සමාජයේ බොහෝ දෙනෙක් ප්රසිද්ධියේ කතා කරන්න පැකිළෙන, ඒ හැටි කැමැත්තක් හෝ උනන්දුවක් නොදක්වන ක්ෂේත්රයක තියෙන එක්තරා ගැටළුවක් ගැන. ඒ තමයි කාන්තාවන්ට ඇති වන අධික ඔසප් වේදනාව සහ එන්ඩොමෙට්රියෝසිස් රෝගය.
ඔබ බොහෝ වෙලාවට එන්ඩොමෙට්රියෝසිස් කියලා රෝගයක් ගැන අහලා නැතුව ඇති. වෙන එකක් තියා අපි දන්න විදිහට මේ රෝගය සඳහා සිංහල නමක් පවා නැහැ. ඒත් මේ රෝගය ඈත අතීතයේ ඉඳලම ලෝකය පුරාම ව්යාප්තව තිබිලා තියෙනවා. එන්ඩොමෙට්රියෝසිස් කියන්නේ මොකද්ද කියලා කතා කරන්න කලින්, අපි පොඩ්ඩක් මතක් කරගනිමු ස්ත්රී ඔසප් චක්රය සිදු වෙන්නේ කොහොමද කියලා. ඔබ සාමාන්ය පෙළ කාලයේදීත් මේ ගැන කෙටියෙන් ඉගෙන ගෙන ඇති.
ස්ත්රී ප්රජනක පද්ධතිය ප්රධාන කොටස් කීපයකින් යුක්තයි. ඒ තමයි, ඩිම්බ කෝෂ, පැලෝපීය නාළ, ගර්භාෂය, ගැබ් ගෙල සහ යෝනි මාර්ගය. හරියටම මතක නැත්නම් පළමු කමෙන්ටුවේ නම් කළ රූප සටහනක් ඇති. අපේ මොළයෙන් ස්රාවය වන හෝමෝන කියන රසායනික ද්රව්ය නිසා, මාසයකට වරක් ඩිම්බ කෝෂයක් මගින් ඩිම්බයක් මුදා හරිනවා. මේ ඩිම්බය පැලෝපීය නාළය දිගේ ඇවිත් ගර්භාෂයේ තැන්පත් වෙනවා. මේ කාලය ඇතුළත යෝනි මාර්ගය ඔස්සේ ශුක්රාණුවක් ඇවිත් පිළිසිඳගැනීමක් සිදු වුණොත්, ඒ කළලයට වැඩෙන්නට හැකි වෙන සේ ගර්භාෂය සූදානම් වෙනවා. මේ සඳහා ගර්භාෂයේ ඇතුළතින්ම තියෙන ස්ථරය – ඒක හඳුන්වන්නේ එන්ඩොමෙට්රියම නමින් – ඒක ඝනකම්ව වර්ධනය වෙලා, එහි තියෙන රුධිර වාහිනීත් වඩාත් වර්ධනය වෙලා කළලය පිළිගන්න ලෑස්ති වෙනවා. ඒත් බැරි වෙලාවත් පිළිසිඳ ගැනීමක් සිදු නොවුණොත්, මෙසේ තව දුරටත් සූදානම්ව සිටීමේ අවශ්යතාවයක් නැති නිසා, එන්ඩොමෙට්රියමේ උඩ කොටස ගැළවිලා රුධිරයත්, සමග යෝනි මාර්ගය ඔස්සේ පිටව යනවා. අපි මාසයකට වරක් ඔසප් වීමක් ලෙස හඳුන්වන්නේ මේ අවසාන ප්රතිඵලයයි.
හොඳයි දැන් අපි බලමු මොකද්ද එන්ඩොමෙට්රියෝසිස් කියන්නේ කියලා. එන්ඩොමෙට්රියෝසිස් කියන්නේ එන්ඩොමෙට්රියමට අයත් පටක, ගර්භාෂයේ ඇතුළත ස්ථරය හැරෙන්නට ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයක පැවතීම නිසා ඇති වන තත්වයක්. මේක සිදු වන ක්රමය හරියටම නොදන්නවා වුණත්, බොහෝ විද්යාඥයන් විශ්වාස කරන්නේ ඔසප් වීමේදී ගැළවී යන එන්ඩොමෙට්රියම් කොටස් පැලෝපීය නාළ දිගේ ගමන් කර දේහ අභ්යන්තරයේ කොහේ හෝ තැනක තැන්පත් වීම නිසා මෙය ඇති වන බවයි.
එන්ඩොමෙට්රියම් පටක ශරීරයේ කොතැන තිබුණත්, ඒවා මාසිකව සිදු වන හෝමෝනම වෙනස්කම් වලට ප්රතිචාර දක්වනවා. එන්ඩොමෙට්රියෝසිස් වලදී එන රෝග ලක්ෂණ ඇති වන්නේ මේ නිසායි. දේහයේ වෙනත් තැනක තියෙන මේ පටක කොටස් මාසිකව වර්ධනය වෙලා, ඔසප් දිනය ළං වන විට රුධිරය පිටකරන්නට පටන් ගන්නවා. මේ නිසා දේහ අභ්යන්තරයේ අනවශ්ය තැන් වල රුධිරය රැඳෙන්න පුළුවන්. ඒ වගේම දේහයේ තිබෙන බන්ධනි වගේ කොටස් මත මේ පටක් කොටස් රැඳීම නිසා මේ තත්වය තියෙන කාන්තාවන්ට ඔසප් කාලයට අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්.
