කුමාරි කන්දම් නමින් අතීතයේ මහාද්වීපයක් පැවැති බවත් එය සාගරයේ ගිලී ගිය බවත් ඓතිහාසික සංස්කෘත හා දෙමළ පාඨ ග්රන්ථවල සඳහන් වේ. සියවසකට පමණ ඉහත කුමාරි කන්දම් නමින් උපකල්පිත මහද්වීපයක් දකුණු ඉන්දියාව හා අප්රිකාව යා කරමින් ඉන්දියානු සහ පැසිෆික් සාගරය අතර පැවැති බවට දෙමළ ජාතිකවාදීන් අතරද විශ්වාසයක් පවතී.
එය වත්මන් කන්යාකුමාරි දිස්ත්රික්කයේ දකුණු කෙළවර පිහිටි දෙමළ මහද්වීපයක් බවද, ඉන්දීය සාගරයේ ගීලී යෑමට පෙර පාණ්ඩ්ය රජවරුන්ගේ පාලනය යටතේ එය වසර 10,000 පමණ කාලයක් පැවැතියේ යැයි පුරාණ සාහිත්ය කෘති හා විවරණයන්හි සඳහන් යැයි ඔවුහු ප්රකාශ කරති.
දෙමළ සාහිත්යයේ ශ්රේෂ්ඨ වීරකාව්ය 5න් එකක් සේ සැලකෙන ක්රි.පූ. 2වැනි සියවසේ රචිත සිලප්පදිකාරම් කෘතියේ වත්මන් පහ්රුලි හා කුමාරි නදී පිහිටා ඇති භූමියේ වූ පාණ්ඩ්ය රාජ්යයක් මුහුදට බිලි වූ බැව් සඳහන්ය. ක්රි.පූ. 12 වැනි සියවසේ සිටි වීර කාව්ය විචාරකයකු වූ අඩියාර්ක්කුනාල්ලාර් සඳහන් කර ඇති අයුරින් ඉන්දියාවේ දකුණු දෙසින් විශාල භූමියක් පැවැතියේය. එම ප්රදේශය වර්තමාන කන්යා කුමාරි ප්රදේශය ලෙස විශ්වාස කෙරේ. එය උතුරින් පහ්රුලි නදියේ සිට දකුණින් කුමාරි නදිය තෙක් කවටම් 700ක් පුරා විහිදුණු භූමි ප්රදේශයක් සේ සැලකෙයි.
දෙමළ බසින් කවටම් නමින් හැඳින්වෙනුයේ කිලෝමීටර 10.06 පමණ දුරකි. ඒ අනුව මෙම භූමිය කිලෝමීටර 7,041 පමණ ප්රදේශයක් පුරා විහිද තිබූ බවට සැලකිය හැකිය. එය ප්රදේශ 49කට බෙදා තිබූ බැව් ඔහු සඳහන් කරයි. ඉන් 7ක් පොල් වගා කෙරුණු ප්රදේශ වේ. තවත් 7ක් මදුරෙයි ප්රදේශ වශයෙන්ද, 7ක් වැලි සහිත ප්රදේශ ලෙස ද, 7ක් කඳුකර ප්රදේශ ලෙස ද, 7ක් නැගෙනහිර වෙරළ ප්රදේශ ලෙසද,7ක් කුරු ගස් සහිත ප්රදේශ වශයෙන් ද ඒවා බෙදා තිබිණි.
මේ සියලු ප්රදේශ හා කුමාරිකොල්ලම් ප්රදේශයෙන් ආරම්භ වූ කඳුකර භූමි, වනාන්තර හා වාසභූමි සියල්ල සාගරයේ ගිලී ගිය බැව් ඔහු සඳහන් කරයි. වර්තමාන කොල්ලම් හා කන්යාකුමාරි දිස්ත්රික්ක මෙම භූමි ප්රදේශයන්ගෙන් ශේෂ වූ ප්රදේශ සේ සැලකේ.
නක්කිරානර් විසින් ක්රි.පූ. 7 වැනි සියවසේ රචිත දෙමළ සාහිත්ය කෘතියක කුමාරි කන්දම් මහද්වීපය පාලනය කළ පාණ්ඩ්ය රජවරුන්ගේ නාමාවලියක් ඇතුළත්ය. එමෙන්ම එවක පැවැති දෙමළ සංගම් (කවියන් හා විද්වතුන් විසින් දෙමළ භාෂාව හා සාහිත්ය පිළිබඳ පර්යේෂණ කළ හා සාකච්ඡා කෙරුණු රැස්වීම්) තුනක් පිළිබඳව ද තොරතුරු අනාවරණ කෙරේ.
කුමාරි කන්දම් රාජ්යය වසර 11,000ක් පමණ පැවැති බවට අනුමාන කෙරේ. පාණ්ඩ්ය නොහොත් පුරාණ දෙමළ රජ පෙළපත කවියට, සාහිත්යයට හා දැනුමට තිබූ කැමැත්ත හේතුවෙන් දෙමළ සංගම් තුනක් ස්ථාපනය කරන ලදැයි පැවසේ. මෙයින් සංගම් දෙකක් දකුණු ඉන්දියාවේ නොව එවක කුමාරි කන්දම් නමින් හැඳින් වූ මහාද්වීපයේ පැවැති බවට සාක්ෂි ඇත.
