කළු කුහර ? නම ඇහුව ගමන් දන්න නොදන්න ඔයාල හැමෝටම පොඩි කුතුහලයක් ඇති වෙන්න ඇති. ඇත්තටම කළු කුහරයක් කියන්නේ මොකක්ද ? ඒක සැබෑවක්ද? මේ දැවෙන ප්‍රශ්නවලට විසදුම් හොයාගෙන අපි යමු කළු කුහරයක් ඇතුළට.
කළු කුහරයක් එහෙම නැත්තන් black hole එකක් කියන්නේ විශ්වයේ තවත් එක් අනභිභවනීය නිර්මාණයක්. මේවා මුළු විශ්වය පුරාම වගේ පැතිරුණ මිනිසාට තාමත් ආගන්තුක වස්තුවක් කිව්වොත් තවත් නිවැරදියි. බොහෝ කළු කුහර, ග්‍රාහකයක් නැත්තන් asteroid එකක් තරම් වුණත් තවත් සමහර ඒවා අපේ සෞරග්‍රහ මණ්ඩලය තරම් විශාල වෙනව කියලයි පර්යේෂකයන්ගේ අදහස. මේ වගේ ඉතා විශාල කළු කුහර super massive black holes නමින් හදුන්වනවා. ඒ වගේ කළු කුහර සාමාන්‍යයෙන් තියෙන්නේ මන්දාකිණි මධ්‍යයේ. ඒකෙන් තමයි මන්දාකිණියෙ තියෙන ග්‍රහ තාරුකා අල්ලගෙන තියාගෙන ඉන්නෙ.
මේ කළු කුහර හැදිල තියෙන්නේ ඉතා විශාල පදාර්ථ ප්‍රමාණයක් එකතු වෙලා. තියෙන විශාල පදාර්ථ ප්‍රමාණය නිසා කළු කුහරයක් අදහාගන්න බැරි තරම් ස්කන්ධයකින් සමන්විතයිලු. මේ මුලු ස්කන්ධයම වගේ තියෙන්නෙ මේකෙ මධ්‍යයේ තියෙන cingularity ( සින්ගියුලැරිටි ) කියන නමින් හදුන්වන ස්ථානයේ කියලයි පරීක්ෂණවලින් තහවුරු වෙන්නෙ. අති විශාල ස්කන්ධය හේතුවෙන් ඉතා ප්‍රබල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කළු කුහරයක් වටේට ඇති වෙනවා. මේ ක්ෂේත්‍රයේ ප්‍රබලත්වය කෙසේදයත් අඩුම තරමෙ ආලෝකයේ වේගයෙන් ගමන් කරන ෆෝටෝනයකටවත් කළු කුහරයක් තුලින් එළියට එන්න බෑ. ඒ කියන්නෙ ආලෝක ෆෝටෝනවලටවත් කළු කුහරයක් තුලින් පිටතට එන්න බැරි නිසා කළු කුහරයක් ඇතුලත අපිට නිරීක්ෂණය කරන්න වෙන්නෙ නෑ. ඒ නිසා කළු කුහරයක් ඇතුලෙ මොනවා සිද්ධ වෙනවද කියන එක තාමත් අභිරහසක්.
ඉතින් එහෙනම් කොහොමද පර්යේෂකයො කළු කුහර කියල දෙයක් විශ්වයේ තියෙනවා කියල හොයාගන්නෙ? ඇත්තටම ඒ සදහා උදව් වෙන්නෙ කළු කුහරයක් ආසන්නයේ පවතින ආකාශ වස්තූන් වෙත කළු කුහරයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් ඇතිවෙන බලපෑම්.
අපි නිකමට හිතමු ඔයා මොකක්හරි වස්තුවක් කළු කුහරය වෙතට විසි කරා කියලා. මේ වෙලාවෙ කළු කුහරයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් කළු කුහරය දෙසට අර වස්තුව මත ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා. ඒ බලය නිසා වස්තුව කළු කුහරය දෙසට ත්වරණය වෙනවා. ඒ කියන්නෙ වස්තුවේ වේගය වැඩි වෙනවා. මෙහෙම වේගෙ වැඩි වෙන ගමන් වස්තුව කළු කුහරය වෙතට ඇදිල යනවා. අවසානෙට එක්තරා තැනකදි වස්තුවේ වේගය ආලෝකයේ වේගයට ළගා වෙනවා. මෙන්න මේ ස්ථානයට තමයි කළු කුහරයේ සිද්ධි ක්ෂිතිජය එහෙම නැත්තන් event horizon එක කියලා කියන්නෙ. හැබැයි මේක තියෙන්නේ cingularity ( සින්ගියුලැරිටි ) එකට පිටතින්. සිද්ධි ක්ෂිතිජයෙන් ඇතුලට ගිය යමකට ආයෙ එළියට එන්න බෑ. මොකද කිව්වොත් ඒකට ආලෝකයේ වේගයට වඩා ලොකු වේගයක් ඕනෙ වෙන නිසා. දැන් වස්තුවේ වේගය ආලෝකයේ වේගයට සමාන වුණ මේ වෙලාවෙ වස්තුවේ කාලය ගතවීම නවතිනවා. ඉතින් එතකොට අපි දන්න භෞතික නියමයන්වලට අනුව මේ අවස්ථාව පැහැදිලි කරගන්න බැරි වෙනවා.
ඇත්තටම ඔයා කළු කුහරයක් ඇතුළට වැටුණොත් මොනවා වෙයිද? හ්ම්.. ඔයා හිතුවා නම් මියයාවි කියලා ඒක හුගක් දුරට විය හැකි දෙයක්. මොකද ඔයත් අර විදිහට ත්වරණය වෙනකොට ඒ වේගෙ සිරුරට දරා ගන්න බැරි වෙනවා. ඔයාගෙ සිරුර විනාශ වෙන්න කලින් කම්පනය නිසාත් ඔයා මියයන්න බැරි නෑ.
මේ වගේ අමුතු රහස් විශ්වයේ හැංගිල තියෙනවා කියල හිතද්දිත් හරි පුදුමාකාරයි. තාමත් අපිට හමුවෙලා නැති බොහෝ දෑ අපේ මානයන්ට අසු නොවී ඉන්න මොහොතක සොයාගත් දේ හෝ ගවේෂණය කිරීම ඔබට සතුටක් ගෙනදේවි. මීළඟට කළු කුහරයේ උපතේ කතාවත් එක්ක තවත් ලිපියකින් අපි හමුවෙමු.
තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.
චතුරිකා අබේසේකර