“උඹ මහ හිඟන්නෙක්නේ” යාළුවෙක් හවසක පොඩ්ඩක් මත් වෙන්න කතා කලාම මම බෑ කිව්වට ඌ මට දීපු ප්රතිචාරේ තමයි ඒ. “හිඟන්නෙක් උනානම් මට අද උඹත් එක්ක සෙට් වෙන්න තිබුනා බං”, මම එහෙම කිව්වේ බොරුවට නෙවෙයි, ඇත්තටම. හිඟන්නෙකුට වඩා හොඳ ජීවිතයක් ගත කලාට හිඟන්නෙක් තරම් මම පොහොසතෙක් නෙවෙයි.
අපි පුංචිම කාලේ හිඟන්නෙක් කිව්වම හිතේ ඇඳුන රූපයක් තිබුනා. වැරහැලි ඇඳගත්ත, වැවුන හිසකෙස් අවුල් වෙච්ච, රැවුල වැවිච්ච, රුපියලේ දෙකේ කාසි දාන්න ටින් එකක් තියාගෙන බිම ඉඳගෙන පින් දිදී සල්ලි ඉල්ලන හිඟන්නෙක්. ඔව්, ඒත් හිඟන්නෙක් තමයි. ට්රැඩිෂනල් හිඟන්නෙක්. දැන් හිඟන්නෝ පරිනාමය වෙලා. විවිධ අනු කොටස් වලට බෙදිලා ගිහින්. ප්රභේධ ගණනාවක් ඉන්නවා. අපිට වඩා සෑහෙන්න ඩීසන් පිට ඉන්න හිඟන්නොත් බිහි වෙලා. උන්ට සල්ලි නොදී ඉන්න අපිට ලැජ්ජයි.
මුලින්ම මට මතක් වෙන්නේ කොළඹ ආපු මුල් කාලේ හම්බුන මනුස්සයෙක්. මම ලොකු බෑග් එකකුත් අරන් බස් එකක් එකකන් කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ වාඩි වෙලා ඉන්නවා. මට වඩා වැඩිමල් පෙනුමක් තියෙන තරුණයෙක් ළඟට ඇවිත්, “අයියා.. මම ගාල්ලේ ඉඳන් ඊයේ කොළඹ ආවේ. මගේ පර්ස් එක කවුරු හරි උස්සලා. දැන් ගෙදර යන්න විදියක් නෑ. තියෙනවනම් රුපියල් සීයක් දෙන්න පුළුවන්ද” කියලා ඇහුවා. අහිංසක පෙනුමක් තිබුන කොල්ලව දැකලා මට ඇත්තටම දුක හිතුනා. දෙපාරක් හිතන්නේ නැතුවම මම පර්ස් එකෙන් රුපියල් සීයක් අරන් එයාට දුන්නා. මිනිහා ස්තූතියක්වත් නැතුව ඒක අරන් කලබලෙන් එතනින් ගියා. ඕක හරි ප්රසිද්ධ හිඟා කෑමේ ක්රමයක් කියලා මම දැනගත්තේ ඔය වගේ චරිත දෙක තුනක්ම හම්බුනාට පස්සේ.
දවසක් කෝච්චියේ යනකොට තරුණ විය ඉක්මවමින් යන ජෝඩුවක් පොඩි දරුවෙකුත් අරගෙන ආවා මම හිටපු පෙට්ටියට. “මහත්තයෝ, දරුවාට බාරයක් උනා, ඒක ඔප්පු කරන්න ඕන හිඟා කාලා එකතු කරපු සල්ලි වලින් දෙන දානෙකින්” කියලා බොහොම සංවේදී කතාවක් දක්ෂ විදියට මේ මනුස්සයා ඉදිරිපත් කලා. පොඩි දරුවත් දිහා බලලා අනුකම්පා කරන මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපු සේසතින් කොටසක් මේ මනුස්සයින්ට පූජා කරනවා. මේ පවුල ඔය කතාව කිය කිය රට වටේ යනවා මට තැන් කීපෙකදී හම්බ වුනා. ඒත් ඒ මනුස්සයගේ බොරුවට අහුවෙන මිනිස්සු හැමදාමත් මේ බොරුකාරයින්ට සල්ලි දෙනවා.
