ලෝහ අභරණ තැනීම පුරාණ කල සිටම මිනිසුන් අතර වූ ජනප්රිය සංස්‌කෘතිකාංගයකි. රන් නොමැති කල ඒ තැන ගන්නේ රිදී ය. රන් තරම්ම නොවුණත් රිදී ලෝහය ද ජනතාව අතර ජනප්රියතාව රැකගත් අප කවුරුත් හොඳින් දන්නා ලෙස අභරණ තනන්නට බහුලව යොදා ගන්නා ලද ලෝහයක් බව නොරහසක්. රන් පෙරදිග ජනප්රිය වෙද්දී මේ සඳහා රිදී බටහිර ප්රමුඛව යොදා ගන්නා ලද ලෝහයකි.
ඛනිජ විද්යාත්මකව රිදී (silver) යන සොබාවික ඛණිජයක් ලෙස හඳුන්වා දිය හැකිය. සුලභතාවය දුබල වුවත් රිදී පවතින්නේ මූලද්රව්යමය (elemental minaral) ඛනිජයක් ලෙසයි. වෙනත් කිසිම රසායනයක් සමග මිශ්ර නොවී සොබාවේ පැවතීම, එනිසාම සංයෝගයක් නොසාදන මෙවැනි ඛනිජ හඳුන්වන්නේ මූලද්රව්යමය ඛනිජ ලෙසයි. ඊට අමතරව සංයෝගමය (compund) ඛනිජ 39 ක් පමණ සොයාගෙන ඇති අතර මේවා බොහොමයක් පරිසරයේ හමුවීම දුලභ අතර -අකන්තයිට් (Acanthaite), ප්රවුස්‌ටයිට් (Proustite) සහ පයිරාගිරයිට් (Pyragiraite), වැනි ඛනිජ සොබාවේ තරමක සුලභතාවක් පෙන්වයි. සල්ෆයිඩ, කබෝනේට, හේලයිඩ, සිලිකේට සහ සල්ෆේට ලෙස මෙම සංයෝගමය රිදී ඛනිජය පරිසරයේ හමුවේ. රිදියෙහි පසෙහි පවතින ප්රමාණාත්මක සංයුතිය වන්නේ කොටස් මිලියනයකට 0.01 ක පමණය. එය එතරම්ම දුලභය.
සොබාවයේ රිදී පවතින තවත් ආකාරයක් වන්නේ වෙනත් ලෝහ සමග මිශ්රව සාදන මාත්තු ලෝහ (alloy) ලෙසයි. බොහෝවිට රන්, තඹ, ආසනික්, සල්ෆර්, ඇන්ටිමනි වැනි රසායනයන් සමග මිශ්රව පවතින රිදී ලෝහය රසදිය සමග මිශ්රව රසදිය මාත්තු ලෝහ සාදන අතර සිනබාර් (Cinnabar) නම් වූ රසදිය සල්ෆයිඩය සමග ද සොබාවයේ හමුවේ. අනෙකුත් ලෝහ නිධිවල ක්‌ෂුද්ර සංඝටකයක් ලෙස හමුවේ.
රිදී ඉතාමත් හොඳින් විද්යුතය සහ තාපය සන්නයනය කරන්නා වූ ලෝහයකි. එය ඝනත්වයෙන් අධික වඩා ඉහළ ද්රවාංකයක් (961.8 0C) හිමි ධවල පැහැගත් සුසුනිඳු ආන්තරීක ලෝහයක් වෙයි. දැඩියාව ඉතා අඩු බැවින් පිහියෙන් වුව ද කැපිය හැකි ලෝහයකි.
