අදෝනාව (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක වෙනකොට මට උපරිම අවුරුදු 3 ඇති. අපේ මොලේ තියනවානේ කෝ(ර්)මෙමරීස් කියලා ජාතියක් මේකත් එහෙම එකක්.
මේ කාලේ මම තමා ගෙදර හිටිය තනි අලියා ගෙදර ඈයොත් මට සෑහෙන වන්දනාමාන කරා. මම කන්න කැමති මොනාද ඒ හැමදේම මට අඩුවක් නැතුව එයාලා දුන්නා කිව්වොත් ඒක වැරදී පින්වතුනි. හැමදේම දුන්නත් අයිස්ක්රීම් දුන්නේ අඩුවෙන්.
ඒ උනාට මට දවසක් ඇර දවසක්වත් ලොවන්න මේස හැන්දක් නැත්නම් උපරිම දෙකක විතර අයිස්ක්රීම් දෙන්න අම්මා වග බලාගත්තා.
මේ සිදුවීමට කලින් දවසේ හවස අලුත්ම ටබ් එකක් ගෙනත් ෆ්රීසර් එකට දානවා මම දැක්කා. මට ටිකක් කන්න ඉල්ලුවම ඊලග දවසේ දවල්ට දෙන්නම් කිව්වේ රෑට කෑවොත් අසනීප වෙයි කියලා. හෙට නිදහස් වෙන්න තියෙද්දී අද හිරෙන් පැන්නා වගේ, මට බලවත් ආසාවක් ආවා එදා රෑම අයිස්ක්රීම් කන්න.
මම මගේ අවුරුදු 3නේ මොලෙන් කල්පනා කරා මගේ ආසාව සංසිදුවාගන්න විදිහක්. බෙට්ට වටේ කැරකෙන නිල මැස්සෝ වගේ කොයි වෙලෙත් මගෙ වටේ කැරකෙන අම්මයි මාමයි(අම්මගේ අයියා) ආච්චීයි මගෙ ලග ඉන්න බැරි නිසා මගේ මිශන් එකට සුදුසුම වෙලාව විදිහට මම තෝරගත්තේ හැමෝම නින්දට ගියාට පසු කාලය.
එදා රෑත් කිසි වෙනසක් පෙන්නන්නේ නැතුව අම්මගේ සුදු බබා තුරුල්වෙලා දොයිය ගත්තා. පොඩි නින්දක් ඇත්තටම යන්න ඇති. කොහොමහරි මම මහ රෑ ආපහු ඇස් ඇරියා හරියට ටූටන්කාමන්ට පන ආවා වගේ. එතකොට අම්මා හොදටම නිදි. ඊට පස්සේ වැඩි සද්ද නැතුව ෆ්රිජ් එක හොයාගෙන ගියා. ඒ කාලේ ඉදන් පුරුද්දක් විදිහට අපේ ගෙදර එක ලයිට් එකක් දානවා රෑට නිදාගන්නකොට. ඒක තමා මගේ පාර කියනා තාරකාව උනේ.
හිමින් සීරුවේ පුටුවක් ඇදලා අරන් ඒකට නැගලා ෆ්රිජ් එකේ දොර ඇරලා මගේ වස්තුව අතට ගත්ත විදිහ ලෝඩ් ඔෆ් ද රිංග්ස් ඩිරෙක්ටර් දැක්කනම් මාව ගන්නවා ගොලම්ට. පුටුවත් ආපහු තිබ්බ තැනට හේත්තූ කරලා මම රිංගුවා මේසේ යටට. එදා එලි වෙනකල් මම මුලු අයිස්ක්රීම් එකම කෑවා. කාලා ඉවර උනාම මට දැනුනේ දැන්නම් මැරුනත් සැපයි වගේ ෆීලින්ග් එකක්.
ඊට පස්සේ මේසේ ඇතුලේ ලං වෙලා තියන පුටු දෙකක් උඩට නැගලා බබා ආපහු දොයිය ගත්තා.කොහොමත් දැන් මැරුං කනවා කියලා මට සුවර්. එහෙම කියලා අලුගෝසුවා ලගට යන්න ඕන නැහැනේ.
මම ඇහැරුනේ අපේ අම්මගේ මර ලතෝනිය ඇහිලා.
“අනේ අම්මේ මගේ දරුවා නැත්නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ අයියෝ මගේ දරුවට මොකද උනේ” අම්මා උච්ච ස්වරයෙන් හූ තිය තිය අඩනවා. අඩනවා කිව්වට ඒක විලාපයක්.
ඇදන් යට අල්මාරි අස්සේ වහලේ උඩ එකී නොකී එලියට පැහැදිලිව නොපෙනෙන මුල්ලවල් අස්සේ හොයපු නිසා ලමයා ගේ ඇතුලේ නැති බව එයාලම කන්ෆර්ම් කරගෙන.
ආච්චිත් අඩනවා වටේටම දෙස් තියලා එයාගේ හිතේ මාව හොරු අරන් ගිහින් කියලා. ඒත් මාව හොරු ගෙනියන්න එන්න විදිහක් තිබ්බේ නෑ පින්වතුනි ඒ කාලේ අපේ ගෙදර වට වෙලා තිබ්බේ කැලේ වැවිච්ච හිස් ඉඩං වලට. හොරු එන්නත් උන් දැනගන්න එපැයි මම මේ ඝන වනාන්තරයක් මැද දිවි ගෙවන්නේ කියලා.
අම්මා කොච්චර මර ලතෝනි තිබ්බත් මට එලියට යන්න බයයි. මගේ මරි වැඩේ ගැන දැන ගත්තට පස්සේ ඇමේසන් වැහි වනාන්තරේ වගේ ඉන්න අම්මට සහරා කාන්තාරේ වෙන්න යන්නේ තප්පරේටත් අඩු කාලයක් බව මම එක්ස්පීරියන්ස් එකෙන් දැනන් හිටියා. දැන් ගෙදර මිනිස්සු හිතන්නේ මාව හොරු ගෙනිහින් නැත්නම් මම ලිදේ වැටිලා. එලියේ වෙන සීන් එක මම මේසේ පුටු දෙකක් ඇතුලේ මමියක් මෙන් නොසෙල් වී අහගෙන හිටියා.
මොකක් හරි හේතුවකට ආපහු ගෙට ආව මාමා දැකලා මේසේ යට තියන අයිස්ක්රීම් ටබ් එක. අම්මාගේ ක්ලීනින් එක්ක මේක හරිම අස්වාභාවික දර්ශනයක් කොට සැලකුව මාමා ඒ ලැබුන ඔත්තුවෙන් රාජ කුමාරිකාව සැගවී සිටි ස්ථානය හොයා ගත්තා. කොච්චර දස්ස මිනීමරුවෙක් උනත් සාක්කියක් ඉතුරු කරනවා කියන්නේ කට කහනවට නෙමේ පින්වතුනී. මම හැංගුනාට ටබ් එක හංගන්න අමතක වෙලා.
එතනින් පස්සේ උන දේවල් මට මතක නැහැ. අම්මා මාව මරන්න විදිහක් නම් නැහැ. සමහර විට මගේ හැව අරින්න ඇති.
උපුටා ගැනීම:  Tifii Guruge

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!