ආදරණීය රොබින් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“රොබින්, ගියමාසෙ නේද හර්නියා වලට ඔපරේශන් එකක් කලේ. ගස් නගින්න හොඳ නෑනේ.”
“මම ගස් නැග්ගෙ නැත්නම් කවුද මහත්තයෝ අර පොඩි උන් තුන්දෙනාට කන්න දෙන්නෙ”
රොබින්ගෙ ඒ උත්තරේට මට කට උත්තර නැති උනා. තවත් දවසක් හවසක රොබින් වේලාසනින් වැඩ නතරකරලා ගෙදර යන්න හදිස්සිය. තාත්තා ඇහුවා ඇයි කියලා.
“ගෙදර ගිහින් දැන් උයන්න ඕන මහත්තයෝ”
– ” ඇයි චන්ද්රලතාට අසනීපයක් වත් ද “
“නෑ ඉතින් එයත් දවසෙම වත්තෙ වැඩ කරලනෙ එන්නෙ. එයාටත් මහන්සි ඇතිනෙ. මමත් පුලුවන් දවසට උයනවා.”
ඔය වගේම තවත් දවසක,
“බලන්නකො නෝනා, චන්ද්රලතා ඊයෙ ගමේ ගියානෙ. යන්න කලින් උයලා ගියපු වම්බටු ටිකක් තිබිලා මම දැන් මේ ඒකත් එක්ක කෑවෙ.නරක් වෙලා තමයි. ඒ උනාට චන්ද්රලතා උයපුවනෙ නෝනා.මම කෑවා”
රොබින් අපේ අම්ම එක්ක එහෙම කියනව අහන් ඉන්නකොට මට මතක් උනේ සුනිල් එදිරිසිංහ මහත්තයගෙ “කලේ පැන් ඇත නැවුම් රහ නැත ” කියන සින්දුව.
අමතක උනානෙ, රොබින් කියන්නෙ අපේ ගෙදර ලඟම තියෙන පොඩි තේ වත්තෙ නැවතිලා වැඩ කරන අවුරුදු තිස් පහක විතර දමිල කම්කරුවෙක්.ඒ පවුලෙ තාත්තා රොබින්. අම්මා චන්ද්රලතා. එයාලට ඉන්නව දූලම තුන්දෙනෙක්. රොබින් මේ දරුවො තුන්දෙනාට පුදුම ආදරයක් තියෙන්නෙ. කවදාවත් රොබින් දරුවොන්ට ගහනව මම දැකලා නෑ. බනිනව මට ඇහිලා නෑ.
රොබින් උදේට පොල් කඩනව, ගස් වල අතු කපන්න යනව. දවල්ට තේ වත්තෙ වැඩ කරනව. හවසටත් පොල්,පුවක් කඩනවා. දවසට රුපියල් දෙතුන්දාහකට වඩා හොයනවා. හැන්දෑවට ත්රීවීලර් එකක ටවුමට ගිහින් බෝතලයක් අරන් එනව. මිනිහගෙ දවස ගෙවෙන්නෙ ඔය විදියට. මිනිහා දමිල උනාට හවසට බිවුවම කියන්නෙ සිංහල සින්දු.
දවසක් මම ඇහුවා මහන්සියෙන් හම්බකරන සල්ලි ඔහොම බීලා නාස්ති කලාම හරිද කියලා. මිනිහගෙ එදා උත්තරේටත් මම ගොලු උනා
” උදේ වරුවෙ පොල් කඩලා ගස් වල නැගලා ගන්න සල්ලි ඔක්කොම මම දෙන්නෙ චන්ද්රලතාට. වත්තෙ වැඩ කරන සල්ලිත් මාසෙ අන්තිමට දෙන්නෙ චන්ද්රලතාට. හැන්දෑවට කුලියක් කරලා ගන්න සල්ලි වලින් තමයි මහත්තයෝ ඔය පොඩ්ඩක් බොන්නෙ. මම කවදාවත් දරුවොන්ට ගෑනිට අඩුවක් කරන්නෙ නෑනෙ මහත්තයෝ “
කිවුවත් වගේ මිනිහා කොච්චර බිවුවත් ගෙදර ගෑනිට සද්දෙ දාන්නෙ නෑ. ලමයින්ට කරදරයක් නෑ. හවසට ටවුන් එකට ගිහින් එනකොට බෝතලේට අමතරව ලමයින්ට චොකලට් ටිකක් කොත්තුවක් රොබින්ගෙ අතේ වරදින්නෙ නෑ. කවදාවත් ගෙදර කෑම බීම අඩුවක් කරන්නෙ නම් නෑ. ලමයි ඉස්කෝලෙ යවලා අමතර පන්තිත් යවනවා.
මට මතකයි දවසක් රොබින් ගිනි අවුවෙ තේ දලු කඩනවා. පුංචිම දුව අවුරුදු තුනක් විතර වයස. ඒ දරුවා රොබින්ගෙ කරේ නැගලා බෙල්ල දෙපැත්තෙන් කකුල් දෙක දාගෙන ඔලුව බදාගෙන ඉන්නව.
ගිය පෙබරවාරි දහතුන හවස රොබින් ආවෙ තෑග්ගකුත් අරගෙන.
“අරයට තෑග්ගත් ගත්තා මහත්තයෝ වැලන්ටයින් එකට. මම බලපු ඔරලෝසුව නම් දෙදාස් නමසීයයි. එච්චර සල්ලි නැති නිසා නමසීයක එකක් ගත්තා. මහත්තයා මොනවද ගත්තෙ”
මේ මිනිහා එදත් මට කට උත්තර නැති කලා.
හින්දි ෆිල්ම් වල වත් මේ වගේ මනුස්සයෙක් නම් මම දැකලා නෑ. ෆේස්බුක් එකේ “අම්මේ මට ඕන මේ වගේ කොල්ලෙක් ” කියලා ටික් ටොක් පැලොල් ඇට ලොන්ත වීඩියෝ ශෙයා කරන තේ උඩැච්චියො මොනව කිවුවත් රොබින් වගේ මිනිහෙක් ලබන්න නම් උන් පිං කරලා නෑ. මටත් ඉස්සර ඕන උනේ ලොකු මිනිහෙක් වෙන්න. ඒත් දැන් මට ඕනෙ රොබින් වගේ වෙන්න. රොබින්ගෙ ඉස්සරහා ශාරුක් ඛාන් ලා සිප්පි කෑලි.
උපුටා ගැනීම: සුපුන් උදාර

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!