ලංකාවේ වගේම වෙනත් රටවලත් පරිසර පද්ධතියේ බොහෝ වටිනා සතුන් විශාල වශයෙන් අහිමිවෙමින් සිටිනවා. වාණිජමය පරමාර්ථයන් උදෙසා සතුන්ගේ ශරීර කොටස් විශාල මිලකට අලෙවිවීම එයට හේතුවක්. ඉතින් විශාල වශයෙන් තර්ජනයට ලක්ව ඇති සත්ත්ව කොට්ඨාසයක් තමයි අලි ඇතුන්. ප්‍රමාණයෙන් විශාලම සත්ත්වයෙක් වන හස්තියාගේ ජීවිතය අනතුරට ලක්ව තියෙන්නේ ඇත් දළ සහ ගජමුතු නිසාවෙන්. ඉතින් ලංකාවේ වටිනා අලි ඇතුන් මේ වෙද්දීත් විශාල පිරිසක් මිනිසා විසින් මරාදමා තියෙනවා. ඒ වගේම දිනෙන් දින කොතරම් නීතී පැනෙව්වත් අලි ඇතුන්ට ඇති ජීවීත තර්ජනවල අඩුවක් නම් දකින්නට නැහැ. ඉතින් අද කතා කරන්න සූදානම් වෙන්නේ බුද්ධිමත් ජීවීයා විදියට සලකන මිනිසා විසින් ජීවත්වීමේ අවස්ථාව අහිමි කළ බවට සැක කරන තවත් වටිනා හස්ති රාජයෙක් ගැනයි. ඔහු නමින් කතිර දළ ඇතා.
ඉතින් අපිට සාමාන්‍යයෙන් අලියෙකු ඇතෙකුගෙන් වෙන්කර හඳුනාගත හැකි පහසුම ක්‍රමය ඇතා සතුව තියෙන අලංකාර දළ යුගලය. ඒ වගේම අභිමානයටත්, පෞරුෂත්වයටයත් තේජවන්තභාවයටත් මේ දළ යුගලය ඇතෙකුට වටිනා ආභරණයක් වගේම මේ දළ යුගලයම ඇතෙකුගේ ජීවත්වීමේ කාලය තීරණය කරන මරණ වරෙන්තුව ලියවන සාධකයක් බවටත් පත්ව තියෙනවා . කොහොමවුණත් ඇතාට මේ දළ තමන්ගේ විවිධ කාර්යයන් සඳහා බොහෝම ප්‍රයෝජනවත් වෙනවා. අප්‍රිකානු ඇතුන් ගැහැණු පිරිමි භේදයකින් තොරව දළ දැරුවත් ලංකාවේ පිරිමි සතුන්ගෙන් 4% ක් පමණ දළ දරන බවයි පරිසරවේදීන් සඳහන් කරන්නේ.

ඉතින් ඇත් පවුලේ උපතින්ම තනි දළයක් හිමිවෙන අයත් ඉන්නවා.ඒ විතරක් නෙවෙයි කුඩා කාලයේම දළ සිඳගත් ඇතුන් ද සිටිනවා. තවත් අයට දළ දෙකෙන් එක් දළයක් වඩා හුරු දළය ලෙස තියෙනවා. ඒ වගේම දළවල පිහිටීම මංගල ලකුණු විදියටත් සලකනවා. ශ්‍රී දළදා මාළිගාවේ සධාතුක කරඩුව වැඩම කරවීමේදීත් මේ දළවල පිහිටීම ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් මේ නිසාම ඇත් දළවල පිහිටීම අනුව ඇතුන් නම් කර ඇති බව පැහැදිලියි.
දල පූට්ටුවා, තනි දලයා, දල කොටා, දල කූරා, වේවැල් දලයා විදියට ලංකාවේ ඇතුන් දළවල පිහිටීම අනුව නම් යොදා තියෙනවා. මේ විදියට දුර්ලභ දළ පිහිටීම් තියෙන ඇතුන් සිටින්නේ ඉතාම කුඩා ප්‍රමාණයක්. දළ ජාවාරම්කරුවන් නිසාවෙන්ම ලංකාවේ දළ ඇතුන්ගේ ජීවිත පවතින්නේ අනතුරක.
ඉතින් අද අපි කතා කරන කතිර දළයාත් ප්‍රසිද්ධියට පත්වෙන්නේ ඔහුගේ දළ යුගලයේ අපූරු පිහිටීම නිසාමයි. මේ කතිර දළ ඇතාගේ නම මහසෙන්. ඉතින් කතිර දළ ඇතා ගැන කතාබහට ලක්වෙන්නේ දළ පූට්ටුවාගේ මරණයත් සමඟ. ඉතින් මේ කතිර දළ ඇතා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්වුණු වටිනා ඇතෙක් බවටයි සලකනු ලබන්නේ. ඔහු ජීවත්වුණේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ. මේ කතිර දළ ඇතාගේ විශේෂත්වය වෙන්නේ දිගින් අඩි 6ක පමණ ප්‍රමාණයෙන් යුක්ත දළ යුගලය එකිනෙක හරහා බද්ධයෙන් සම්බන්ධ වී තිබීම. ඉතින් මේ මහසෙන් ඇතාගේ උස සාමාන්‍යයෙන් අඩි 12 ක් බව පැවසෙනවා.
