එකේ පංතියෙ ඉදල පහට යනකං ඉස්කෝලෙදි බිස්කට් හම්බුනා.අටපට්ටම්ද හය පට්ටම් ද මතක නෑ.මතක ඒ රස විතරයි.එදා මෙදාතුර එහෙම රසට බිස්කටි කාල නෑ.
හෝඩියේ පන්තියේ දි හම්බුනේ ක්රීම්කැකර් එක වගේ හතරැස් “ඉස්කෝතූ” 4ක්.ඊට පස්සේ තමයි අර පට්ටම් ඉස්කෝතු හම්බුනෙ.
ලොකු පංතිවල ළමයි බිස්කට් උරේ දෙපැත්තෙන් අල්ලන් පංතිවලට එනවා.
තැඹිලි පාට කෝප්පෙන් එකක් එක්කෙනුකට.ඉදල හිටලා සමහර අයට වැඩිපුර ටිකක් හම්බවෙනවා.විශේෂත්වය මොකක්ද කියල නේ හිතන්නේ.?ඉන්ටවල් එක ඉවර වෙද්දිම ඉස්කෝතු බෙදපු අයියල එනවා ඒ වැඩිපුර කොටහ ගෙනියන්න.කප්පම් කාරයෝ වගේ.ගොඩක් ළමයි උදේට නොකා එන්නේ ඉස්කෝලෙන් විස්කෝතු කන්න හම්බවෙන නිසා. සමහර විට උදේටයි,දවල්ට යි දෙකටම ඇති ඒව කාපුවහම.
.
ලමයි බිස්කට් ගන්න පොත් තියන බෑග් එකම අල්ලනවා.ඉදල හිටලා බෑග් කනපිට හරවද්දි හුලං වැදුන බිස්කට් එකක් ඉතුරුවෙලා රෝල් වෙලා යනවා.අම්මටසිරි ඒ වගේ නිධානයක්.!!!කෙලින්ම කටේ.අර “කරස් කරස්” ගතිය නෑ.හුළං වැදිලා පිම්බිලා. අර මොකාටදෝ මොන සව්ක්කියද කිව්වාලු.
සමහරු ගාව තියනවා හිස් කිරිපිටි උර.ඒවල සිල්ව පාට හරිය තැන තැන පොතු ගිහිල්ලා. පැන්සලයි ,බ්ලෙඩ් තලෙයි,සුවඳ මක්කෙයි විතරක් නෙමේ රතුපාට ස්ටාර් ටොපිකොළ,කුරුටු පිහාටු,රතු පාට මදටිය ඇට ඕවත් තියනවා.
ඒකටම තමයි බිස්කටි ටිකත් දාන්නේ. සමහර වෙලාවට බිස්කට් එක්ක පැන්සල් උල් කරපු රොඩු කෑලිත් එනවා.බිස්කට් එකට මිනිරන් සුවඳයි,කිරිපිටි සුවඳයි උරා ගෙන. සමහරු බිස්කටි වලට ජීල් බෝල හුවමාරු කරගන්නවා. බිස්කට් ණයට දෙන උනුත් නැත්තෙ නෑ.කොල්ලෝ බිස්කට් එකේ පැත්තක කෙළ ගාල තව එකක් අලවනවා.එක උඩ එක පෝලිමට. සමහරු බිස්කටි එක දත් ඇදි අතර තියලා පලු කරනවා.එතකොට ගොඩක් වෙලා පලුව පලුව කෑවැහැකි.විවේකකාලෙන් පස්සේ තමයි බෑග් පරිස්සම් කරන්නේ ඒ ඒවා අස්සෙ ගෙදර ගෙනියන්න ඉතුරු කරන් ඉන්න බිස්කට් ලොකු පංතිවල ළමයි හොරකම් කරන නිසා.
සමරවික්රමගේ ඔළුව දෙපැත්තෙන් මුඩුපොල් තෙල් බේරෙනවා.සුදු ද කහ ද මන්ද ෂර්ට් එක.පුහුලං කහට අඩුවක් නෑ.විවේකෙන් පස්සෙ හොටු පෙරන් අඩනවා.කවුද බිස්කට් හොරකම් කරලා.පුහුල් හොරුයෑ අල්ලන්න.ගෙදර මල්ලිටයි නංගිලාට යි තියන් හිටපු විස්කෝතු.එදා එක්කෙනෙක් එයාගෙ මල්ලිට තියන් හිටපු බිස්කට් ටික සමරවික්රම ට දීලා පහුවෙනිදා උදේ රැස්වීමෙදි වීරයෙක් උනා. බුදු මැදුර ඉස්සරහ දෙවැනි පඩියට නග්ගල අත්පොඩි චියර් එකකුත් හම්බුනා.හැබැයි එහෙම කලාට ඒකට ආස වෙලා මොනා පරිත්යාග කලත් ඉස්කෝතු දන් දෙන්න කට්ටිය ඉස්සර වෙන්නෙ නෑ.
.
‘ඇදිහැස ‘ කියන්නේ ‘ඇමරිකන් දීමනා හැමට සමසේ ‘කියන එකලු.ඒක දන්නෙ නම් මෑතකදි. මේ කියන බිස්කට් කාපු අතීතයක් හිමි අය ඇති මේක කියවන අය අතර.
“කොහොමද රස…..???
‘විශිෂ්ටයි සෑර් “…
කටපුරා එහෙම කියන්න පුළුවන් රහක් නේ ඒක.
.

උපුටා ගැනීම: Nilusha Anne