මණිමේකලා ග්රන්ථය අනුව පුරාණ නගරයක් වූ පූම්පුහාර් නගරය විටින් විට පැමිණි සුනාමි උවදුරු කිහිපයකින් මුහුදුබත් වූ බවට සඳහන් වී තිබේ. වත්මන් පූම්පුහාර් වෙරළ ප්රදේශයෙන් සොයා ගැනුණු පුරාවිද්යාත්මක සාධක අනුව මෙය සත්යයක් බවට තහවුරු වී තිබේ. විදු තූතු නම් දෙමළ කාව්ය සංග්රහයේ කුමාරි කන්දම්හි භූ ලක්ෂණ පිළිබඳව සඳහන් වේ.
මත්ස්ය පුරාණය අනුව ද්රවිඩ දේශය නොහොත් කුමාරිකන්දම්හි පාලකයා වූයේ මනු නම් රජෙක් බවත් පාණ්ඩ්ය රාජ්ය මුහුදට බිලි වූ ආකාරයත්, තම භූමිය විනාශ වීමෙන් පසු එම රජවරු වෙනත් රාජ්ය ආක්රමණය ආකාරයක් පිළිබඳව සඳහන්ය.
චීන සහ ග්රීක සාහිත්යයේද ලෙමුරියා නොහොත් කුමාරි කන්දම් පිළිබඳව තොරතුරු අනාවරණ කෙරේ. පුරාණ චීන වංශකතාවල පහ්රුලි නදිය, පෙරු නදිය සහ කුමාරි නදිය සහ මුදුන් 49ක් සහිත මෙරු කඳුවැටිය පිළිබඳව සඳහන්ය. එමෙන්ම පාණ්ඩ්ය රජවරුන් සතු ආකරවල සේවය සඳහා චීන කම්කරුවන් යොදා ගත් ආකාරය ද පිළිබඳ තොරතුරු ඉන් අනාවරණ වේ.
මෙගස්තිනස් නම් ග්රීක මානව විද්යාඥයා (ක්රි. පූ. 350-290) විසින් රචිත ඉන්දියානු චාරිකා සටහන්හි තැප්රොබේනය (ශ්රී ලංකාව) ඉන්දියාවෙන් වෙන් වී තිබුණේ නදියකින් බවට සඳහන් වේ. ඒ අනුව ලංකාව ඉන්දියාව සමඟ සම්බන්ධව පවතින්නට ඇති බවටත්, එය වෙන් වී තිබුණේ තමිරභාරණී නදියෙන් බවටත් අනුමාන කළ හැකිය. වත්මන් තමිරභාරණී නදිය තමිල්නාඩුවෙන් මුහුදට ගලා යයි.
එවක එය ශ්රී ලංකාව ඔස්සේ ගලා බසින්නට ඇති බවට අනුමාන කළ හැකිය. ගෝවේ පිහිටි සමුද්ර පුරා විද්යා ජාතික ආයතනය මගින් සිදු කෙරුණු පර්යේෂණවල දී පූම්පුගාර් නගරය සුනාමි ප්රහාරවලින් හා නොකඩවා සිදු වූ ඛාදන හේතුවෙන් ක්රි.පූ. 300 දී පමණ මුහුදට බිලි වූ බවට අනාවරණ වී තිබේ. මෙම නගරයෙන් 4 වැනි සියවසට අයත් මැටි භාණ්ඩ සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි විය.
භූ විද්යාත්මක සාධක අනුව එවක පැවැති භූමියෙන් විශාල ප්රමාණයක් මුහුදු පතුලේ සැඟව ගිය බවට සනාථ වී තිබේ. කුමාරි කන්දම්හි ඇතැම් කොටස් මීටර් 200ක් පමණ ගැඹුරු මුහුදේ ගිලී පවතින අතර ඇතැම් කොටස් මීටර 2000ක් පමණ ගැඹුරේ ඇති බවට අනුමාන කෙරේ. එතරම් ගැඹුරු නොවන ස්ථානවල ඇති සාධක අනුව ඒවායේ කුමන ජනවාර්ගිකයන් පිරිසක් වාසය කර ඇතිදැයි යන්න අනාවරණ කර ගැනීමට හැකි වෙතැයි පුරාවිද්යාඥයෝ පවසති.
ඔස්ට්රේලියානු, අප්රිකානු, අන්දමන්, නිකොබාර් හා ලක්ෂද්වීප ගෝත්රික ජනයා දෙමළ බසට සමාන බසක් භාවිත කරන ලදැයි පැවසේ. වර්තමානයේ මැඩගස්කරයේ සහ අප්රිකාවේ ඇති ඇතැම් වෘක්ෂලතා සහ සතුන් ඉන්දියාවේ ඇති වෘක්ෂලතා හා සතුනට සමානකමක් දක්වයි. මෙම සාධක අනුව ඉන්දියාව සහ මැඩගස්කරය සම්බන්ධ කෙරෙන භූමියක් පැවැති බවට අනුමාන කළ හැකි යැයි පුරාවිද්යාඥයෝ පවසති
උපුටා ගැනීම: රාම් වණා