රිදී භාවිතයේ අතීතයේ සිට සුලභය. විශේෂයෙන්ම ආභරණ තැනීම සඳහා බහුලව භාවිතා කර ඇත. එයට අමතරව රිදී ලෝහයේ ප්රධාන භාවිතය වී ඇත්තේ මුදල් ලෙස සිදුකළ භාවිතයයි. වසර 3000 ට පමණ පෙර සිට රිදී මානව සංස්‌කෘතිය හා සම්බන්ධ බව ඉතිහාසය ගෙනහැර දක්‌වන අතර ක්රිස්‌තු පූර්ව 400 දී පමණ ග්රීසිය තම මුදල් ඒකකයක් ලෙස රිදී භාවිතා කර ඇත. හත්වන ශතවර්ෂයේ දී පමණ එංගලන්තය මුදල් ඒකකයක් ලෙස -රිදී සතය (Silver Penny) හඳුන්වා දී ඇත. ඔප දැමීමෙන් ඉතා අලංකාර දිලිසීමක් ලබා දෙන මේ අපුරු ලෝහය එනිසාම විවිධ පිළිරූ සහ ගෘහාලංකාර නිර්මාණකරණය සඳහා බහුලව භාවිතා කර ඇත. මෙසපොතේමියාව ඉරානයෙන් පමණක් නොව ඇනටෝලියාවෙන් සහ ආර්මේනියාවෙන් ද ආනයනය කළ රිදී ලෝහය තම ආර්ථික කටයුතු සඳහා භාවිත කළ බව ඉතිහාසය තතු පවසයි. අටවන ශතවර්ෂයේ දී පමණ චීනය සිල්ක් වෙනුවට රිදී හුවමාරු කළ බව ද සඳහන් වෙයි.
ලෝකයේ රිදී නිධි පවතින්නේ තවත් ලෝහ වන රන් සහ තඹ ලෝහ සමග මිශ්රවයි. එයට අමතරව ද්විතියික තැන්පතු ලෙස අවසාදිත හා මිශ්රව පවතින බව භූ විද්යාඥයින් පෙන්වා දී තිබේ. ජලතාපක (hydrothermal) ක්රියාකාරකම් නිසාවට ද රිදී නිධි නිර්මාණය වන බව හඳුනාගෙන ඇත. කෙසේවුවත් රිදී ගැරීම අනෙකුත් ලෝහ ගරන්නා මෙන් සිදුනොවන බව නම් පැහැදිලිය. වෙන වෙනම පතල් නොමැති වුවත් රන් සහ තඹ වැනි පතල් වලින් ලැබෙනා අතුරු ඵලයක් ලෙස රිදී උකහා ගන්නා බවයි පෙනී යන්නේ.
ලෝකයේ ප්රධානම රටවල් වන්නේ පහළොස්‌වන ශතවර්ෂයේ දී පමණම නිෂ්පාදනයේ යෙදුන පේරු රාජ්යය සහ මෙක්‌සිකෝව යි. රුසියාවත්, ඔස්‌ටේ්රලියාවත්, ඇලස්‌කාවත්, ස්‌විට්‌සර්ලන්තය සහ පෝලන්තයත් රිදී නිෂ්පාදනයේ පෙරමුණේ පසු වෙයි.
පුරාණ ලෝකයේ අරගලයන්ට මඟ පෑදූ රිදී
පුරාණ කාලයේ පටන් ම බොහෝමයක් සංස්කෘතීන් තුළ රිදී ලෝහය සඳහා පැවතුණේ ඉහළ ඉල්ලුමක්. රිදී ලෝහය සතු සුන්දරත්වය හේතුවෙන් ඈත අතීතයේ සිට ම ආභරණ, පිඟන් භාණ්ඩ, ප්රතිමා, චාරිත්රමය බඩුබාහිරාදිය, සහ වෙළඳාමේ දී බහුල වශයෙන් පරිහරණය කරන ලද ‘හැක්සිල්වර්’ නම් සුමට නොවූ රිදී කැබලි නිපදවීම සඳහා එය යොදාගත් බවට සාක්ෂ්ය පවතිනවා. ධනය රැස් කිරීමේ මාර්ගයක් ලෙස මෙන් ම කාසි නිෂ්පාදනයේ මූලික අමුද්රව්යයක් ලෙස ද භාවිතා වූ රිදී ලෝහය ලබාගැනීම සඳහා ග්රීසිය, ස්පාඤ්ඤය, ඉතාලිය, සහ ඇනටෝලියාව සතු ව රිදී ආකර බහුල ව පැවතී ඇති අතර ඇතැම් විටෙක රිදී ආකරයන් හි අයිතිය සම්බන්ධයෙන් රාජ්යයන් අතර යුද ගැටුම් පවා ඇති වූ බව යි වාර්තා වන්නේ. චීනය, කොරියාව, ජපානය, සහ දකුණු ඇමෙරිකාවේ ද රිදී ආකර පැවතී ඇති අතර ඔවුන් වැඩි වශයෙන් රිදී ලෝහය යොදාගෙන ඇත්තේ සොඳුරු භාණ්ඩ නිර්මාණ කිරීම සඳහා යි. පහසුවෙන් සපයා ගත හැකි සුන්දර බැබළීමක් සහිත ලෝහයක් වූ රිදී, සියවස් ගණනාවක් මුළුල්ලේ පුරාණ ලෝකයේ රාජ්යයන් එක් කිරීම මෙන් ම වෙන් කිරීම ද සිදු කළ බව පැවසීම වැරදි නැහැ.
