ආච්චි සහ ෆෝන් හොරා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ ඉස්පිරිතාලේ කියන්නෙත් , දොස්තරලා, හෙද හෙදියෝ, උපස්ථායක උපස්ථායිකාවො, ලෙඩ්ඩු, විතරක් ඉන්න….. බෙහෙත් , සේලයින්, ඇඳන්, ට්රොලි, රෝද පුටු, ගිලන් රථ විතරක් තියෙන,… සායන, පරීක්ෂණ, බෙහෙත් විදින දේවල් විතරක් කෙරෙන…. , අමුතුම තැනක් කියලා.
නෑ. .. ඒක එහෙමම නෙවෙයි. අනිත් හැමතැනකම වගේම ඉස්පිරිතාලවලත් වෙනස් දේවල් සිද්ධ වෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්…
මේක සිද්ධ වුනේ දැනට මාස දෙක තුනකට උඩදී. ජංගම දුරකතන වල කොතරම් වාසි ප්රයෝජන තිබුනද, රෝගීන් පරීක්ෂා කරන අවස්ථාවලදී, රෝගීන්ගේ ජංගම දුරකතන නාදවීම හා රෝගීන් සියල්ලක්ම අමතක කර ජංගම දුරකතන ඇමතුම් වලට පිලිතුරු සැපයීමට යාම ප්රතිකාර කටයුතු වලට බාධාවක් මෙන්ම, ඇතැම් විට රතු කට්ට පන්නන කාරණයක්.
එක්තරා තරුණයෙක් වරක් ප්රතිකාර ලබා ගැනීමට රෝගීන් පරීක්ෂා කරන කාමරයට පැමිණියා. ඔහුගේ රෝග ලක්ෂණ අසා , ඔහුව පරීක්ෂා කිරීමට සූදානම් වෙද්දිම, ඔහුගේ ජංගම දුරකතනය නාද වෙන්න ගත්තා.
” පුතා ෆෝන් එක ඕෆ් කරලා තියාගන්න “
ඉතාම කාරුණිකව ඔහුගෙන් ඉල්ලීමක් කරා. එහෙත් ඔහු ඇමතුම පමණක් විසන්ධි කර ඇති බව, නැවතත් ඔහුගේ ජංගම දුරකතනය නාද වෙන්න ගත්තහම මට තේරුණා.
” මම එක සැරයක් ඔයාට කිව්වනේ.. ඔයාගේ පෝන් එකේ “රින්ග්ස්” යද්දී, මට ඔයාව බලන්නයි, බෙහෙත් ලියන්නයි බෑ…. මගේ අවදානය කැඩෙනවා. .. ඕක ඕෆ් කරගන්න බැරි නම් එක්කෝ එලියට ගිහින් කතා කරලා පස්සේ එන්න. නැත්නම් කාට හරි දීල ආපහු එන්න..”
කාර්ය බහුල වේලාවක් නිසා ඉවසන්නම බැරි තැන නැවතත් ඔහුට කිව්වා. එවිට ඔහු නැගිට එලියට ගොස් ස්වල්ප වේලාවකින් නැවත , ජංගම දුරකතනය නොමැතිව කාමරය ඇතුලට ආවා. එවර ඔහු පරීක්ෂා කර, ප්රතිකාරද නියම කොට විනාඩි කීපයකින් පිටතට ගියා.
සුලු වේලාවකින් පිටත යම් ගාලගෝට්ටියක් ඇසෙන්නට ගත් අතර, සේවකයකු ඇතුලට කැඳවා සිදු වී ඇත්තේ කුමක්දැයි විමසුවා. මුලින් ඇතුලට පැමිණි තරුණයා ඔහුගේ ජංගම දුරකතනය එලියේ බංකුවක තබා , ප්රතිකාර ලබා ගැනීමට ඇතුලට පැමිණි අවස්ථාවේ , දුරකතනය අතුරුදහන් වී ඇති බව දැනගන්නට ලැබුණා..