මොරටුව බස් එකක නැගලා දෙහිවලට ගිය දවසක වැල්ලවත්තේදී නැංගා හරියට ඇවිදගන්නත් බැරි, අතපය පණ නැති මනුස්සයෙක්. බස් එකේ සද්දෙයි, ඒකේ දාල තිබ්බ ඝෝශාකාරී සංගීතයේ සද්දෙයි නිසා කියපු දේ හරියට ඇහුනේ නම් නෑ. විනාඩි පහක විතර දේශණයක් දීලා මිනිහා පැත්තට හැරිලා කකුල් ඇද කරගෙන අමුතුම ක්රමේකට සල්ලි එකතු කරන්න ආපු විදියට ඕන මනුස්සයෙකුට හිත උනු වෙනවා. සල්ලි එකතු කරගත්ත මේ මනුස්සයා දෙහිවලදී ඉස්සරහා දොරෙන් බැහැලා ගියා. මම පිටිපස්ද දොරෙන් බැහැලා ස්ටේෂන් එක පැත්තට ඇවිදන් ගියා. ඒ හරියේ තිබුන බුලත් විට කඩේකින් බුලත් විටක් අරගත්ත මනුස්සයෙක් ඒ මුදලාලිට “හරි හරි, ඉඳපන් මම ඉක්මනට එන්නම්” කියලා හුසේන් බෝල්ට් වගේ වේගෙන් දුවන් ගිහින් බස් එකක එල්ලුනා. ඒ අර අතපය පණ නැති මනුස්සයා.
ලන්ච් බ්රේක් එකේදී ඔෆිස් එකෙන් එලියට ඇවිත් ගහක් යටට ගිහින් කෝල් එකක් ගන්නකොට CT 100 බයික් එකක් තල්ලු කරගෙන ආපු මනුස්සයෙක් මගේ ළඟට ඇවිත් “මහත්තයා, පෙට්රල් නැතුව බයික් එක නතර උනා. මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න මම ඒකට රී ලෝඩ් එකක් හරි දන්නම්, මට දැනට රුපියල් සීයක් දෙන්න පුළුවන්ද තෙල් ටිකක් ගහගන්න” කියලා ඇහුවා. ෆෝන් එක, එක කණක ගහගෙන අනිත් කනෙන් මේ මනුස්සයා කියපු දේට ඇහුම්කන් දීපු මම මේ කරදරේ ඉක්මනට යවාගන්න ඕන නිසා රුපියල් සීයක් දීලා රීලෝඩ් ඕන නෑ කියලා ඒ මිනිහව පිටත් කලා. ඒකත් හිඟාකෑමේ එක්තරා ක්රමයක්.
ගෝල්ෆේස් එකේ හවසක නිරූ එක්ක වාඩි වෙලා ඉස්සෝ වඩේ එකක් කකා ලව් කර කර ඉන්නකොට පොරක් ඇවිත් “මහත්තයා, රෑට කෑම එකක් ගන්න කීයක් හරි දෙන්න” කිව්වම මිනිහට මොකුත් නොකියා රුපියල් පණහක් දුන්නේ රැවටිලා නෙවෙයි. ලව් කරන්න තියෙන අංශු මාත්රයක වෙලාවෙනුත් තවත් දශමයක්වත් හිඟන්නෝ එක්ක වාද කරන්න කැප කරන්න බැරි නිසා.
හිඟන්නා කියන්නේ අනිත් මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන කන මනුස්සයෙකුට මිසක් අගහිඟකම් තියෙන මනුස්සයෙක් නෙවෙයි. හිඟන මුදලාලිලා උදේට වාහනෙන් ගෙනත් දාන කුලී හිඟන්නෝ තමයි වැඩිපුරම ඉන්නේ. ඒ මිනිස්සු තමන්ගේ ඒරියා එක හදාගෙන තියෙනවා. වෙන හිඟන්නෙක්ට ඒ ඒරියා එකේ කරක් ගහන්න දෙන්නේ නෑ. මම කලින් කිව්වේ ඊට වඩා වෙනස් හිඟන සෙට් එකක් ගැන.ඔය කොයි හිඟන්නත් කරන්නේ මිනිස්සුන්ගේ හදවතේ සංවේදී තැන් ස්පර්ශ කරන එක. නැත්තං අපිට සල්ලි නොදී ඉන්න බැරි තැනකට අපිව හිර කරන එක. පොඩි කාලේ බස් එකට හිඟන්නෙක් නැංගොත් අම්මගෙන් රුපියල් පහක් ඉල්ලගෙන ඒ මනුස්සයට දීල නිරාමිස ප්රීතියක් ලබන්න පුළුවන් වුන අපිව අද ඒ අනුකම්පාව නැති තැනට පත් කලේ ඒ කපටිකම.