එන්ඩොමෙට්රියම් පටක කොටස් ඩිම්බ කෝෂ තුළ තැන්පත් වීම නිසා ඩිම්බ කෝෂ වල ගෙඩි ඇති වෙන්න පුළුවන්. මේ ගෙඩි තුළ මාසික රුධිර වහනය වීම් නිසා පරණ පල් වුණු රුධිරය පිරිලා ඒවා විශාල වෙන්න පුළුවන්. මේ නිසා ඩිම්බ මෝචනයට බාධා වෙලා කාන්තාවන් මදසරුභාවයට, ඒ කියන්නේ වඳ භාවයට පත් වෙන්න පවා පුළුවන්. ශ්රෝණි කුහරයේ තැන් තැන් වල එන්ඩොමෙට්රියම් පටක තැන්පත් වීම නිසා, ලිංගිකව එකතු වීමකදී කාන්තාවන්ට අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේ හේතුව නිසා විවාහ දිවිය තුළ පවා ලොකු ගැටළු ඇති වෙන්න බැරි නැහැ. ඒ වගේම මුත්රා කිරීමේදී, මලපහ කිරීමේදී පවා ඇතැම් අයට උකුල් ප්රදේශයේ අධික වේදනාවක් ඇති වෙන්න පුළුවන්.
අද ලිපියෙන් අපිට කියන්න අවශ්ය වැදගත්ම පණිවිඩය තමයි, ‘වේදනාකාරී ඔසප් වීම් නොතකා හරින්න එපා’ කියන එක. ඔසප් වීමේදී කොහොමත් ශරීරයට යම් වේදනාවක් තියෙන බව ඇත්ත. නමුත් ඔබේ ඔසප් වේදනාව ඔබට එදිනෙදා වැඩ කටයුතු කරගන්න බැරි තරම් අධික නම්, ඒ වේදනාව සමනය කරගන්න ඔබට අනිවාර්යෙන්ම හැම මාසෙකම වගේ වේදනා නාශක පෙති (පැරසිටමෝල් වගේ) ගන්න සිදු වෙලා තියෙනවා නම්, ඒක සුළු කොට තකන්න එපා. යොවුන් වියේ හෝ තරුණ වියේ පසුවන තරුණියන් පවා ඔසප් වීමේදී අධික වේදනාවක් තියෙන බව කිව්වහම සමහර මව්වරුන් කියනවා, “ඔය කාලෙට හැමෝටම ඔහොම තමයි”, “කසාද බැන්දට පස්සේ ඕවා හරියනවා” කියලා. ඒත් ප්රවේශම් වෙන්න. ඇතැම් විට ඔබට මේ රෝගී තත්වය තියෙනවා වෙන්නට පුළුවන්. හැම කාන්තාවන් 10කින් එක් අයෙකුටම එන්ඩොමෙට්රියෝසිස් රෝගය තියෙන බව අනාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක දියවැඩියාව තරමටම වගේ සුලබ රෝගයක්. නමුත් සාමාජයීය හේතු නිසා අපි කවුරුවත් මේ ගැන දැනුවත් නැහැ.
කලින් හඳුනාගත්තොත් ඖෂධ මගින් මේ රෝගී තත්වය හොඳට පාලනය කරන්න පුළුවන්. රෝගය බොහෝ දුරට පැතිරිලා තියෙනවා නම් එයට ශල්යකර්ම මගින් ප්රතිකාර කරන්න පුළුවන්. ඒත් මතක තියා ගන්න, හැකි ඉක්මනින් රෝගය හඳුනා ගැනීම තමයි වැදගත්ම දේ. මොකද අද අධික ඔසප් වේදනාව තියෙන තරුණියක්, මේක සාමාන්ය දෙයක් වෙන්නැති කියලා වෛද්යවරයෙක් හමුවෙන්න නොගිහින් නොසළකා හිටියොත්, තව වසර කිහිපයකින් ඇයට දරු ඵල නැතිව ආයෙමත් එන්න සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට හෝ ඔබ දන්න හඳුනන ඕනෑම කෙනෙකුට මේ රොගී ලක්ෂණ තියෙනවා නම් ඔවුන්ව ප්රසව හා නාරිවේදී වෛද්යවරයෙක් වෙත යොමු කරවන්න ප්රමාද වෙන්න එපා.
මේ ප්රශ්නය ගැන විවෘතව කතා කරන එක සමාජයේ අපි හැමෝගෙම වගකීමක්. මොකද එහෙම නැතුව මේ රෝගය තියෙන කෙනෙක් වෛද්ය උපදෙස් ගන්න එන්න තියෙන පෙළඹවීම අඩුයි.
උපුටා ගැනීමක එකතුවකි….
මූලාශ්‍රය: සදෙව් විහංග