‘දිදුලන’ යන අරුතින් නම් ලද රිදී
ලතින් බසින් ‘සුදු පැහැයෙන් දිදුලන’ යන අරුතින් ‘ආජන්ටම්’ ලෙස හඳුන්වන රිදී ලෝහය, පුරාණ වැසියන් අතර ඉහළ ජනප්රියත්වයක් අත් කරගෙන ඇත්තේ මනා ව ඔප දැමීම තුළින් එය ළඟා කරගන්නා සොඳුරු දිස්නය හේතුවෙන්. මෙම ලක්ෂණ අනුව එය ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ නිපදවීම සඳහා පුරාණ ලෝහ නිර්මාණකරුවන්ට කදිම අමුද්රව්යයක් වූ බවට සැකයක් නැහැ. රිදී ලෝහය බහුල වශයෙන් හමුවන්නේ ලෙඩ් කාබනේට් සහ ගැලීනා යන මිශ්ර ලෝහ ලෙස වන අතර ඒවායේ රිදී අන්තර්ගතය 1%කට පමණ සීමා වෙනවා. එසේ වුව ද එවැනි මිශ්ර ලෝහවල සුලබතාවය සහ නිස්සාරණය කිරීමේ පහසුව හේතුවෙන් ලෝකඩ යුගයේ මුල් කාලයේ සිට ම රිදී ආකර හෑරීම කෙරෙහි පුරාණ වැසියන් අවධානය යොමු කර ඇති අතර, නිස්සාරණය කරගන්නා රිදී ලෝහයට වැඩි ශක්තියක් ලබාදීම සඳහා එය තඹ ලෝහය සමග මුසු කිරීම සිදු වී තිබෙනවා.
රිදී ලෝහය සපයා ගැනීමේ දී ඇමෙරිකානුවන් අතර වඩාත් ජනප්රිය ක්රමවේදය වී ඇත්තේ පොළොවේ සිරස් අතට පතල් කැපීම යි. එතරම් ගැඹුරු නොවූ එම පතල් රිදී ලෝහය සහිත මිශ්ර ලෝහ බහුල වශයෙන් පැවති ප්රදේශ ආශ්රිත ව ව්යප්ත වී තිබෙනවා. ඉන්කා වැසියන්ගේ විශ්වාසය අනුව රිදී ලෝහය නිර්මාණය වී ඇත්තේ චන්ද්රයාගේ කඳුළු හේතුවෙන්. ඒ අනුව පුරාණ ඇමෙරිකානුවෙන් පාරිශුද්ධ භාණ්ඩ නිපදවීම සඳහා බහුල වශයෙන් රිදී යොදාගෙන ඇති අතර, ඇන්ඩීස් කඳුකරය ආශ්රිත වාසය කළ ලෝහ නිර්මාණකරුවන් රන්, තඹ, සහ ප්ලැටිනම් මුසු කරන ලද රිදී තම නිර්මාණ සඳහා යොදාගත් බවට සාක්ෂ්ය හමු වී තිබෙනවා.
රිදී ආනයනය කළ මෙසපොටේමියානුවෝ
ක්රි. පූ. 4 වැනි සහස්රයේ දී පමණ මෙසපොටේමියාවේ රිදී ලෝහය භාවිතා කර ඇති බවට සාක්ෂ්ය පවතින අතර මෙසපොටේමියාව ආශ්රිත ප්රදේශයේ රිදී ආකර නොමැති බැවින් ඔවුන් ඇනටෝලියාව, ආර්මේනියාව, සහ ඉරානයෙන් රිදී ආනයනය කරන්නට ඇති බව සැලකෙනවා. ඔවුන් ඒ සඳහා ගෙවීම් සිදු කර ඇත්තේ ධාන්ය මඟින්. එසේ ම පුරාණ ඊජිප්තු වැසියන් ද රනින් ගෙවීම් කර ආනයනය කරන ලද රිදී භාවිතා කර ඇති බව යි වාර්තා වන්නේ. මධ්යධරණී කලාපය තුළ රිදී වෙළඳාම සිදු කර ඇත්තේ ෆිනීෂියානුවන් විසින්.