මගෙත් ඉහමොල රත් වුනා. ඔහුගේ ජංගම දුරකතනය නාද වෙන්න ගත්තහම විරුද්ධ වුනේ මමයි. ඔහු දුරකතනය එලියෙන් තබා ආවෙ මගේ ඉල්ලීම මතයි. ඒ නිසා මටද යම් වැරැද්දක් කලා වැනි හැඟීමක් දැනෙන්න ගත්තා. මම කාමරයෙන් එලියට ආවා…
” මොකක්ද වෙලා තියෙන්නෙ “…?
මම ඔහුගෙන් කෙලින්ම ඇහුවා.
” ඩොක්ටර් මම ෆෝන් එක මෙතැන බංකුව උඩ තියලා දෙවෙනි පාර ඇතුලට ගිහින් බෙහෙත් ටික ලියාගෙන ඇවිත් බලද්දී ෆෝන් එක එතැන නෑ…”
කාරණය පැහැදිලියි. කවුරු හෝ සියල්ලන්ගේම ඇස් වසා ඒ වටිනා ස්මාර්ට් ජංගම දුරකතනය සොරකම් කර ඇත. රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙක් මෙය නොකරන බව මම අත්දැකීමෙන් දනිමි. වැටී තිබූ මුදල් පසුම්බි, රෝගීන්ගේ ස්වර්ණාභරණ ආදිය පරිස්සම් කර ඔවුන් ඒවා ආපසු රෝගීන්ටම බාර දෙන අයුරු මම අනන්තවත් දැක ඇත්තෙමි. ඒ නිසා කාර්ය මණ්ඩලය ගැන සැකයක් නොවූ හෙයින්, මෙය වෙනත් රෝගියකුගේ හෝ රෝගීන් කැටුව ආ අයකුගේ ක්රියාවක් බව තේරුම් ගෙන,
” ටක් ගාලා සෙකුයුරිටි එකට එන්න කියන්න..”
කෙසේ හෝ මේ අවමානයෙන් රෝහල බේරා ගත යුතුයි. අර තරුණයාගේ දුරකථනය සොයා දිය යුතුයි. ඔහු දුරකතනය එලියෙන් තබා ආවෙ මගේ ඉල්ලීම මත වූ බැවින්, මගේ හිතම , මටම පීඩනයක් එල්ල කරමින් සිටී.. ඉක්මන් හා සාර්ථක තීරණයක් ගත යුතුව තිබේ…
සාමාන්යයෙන් රෝහලට රෝගීන් ඇතුළු වන්නේත්, පිට වන්නේත් ප්රධාන දොරටුවෙන්. එහෙත් තවත් දොරටුවක් විවෘතව තියෙනවා. ඒ හදිසි අවශ්යතා සඳහා.
” පොඩි ගේට්ටුව ඉක්මනට වහන්න..”
” එතනින් කාටවත් එලියට යන්න දෙන්න එපා..”
ආරක්ෂක අංශය දැනුවත් කරා. මෙන්න මේ මල්ලිගේ පෝන් එක දැන් මෙතනින් නැති වෙලා. එලියට යන ලෙඩ්ඩු හැමදෙනාම “මේන් ගේට්” එකෙන් විතරක් එලියට යවන්න. හැම ලෙඩාගෙම බෑග් ” චෙක් ” කරලා යවන්න. මෙයාව ළඟින් තියාගන්න. බෑග් වල ෆෝන් එකක් තිබුනොත් මෙයාට පෙන්නලා එයාගෙ එකද කියලා අහන්න. විනාඩි කීපයක් ඇතුලත ආරක්ෂක අංශයේ සහයෝගය ඇතුව සෑහෙන සාර්ථක වැඩ පිලිවෙලක් යොදා
නැවතත් ප්රතිකාර කටයුතු ආරම්භ කරා.
විනාඩි විස්සකින් විතර ආරක්ෂක අංශයේ දෙදෙනෙක්, රෝහල් කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුත් , අර තරුණයාත්, වයස අවුරුදු 75 ක , 80 ක තරම් වන ආච්චි අම්මා කෙනෙකුත් රැගෙන ජයග්රාහී ලීලාවෙන් මගේ කාමරයට ආවා.
