමත් අව්වට පිච්චෙනවා කියනවා වගේ එයත් මා ලඟට ඇවිල්ලා .මට වඩා අවුරුදු දෙකක් විතර වයස අඩු වුනාට එයා මට වඩා දුර්වලයි .අව්වේ ඉඳලා මොකක් හරි වුනොත් ත්රීවීලර් එකේ ටයර් එක ගියා වගේ නෙමෙයි .හෙවනෙන් ඉන්න කියලා එයාටත් බැන්නා.
කොහොමහරි ටයර් එක මාරු කලා කියමුකෝ.අව්ව සැරටම දැනුනේත් නැහැ .බලනකොට වෙලා තියෙන්නේ මෙහෙමයි.කුඩ ගෙනාවේ නැහැ කියලා මම මුලින්ම කිව්වානේ.එයා අව්වේ හිටගෙන එයාගේ සෙවණැල්ලෙන් මාව ආවරණය කරලා.
උපුටා ගැනීම: Sunil Gunasiri