අල්ලපු ගෙදර මිනිහා බඩගින්නේ මැරුණත් ඌ අඩු කුලේ හින්දා උට හෙන ගැහිලා ගියත් අහක බලන් ඉන්න මිනිස්සුත්, තමන් බඩගින්නේ හිටියත් අඩු කුලේ එකෙක්ගෙන් වතුර උගුරක් බොන්නෑ කියලා උද්දච්චකම හිතේ පුරව ගත්ත මිනිස්සුත් බොහොම අපූරුවට මේ කපටි මිනිස්සු ඉස්සරහා සංවේදී වෙනවා. ඉතිං කකුල් දෙකම නැති, රෝද පුටුවෙන් ගිහින් ලොතරැයි විකුනන මනුස්සයගෙන් රුපියල් විස්සක් දීල ටිකට් එකක් ගන්නේ නැති අපි අතපය හතරම තියෙන හිඟන්නට අනුකම්පා කරලා රුපියල් විස්සක් දෙනවා. ලොතරැයි විකුණන මනුස්සයට රුපියල් විස්සේ ටිකට් එකෙන් තියෙන ලාබේ රුපියල් දෙකයි හෝ උපරිම පහයි මම දන්න විදියට. හිඟන්නට රුපියල් විස්සම ශුද්ධ ලාභ. අන්න ඒ ශුද්ධ ලාබේ තමයි හිඟනගහනය වැඩි කරන්නේ.
ළඟදී දවසක අම්මගේ බෙහෙත් ටික ගන්න ඔසුසලට ගියා. ටවුන් හෝල් එකේ ඔසුසල ඉස්සරහදී කොට කලිසමකුයි ටී ශර්ට් එකකුයි ඇඳගත්ත අවුරුදු හැටක විතර මනුස්සයෙක් ඇවිත් කඩ්ඩෙන් මොනාද දෙසාගෙන දෙසාගෙන ගියා. ලාවට දන්න ඉංග්රීසියට තේරුම් ගන්න පුළුවන් උනා මේ හිඟන්නෙක් කියලා. වැදගත් හිඟන්නෙක්. ලොකු ෆාමසියකින් බෙහෙත් ටික ගන්න පුළුවන්කම තියෙද්දීත් කීයක් හරි අඩුවෙන් ගන්න ඔසුසලට යන්නේ මාසේ පඩියෙන් ජීවිතේ බැලන්ස් කරගන්න ඕන නිසා. කඩ්ඩ දාගෙන ඇවිත් අපිට හීනමානය ඇති කරලා ගාණ කඩාගන්න හැදුවට එහෙම වෙන වයස පහු කරන් ඇවිත් අපිටත් නොදැනුවත්වම අපි දැන් පරිනත වෙලා.
පැත්තකට වෙන්න කියලා අතින් සංඥා කරලා මම ඔසුසල ඇතුලට යනකොට ඒ මනුස්සයා කඩ්ඩෙන්ම මහ හයියෙන් මට බැන බැන යන්න ගියා. ටවුන් එක මැද්දේ හිඟන්නෙක් එක්ක ගහගන්න බැරි නිසා මම සද්ද නැතුව ආපු වැඩේ කරගන්න ගියා. ඉස්සර හිඟන්නෝ අසරණයි. දැන් හිඟන්නෝ වෙනස්. තාම බනිනවා විතරයි. ගහන දවසටත් වැඩි ඈතක් නැතුව ඇති.
මනුස්සයෙක් ළඟ හිත උණු වෙන එක හොඳයි. ඒත් රැවටෙන්න එපා. ඔබේ උපකාරය ඕන මිනිස්සු ඕන තරම් මේ අහස යට ඉන්නවා. හරිම කෙනා නැතත් හරි කෙනෙක් බලලා දෙන්න. ඒක නිසා හිඟන්නන්ට දෙන්න කලින් ඔබේ අසල්වැසියා බඩගින්නෙද කියලා හොයලා බලන්න පුරුදු වෙන්න.
උපුටා ගැනීම: Sherlock Holms