අපේ ආච්චි ගෙදරට විතරක් නොව ගමේම එළිය විය. මොකද ආච්චි තරම් සිල්වත් කෙනෙක් මේ ගමට නැති තරම් විය.
එහෙත් ආච්චිගෙ එක එක අවුල් නිසා අපට පමණක් නොව ගමට ද එක එක සිද්ධි මතක් විය.ඇය සෑම පෝයකටම සිල් ගන්න ගිය අතර ගමේ පංසලේ සිල් ගන්න වැඩි කැමත්තක් නොදැක්වූයේ එහි බණ කියන්න ගමේ පංසලේ හාමුදුරුවො පමණක් සිටින නිසා බව ඇය පැවසුවද ඇත්තම කතාව ඇය සිල් ගත්තේ රටට පේන්න බව දන්නේ ගමේ සියලුම දෙනාය.ඒ මොනා උනත් රා කල සොලොසක් බී පැමිණි නාලාගිරි මෙන් අරක්කු කාලක් බී ඇද වෙච්ච රිම් එක වගේ එන අපේ තාත්තා පවසන්නේ
” බුදු හාමුදුරුවො අපේ පංසලට වැඩල නෑ බං …..ඒකයි වෙන පංසල් වල සිල් ගන්නෙ මෙයා “
කියාය..ඒක ඇහුන අපේ ආච්චී ගස්සල පුටුවෙන් නැගිටින්නේ කුදු වෙච්ච කොන්ද කෙලින් කරගෙන කාමරය ඇතුලටම යන්න බලාගෙනය.එහෙත් ඇයට පුටුවෙන් නැගිටින්නට අත දෙන්නේද පවුලේ ඕනිම ගැටලුවක් සාමකාමීව විසදන අපේ අම්මාය.ආච්චි යන්නේ පස්ස ගස්ස ගෙන ද කියා විපරමෙන් බැලූ විට පෙනී යන්නේ ගැස්සි ගැස්සී යන බවක් ය.ඇගේ පිලමන්ට් එක පිච්චීමට වැඩි දවසක් නැති බවද මේ තුච්ච සිතට සිතුනේ එවිටය.
ආච්චී පෝය දවසට මදුරුවෙක් වත් නොමර සිටින්නේ ඇගේ ලේ බිව්වාම මදුරුවන් ද ඇගේ ලේ නෑයින් වෙන නිසා බව මදුරුවන්ව පෙන්වන කෙනාට ඇය කියන්නේ මහත් ආඩම්බරයකිනි..
පෝය දවසට එසේ පැවසුවද සාමාන්‍ය දවසට බණ පොත කියවන්න මිදුලේ බංකුවට යන ආච්චිව කන මදුරුවන්ට පහර දෙන්නේ…
” නොදකිං ලේ වල වටිනා කමක් නොදන්න කාලකන්නි සත්තු “
කියා බණ පොතෙන්ම පහරක් එල්ල කර මැරුණු මදුරුවාගේ මිණිය උගෙ ගෙදර උන්ටවත් සොයා ගැනීමට නොහැකිවෙන අයුරින් ඒ මේ අත අඹරන ගමන් ය.මදුරුවාට ගහන පහර නිවැරදිව වැදුන පසු ආච්චීට කට කොනින් සිනහවක් යන්නේ නිවන් මාර්ගයේ යන බස් එකක ශීට් එකක් ලැබුනා මෙන් ය. එහෙත් මදුරුවාට එම පහර නොවැදී ඌ බේරිලා ගියොත් ඇගේ කටින් ” චැක් ” යනුවෙන් කියවෙන්නේ මහජන සම්පතේ අංක ඔක්කොම ගැලපී ඉංග්‍රීසි අකුර නොගැලපුනා මෙන් දැඩි සිත් තැවුලක් ඇතිවය.
ආච්චී ඉස්සර සිටම ආගමට ලැදි වූ අතර කොතරම් ආගමට ලැදිද කියනවා නම් වරක් පොඩි හාමුදුරුවන්ට සිගරට් එකක්ද පූජා කලේ සුවද දුම් පූජා කරන ගාථාව කියන ගමන් ය.
ඒ කෙසේ වෙතත් ආච්චී දැන් අප අතර නැති උනත් ඇය හොද තැනක ඇති බව මා විශ්වාස කලද ගමේ උන් විශ්වාස නොකරන්නේ ඇගේ චරිත සහතික උන් ගාව ඇති නිසාය. ඒ කෙසේ වෙතත්
“අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි “
කියා මට සිතුනේ කුඩා කල විතරය. අපේ ගෙදර එක එක ශබ්ද ඇසෙන්නට ගත් දවසේ සිට මා තේරුම් ගත්තේ ඇය අපට ගොඩක් ඈත නැති අතර අප සමගම සිටින බවකි.ඇය ජීවත්ව සිටි කාලයේ කල දෑ තව බොහෝ ඇති අතර පසුව ඒ ගැන සදහන් කිරීමට තබමින් මා මෙයින් නවතිමි.බුදුසරණයි මට



(මෙය සත්‍ය කතාවක් නොවන අතර මා ගොතපු හද්ද බොරුවකි . එබැවින් ඔබගේ වටිනා අදහස් පල කරන මෙන් ඉල්ලා සිටිමි
)

උපුටා ගැනීම: Achintha Giwantha