ඇතන්ස් නුවර වැසියන්ට රිදී ආනයනය කිරීමට අවශ්ය නොවුණේ ත්රේස් හි පැන්ජියස් කන්ද ආශ්රිත පැවති රිදී ඉල්ලම් ඔවුන් සතු වීම හේතුවෙන් බව පැවසීම වැරදි නැහැ. රෝම අධිරාජ්යයට අයිබීරියානු රිදී ඉල්ලම් මඟින් සැලකිය යුතු රිදී සැපයුමක් හිමි වූ අතර එම රිදී ඉල්ලම් හෑරීම සඳහා වහලුන් 40,000ක් යොදවන ලද බව සඳහන් වෙනවා. පසුකාලීන ව රෝම අධිරාජ්යයේ වර්ධනය සමග රෝම ජාතිකයන් එංගලන්තය, ජර්මනිය, සහ බෝල්කන් අර්ධද්වීපය ආශ්රිත ව රිදී ඉල්ලම් හැරීමේ නියැලී තිබෙනවා. එසේ ලබාගන්නා ලද රිදී ලෝහය බහුල වශයෙන් ඉන්දියානු කුළුබඩු සමග හුවමාරු කරගෙන ඇති අතර පුරාණ ඉන්දියානුවන් රෝමයෙන් ලබාගන්නා ලද රිදී භාවිතා කර ඇත්තේ කාසි නිෂ්පාදනය සඳහා යි.
කාසි නිෂ්පාදනයට නැතුව ම බැරි වූ රිදී
රන් ලෝහය තරම් වටිනා ලෝහයක් ලෙස නොසැලකුව ද පුරාණ වැසියන් රන් ලෝහය භාවිතා කරන ලද කර්මාන්තයන් සඳහා රිදී ලෝහය ද භාවිතා කර තිබෙනවා. බොහෝමයක් පුරාණ සංස්කෘතීන් හි වංශවතුන් අතර රිදී ලෝහය යොදාගෙන නිම වන ලද ආභරණ, පිඟන් භාණ්ඩ, ප්රතිමා, සහ වෙනත් අලංකරණ භාණ්ඩ ජනප්රිය වූ අතර රිදී නූල් යොදාගනිමින් ගෙත්තම් කරන ලද ඇඳුම් ද ඔවුන් බහුල ව භාවිතා කර ඇති බවට සාක්ෂ්ය පවතිනවා. එයට අමතර ව ගෘහ භාණ්ඩ, ආයුධ, සහ යුද සන්නාහ නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ ද රිදී ලෝහය යි.
නමුත් මේ සියල්ල අභිබවා රිදී ලෝහය භාවිතා කර ඇත්තේ කාසි නිෂ්පාදනය සඳහා යි. මුල්වරට රිදී කාසි නිෂ්පාදනය ඇරඹී ඇත්තේ 6 වැනි සියවසේ දී ලිඩියාවෙන්. ඔවුන් කාසි නිපදවීම සඳහා යොදාගෙන ඇත්තේ ඉලෙක්ට්රම් (ස්වභාවික ව රන් සහ රිදී මුසු වීමෙන් නිර්මාණය වූ මිශ්ර ලෝහයක්) හෙවත් කනකරජත යි. පසුකාලීන ව ක්රි. පූ. 600 දී පමණ ග්රීසියේ ඊජීනා නුවර වැසියන් රිදී කාසි නිපදවීම අරඹා ඇති අතර නාවික වෙළඳාමේ ප්රමුඛයන් වූ ඔවුන්, ඊජීනා නුවර සමෘද්ධිමත් බව පෙන්නුම් කරන සලකුණක් ලෙස භාවිතා වූ කැස්බෑවාගේ හැඩරුවෙන් යුතු රිදී කාසි නිපදවා තිබෙනවා. ඒ අනුව යමින් ඇතන්ස් නුවර වැසියන් ද රිදී කාසි නිපදවීමට යොමු වී ඇති අතර, ග්රීක හමුදාව වෙනුවෙන් සටන් කළ කුලියට ගත් සොල්දාදුවන් සඳහා ගෙවීම් කර ඇත්තේ රිදී කාසි යොදාගෙන යි. කෙටි කලෙකින් ලොව වටා රිදී කාසි ප්රචලිත වන්නට ඇත්තේ ඔවුන් හරහා බව යි පුරාවිද්යාඥයින් විශ්වාස කරන්නේ….
………….අන්තර්ජාලය ඇසුරෙනි…………..
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න