ආදරයට බැහැ කන්දක් උස්සලා අරගෙන වෙන තැනකින් තියන්න. ඒත් ආදරය නිසා මිනිහෙක්ට පුලුවන් කන්දක හැඩය වෙනස් කරන්න. ධෂ්රාත් මංජි කියන්නේ ආදරය නිසා කන්දක හැඩය වෙනස් කරපු මිනිහෙක්.
1929 ජනවාරි 14 වැනිදා ඉපැදුණු ධෂ්රාත් මංජි ජීවත් වුණේ ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ ගයා කියන නගරය ළඟ තිබුණු ගෙහ්ලුර් කියන දුෂ්කර ගම්මානයේ. එයා දවස් පඩියට වැඩ කරපු කම්කරුවෙක්.
1959 අවුරුද්දෙදි එයාගේ බිරිඳව කන්දකින් බිමට ඇද වැටිලා බරපතළ විදිට තුවාල වුණා. ඇයව ඉක්මනින් රෝහලකට රැගෙන යන්න වුවමනා වුණා. ඒත් ඔවුන් ජීවත් වුණු පුංචි දුෂ්කර ගම්මානයයි ළඟම තිබුණු නගරයයි විශාල කන්දකින් වෙන් වෙලා තිබ්බේ. අවසනාවකට වගේ ධෂ්රාත් මංජි ට නිසි වෙලාවට එයාගේ බිරිදට වෛද්ය ප්රතිකාර කරන්න බැරිව ගියා. ඒ නිසා ධෂ්රාත්ගේ ඇස් ඉදිරිපිටම එයාගේ බිරිඳ මියගියා.
එදා රෑ ධෂ්රාත් නිදි නැතිව කල්පනා කළා. උදේ වෙන කොට ඔහු පැහැදිලි තීරණයකට ආවා. ඒ තමයි කොහොම හරි කඳුකරය හරහා පුංචි පාරක් හදනවයි කියන තීරණය. තමන්ගේ බිරිඳට වුණු දේ ගමේ අනෙක් අයට වෙන්න දෙන්නේ නැහැ කියලා ධෂ්රාත් මංජි එදා තීරණය කළා.
ධෂ්රාත් මිටියකුයි කපන කටුවකුයි අරගෙන වැඩේ පටන් ගත්තා. මුලදී ගමේ හැමෝම මේ මනුස්සයට හිනා වුණා. ඒත් එදායින් හරියටම අවුරුදු 22 කට පස්සේ විශාල කන්දක් දෙකට මැද්දෙන් වෙන් කරලා මීටර් 110 ක් දිග (අඩි 360 ක්), මීටර් 9.1 ක් පළල (අඩි 30) සහ මීටර් 7.7 ක් (අඩි 25) ගැඹුරු පාරක් කපලා ඉවර කරන්න ධෂ්රාත් මංජි ට පුලුවන් වුණා. මේ පාර නිසා අට්රි සිට ගයා නුවර වෂිර්ගානි කියන නගරය අතර තියෙන දුර ප්රමාණය කිලෝ මීටර් 55 ඉඳලා කිලෝ මීටර් 15 ක් දක්වා කිලෝ මීටර් 40 කින් අඩු වුණා.
පාර කපලා ඉවර වෙලා ධෂ්රාත් මංජි නවදිල්ලි අගනුවරට ගිහින් ඒ ගැන කිව්වා. ඒ කාලේ බිහාර් ප්රාන්තයේ මහ ඇමැති විදිහට හිටපු නිටිෂ් කුමාර් මේ ආදරණීය සැමියගේ වැඩේ මහ ඉහළින් අගය කළා. 2016 අවුරුද්දේ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තුව ධෂ්රාත් මංජි ගේ මුද්දරයක් පවා නිකුත් කළා. අදටත් ධෂ්රාත් මංජිව හඳුන්වන්නේ Mountain Man එහෙමත් නැත්නම් කඳුකර මිනිහා කියලා.
සාජහාන් කියන මෝගල් අධිරාජයා ඉන්දියාවේ අග්රා නුවර යමුනා ගං ඉවුරේ හදපු ටාජ් මහල, අදටත් සැළකෙන්නේ ප්රේමයේ ස්මාරකය කියලා. සාජහාන් ටාජ් මහල් හැදුවේ එයාගේ මුම්ටාස් දේවිය සිහිවෙන්න. ඒත් මුම්ටාස් ට කලින් සාජහාන්ගේ බිරිඳ වෙලා හිටියේ නූර ජහාන්. මුම්ටාස් දේවිය මැරුණට පස්සේ සාජහාන් ආයෙත් කසාදයක් කරගත්තා. එයා ජහනරා බෙගම්. මුම්ටාස් දේවියට කලිනුත්, සාජහාන්ට අන්තඃපුරයක් තිබ්බා. මුම්ටාස් දේවිය මැරුණට පස්සෙත් සාජහාන්ට අන්තඃපුරයක් තිබ්බා.
ටාජ්මහල හැදුවේ සාජහාන් කිව්වට ඇත්තටම, වුණේ එයා මිනිස්සු දම්මලා ඒක හදපු එක. ලස්සන මිසක් ඒකෙන් තව කෙනෙක්ට ලැබුණු ප්රයෝජනයක් නැහැ.
ඒත් දවසේ පඩියට වැඩ කරපු ධෂ්රාත් මංජි කම්කරුවෙක්. එයා අන්තඃපුරයක් තිබ්බ කෙනෙක් නෙමෙයි. ආදරය කරපු එකම ගෑණි මැරුණට පස්සේ එයා ඒ වෙනුවෙන් තමන්ගේ දහදිය මහන්සියෙන් ස්මාරකයක් හැදුවා. ඒ ස්මාරකය තමයි අද දහස් ගණනක් ගමන් බිමන් යන මේ පාර. ඉතින් ඇත්තටම ප්රේමයේ ස්මාරකය කියලා හඳුන්වන්න ඕනේ මොකක්ද?
ඔවු පරණ මිනිස්සු තමයි හොඳටම ආදරය කළේ. පරණ මිනිස්සු තමයි ආදරයට හරිම වටිනාකමක් දුන්නේ…
දැන්වත් විශ්වාස කරනවද…? ආදරය නිසා මිනිහෙක්ට පුලුවන් කන්දක හැඩය වෙනස් කරන්න.





– අනිල් කරුණාරත්න –