” පෝන් එක හම්බ වුණා සර්… මෙන්න මේ අම්මාගේ බෑග් එකේ තිබුනේ..”.
” පුතා මේ පෝන් එක ඔයාගේ එකද..” ?
” ඔව් ඩොක්ටර් මේක තමයි මගෙ පෝන් එක.
මම ගිය සතියේ ගත්තේ. ” …
හඳුනා ගැනීමද සාර්ථකය. හොරාත් , බඩුත් දෙකම අසු වී සිටී. මෙහෙයුමට සහභාගි වූ සියල්ලෝමද ජයග්රාහී ලීලාවෙනි. ලොව මෙතෙක් සිදු වූ ලොකුම හොරකම අල්ලා ගත්තා සේය… ජංගම දුරකතනය සොයාගෙන රෝහලේ ගඖරවය ආරක්ෂා කර ගැනීමට හැකි වීම ඇත්තටම යම් ජයග්රහණයකි.
මම ඒ මහලු අම්මා දෙස බැලුවෙමි. ඉතාම දිළිඳු පෙනුමකින් යුතු, වැරහැලි ඇඳගත්, ඇය දින ගණනාවක් ස්නානයවත් කල බවක් නොපෙනේ. කුමන හේතුවක් අරභයා ඇය මේ සොරකම කලාදැයි නොදනිමි. මේ නවීන , වටිනා ජංගම දුරකතනයෙන් ඇය කිරීමට දන්නා අටමගලයකුත් නැත. දහසක් සිතුවිලි අතර අතරමං වුණ මා ,
” ඇයි අම්මේ මේ අනුන්ගේ දෙයක් ගත්තේ “..?
කියලා අහගන්න බැරුව සෑහෙන වේලාවක් ගත කර, අර තරුණයා ඇමතුවෙමි.
” ඔයාගෙ ෆෝන් එක හම්බ වුණානෙ. දැන් බෙහෙත් අරන් ගෙදර යන්න. “
කියා ඔහු පිටත් කළෙමි .
” මේ අම්මවත් යවන්න. “
සියල්ලෝම නික්ම ගිය පසු මේ සොරකම ගැන මම කල්පනා කලෙමි. සොරකම නම් සොරකමමය. එය දරුවකු, තරුණයකු , මහල්ලකු කවුරු කලද අදත්තාදානයේ ආනිසංස වලට යටත් වේ. එම සොරකමේ විපාකය මොහොතකින් සියලු දෙනා ඉදිරියේ ලජ්ජාවට පත් වීමෙන්ම ඇය අත් වින්දාය.
ආදරණීය පාඨකයිනි, රසික රසිකාවියනි. මට ඔබට කීමට ඇත්තේ එක දෙයයි. කාර්යාලයට යද්දී, වෙළඳ සැලට යද්දී, බස්රථයක දුම්රියක යද්දී, පාසලට, බැංකුවට රෝහලට යද්දී, පංසලට , පල්ලියට, කෝවිලට යද්දී , සෙරෙප්පු දෙකේ සිට මිළ මුදලේ සිට ස්වර්ණාභරණය දක්වා ඔබ මහන්සියෙන් හරි හම්බ කරගත් දේ ආරක්ෂා කර ගන්න. මන්ද…. මේ සමාජයේ බොහෝ තැන් වල, විශ්වාස කල නොහැකි ආකාරයේ හොරු ගැවසෙන බැවිනි. මේ ලියන මමද තුන් හතර වතාවක්ම ඉතා ප්රභල අතිපූජනීය ස්ථාන වන්දනාමාන කිරීමට ගොස් දමාගෙන ගිය පාවහන් දෙකද නොමැතිව ආපසු පැමිණ ඇති හෙයිනි.
(සේයාරුව අන්තර්ජාලයෙන්)
                    මූලික රෝහල
                    පොල්පිතිගම

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!