ආදරය සහ වයස (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ආදරය කරන්ඩ සහ ආදරය විඳින්ඩ නිශ්චිත වයස් සීමාවක් තියෙනවද? වෙන රටවල නම් එහෙම වයස් සීමාවක් නෑ. ඒත් ලංකාවේ නම් තියෙනවා. ලංකාවේ ඉන්නේ අමුතුම ජීවීන් කොට්ඨාශයක්නේ. ඒ නිසා තමයි එහෙම වෙන්නේ.
ලංකාවේ බහුතරයක් දෙනා හිතන්නේ ආදරය කරන්න ඕනේ තරුණ කාලේදි කියලා. තරුණ කාලේ ඉක්මවපු කෙනෙක් ආදරය කරනවා හෝ ආදරය විඳිනවා කිව්වාම ගොඩාක් අයට මැජික් එකක් වෙන්නේ ඒ නිසා තමයි.
මැදිවයසේ හරි වැඩිහිටි හරි කෙනෙක් ආදරය කරනවා කිව්වම වැඩියෙන්ම කලබල වෙන්නේ තරුණ අය. ඔය මූනු පොතේ වයසක කෙනෙක් ආදරය ගැන මොකක් හරි පෝස්ට් එකක් දැම්මාම ඒකට වැටෙන කමෙන්ට්වලින් ලංකාවේ තරුණ පරම්පරාව හිතන විදිහ ගැන දළ අදහසකට එන්ඩ පුලුවන්. සමහරු ඒ කමෙන්ට් ස්ක්රීන් ෂොට් ගහලා පට්ට කමෙන්ට විදිහට වෙනම පෝස්ට් කරනවා.
තමන්ගේ අම්මයි තාත්තයි වයසට ගියාම සෙක්ස් කරන එක වැරැද්දක් කියලා හිතන කුහක තරුණ පරම්පරාවක් ඉන්න රටක් මේක.
අම්මයි තාත්තයි වයසට ගියාම ගොඩාක් ළමයි කරන්නේ ඒ දෙන්නව වෙන් කරන එක. අම්මයි තාත්තයි දුක් මහන්සියෙන් නොකා නොබී ඉතුරු කරපු සල්ලි වියදම් කරලා හදපු ගේ බාල එකා ඩැහැ ගන්නවා. ගොඩාක් වෙලාවට ඊ.ටී.එෆ්. එකට යි ඊ.පී.එෆ්. එකටයිත් ළමයි ටිකම එකතු වෙලා වැඬේ දෙනවා. ඊට පස්සේ වෙන්නේ අර වයසක ජෝඩුවට පුත්තුන්ගේ ගෑණුන්ගෙයි දුවලගේ මිනිස්සුන්ගෙයි ආඩම්බර බලන්න.
ඉතින් කාලයක් යන කොට අර මිනිස්සු දෙන්නට ජීවිතය එපා වෙනවා. ඊට පස්සේ විසඳුම තමයි ළමයි ටික අම්මවයි තාත්තවයි බෙදාගෙන බලාගන්න එක. ලොකු පුතා හරි දුව හරි තාත්තාව එයාගේ ගෙදර ගෙනියනවා. බාල එකා හරි එකී හරි අම්මව බාර ගන්නවා. පෙන්ෂන් එකක් තියෙනවා නම් ඉල්ලුම වැඩියි.
අපිට අපේ සැමියා/බිරිඳ නැතිව සතියක් ඉන්න අමාරුයි. ඒත් අර වයසක දෙන්නටත් ඒ හැඟීමම තියෙනවා කියලා නිකන්වත් හිතන්නේ නැහැ. හිතක් පපුවක් නැති උන්ගේ වගේ ඒ දෙන්නව තැන් දෙකක තියෙනවා.
මෙහෙම ගෙනියන අම්මලව තාත්තලව ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ තමන්ගේ දරුවෝ බලාගන්න. දරුවොත් ලොකු මහත් කරලා දරුවන්ගේ දරුවොත් හදන්න ඕනේ. බොරු නම් ඉස්කෝලේ ඇරෙන වෙලාවට ඉස්කෝලේ ළඟට ගිහින් බලන්න. ළමයි එක්ක යන්න ඇවිත් ඉන්න අයගෙන් වැඩි හරියක් ආච්චිලා සීයලා.
සාමාන්යයෙන් ලෝකේ දියුණු රටවල මේ අරුම පුදුම සිරිත දකින්නට නැහැ. ඒ රටවල දරුවෝ තනියම තීරණ ගන්න වයසට එද්දි පවුලෙන් අයින් වෙනවා. ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. දරුවෝ ළමයි හදලා කවදාවත් ඒ දරුවෝ බලාගන්න වැඬේ ආච්චිට සීයට බාර කරන්නේ නැහැ.
දැන් ඉතින් ලංකාවේ පවුල් බැඳීම, සම්ප්රදායි සදාචාරය වගේ බයිලා කියන්ඩ එපා. මොකද ගොඩාක් දරුවෝ අම්මලව තාත්තලව තමන්ගේ ළඟට අරගන්නේ තමන්ටත් ඒකෙන් වාසියක් ලැබෙන නිසා. ජෝඩුවම රස්සාවට යන ගෙවල්වල නිල නොවන විදිහට වැඩකාරි වෙන්නේ අම්මා. ඕක තමයි තිත්ත ඇත්ත.
වයසක අම්මටයි තාත්තටයි ජීවිතේ අවසානය වෙනකම් එකට ඉන්න ඕනේ සහ ඒක ඒ දෙන්නගේ අයිතියක් කියලා හිතන්නේ නැති තරුණ පරම්පරාවක් ඉන්න රටක ඉතින් වැඩිහිටි ප්රේමයක් ගැන කතා කරන එකත් විහිලුවක් තමයි…
ඒ නිසා දැන්වත් කුහක වැඩ නවත්තන්න. ආදරය කියන්නේ එක්තරා වයස් කාණ්ඩයකට සහ පිරිසකට අයිති වරප්රසාදයක් කියන හිතන එකට තිත තියන්නඩ. ඔයාලා වගේම ඔයාලගේ අම්මයි තාත්තයි තවමත් ආදරෙන් ඉන්න කැමැතියි කියන සත්යය පිළිගන්න… වයසට ගියත් මිනිස්සු ආදරය හොයන එක ගැන සතුටු වෙන්න…

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!