මහසෙන් හැරුණාම තවත් කතිර දළ ඇතුන් සිටි බවටත් සාධක හමුවෙනවා. ඒ 1980- 1986 කාලයේ දී යාල ජාතික වනෝද්‍යානයේ මේ කතිර දළ ඇතාට සමාන කතිර දළ ඇතුන් දෙදෙනෙක් වාසය කර ඇති බවට සාධක හමුවීමෙන්. ඒ ඇතුන් දෙදෙනා මහ පූට්ටුවා සහ පොඩි පූට්ටුවා විදියටයි හඳුන්වා තියෙන්නේ.
මේ මහ පූට්ටුවා කියන කතිර දළ ඇතා යාලෙන් පිටතට සංක්‍රමණය වෙමින් ගොඩකලපුවේ, ආමදූව කිරින්ද හරහා මාගම් කුඹුරු යායවලින් ආහාර සොයාගෙන යලි යාලට පැමිණෙන්නට පුරුදුව සිටි අතර පසුකාලීනව ඕනෑගම් ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කළ, දළ යුගල කපා ඉවත්කර ගත් වෙඩි වැදී මියගිය ඇතෙකුගේ සිරුරක් හමුව ඇති අතර ඒ මහ පූට්ටුවාගේ ඉරණමයි. ඒ විතරක් නෙවෙයි යාලේ සිටි පොඩි කතිර දළ ඇතාගේ ඉරණමත් ඒ ආකාරයෙන්ම තීරණය වී තිබුණා. ඉතින් මහසෙන් ඇතුගේ ඉරණමත් ඒ ආකාරයෙන් විසදී ඇත් ද යන්න තවමත් අබිරහසක්.
කොහොමවුණත් මේ මහසෙන් ඇතු සෑම වර්ෂයකදීම අප්‍රේල් මාසයේ දී මින්නේරිය ජාතික වනෝද්‍යානයට පැමිණීම දැකිය හැකියි. නමුත් කණගාටුදායක කාරණය වෙන්නේ මීට වසර හතකට පමණ පෙර සිටම මේ දුර්ලභ ඇතා දකින්නට නොලැබීමයි. 2017 දී පමණ වඩාත් කතාබහට ලක්වුණු මේ ඇතා ගැන අද කතා කරන්නේ තවත් මෙවැනි දුර්ලභ වටිනා ඇතුන් ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය වඩාත් දනවනු පිණිසයි. නැතිවුවහොත් දැනට ඉතිරිව සිටින වටිනා කියන හස්තීන් කිසිදු වග විභාගයකින් තොරවම මේ මිහිමත මිහිදන් වේවි.
ඉතින් එදා සිටම මේ මහසෙන් ඇතාටත් බොහෝ තර්ජන පැවතුණු බව පැවසෙනවා. වරින් වර ඇතු දඩයක්කරුවන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක්ව සිටි බවත්, එබැවින් ඒ ඇතුට විවිධ අවස්ථාවල ප්‍රතිකාර කිරීමට සිදු වූ බවත් ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ නිළධාරින් පවසා තියෙනවා. ඉතින් කාලයක් තිස්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය, කවුඩුල්ල හා සෝමාවතිය ආදී ජාතික වනෝද්‍යානවලදීවත් ඒ ඇතු දකින්නට ලැබී නැති බව එදා පොළොන්නරුව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.ජේ .වික්‍රමසිංහ මහතා අනාවරණය කර තිබුණා. ඉතින් කතිර දළ ඇතා ගැන සොයන්නට විවිධ අවස්ථාවල කමිටු පත්කළත් ඒ මෙහෙයුම් ද අසාර්ථක වූ බවයි පැවසෙන්නේ.

කොහොමනමුත් ඉන්පසු මාස කිහිපයකට පසුව මේ මහසෙන් ඇතු මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටිනු දුටු බව ගම්වාසීන් ප්‍රකාශ කර තියෙනවා. නමුත් ඇතු ආරක්ෂිතව සිටින්නේ ද යන්න එදා ඔවුන්ට නිශ්චිත තොරතුරු ලැබී තිබුණේ නැහැ.
ඉතින් මේ සුවිශේෂී ලක්ෂණ සහිත වළගම්බා , අනුරාධා, වලගරාජා,කල්තොට රාජා,තලාකොල, වැව පූට්ටුවා වැනි විශේෂිත දළ යුග්මයන් පිහිටි දළ ඇතුන් ද බොහෝ කාලයක සිට අතුරුදන්ව ඇති බවයි සඳහන් වෙන්නේ. ඉතින් අද වන විට අතුරුදන්ව ඇති බවට සලකන ලංකාවේ වටිනා තවත් දළ ඇතෙක් තමයි කතිර දළ ඇතා.
ලෝකයට දුර්ලභ ලංකාවට උරුම මේ වටිනා ඇත් සම්පත ආරක්ෂා කරගන්නට නිසි බළධාරින් තවමත් වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම් මේ විශේෂිත දළ ඇතුන් කිහිපදෙනත් ඇත් දළ ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම නතර කළ නොහැකියි.
වන සතුන්ගේ වාසස්ථාන විවිධ ව්‍යාපෘති වෙනුවෙන්, වාණිජ අරමුණු වෙනුවෙන් එළිපෙහෙළි කිරීම නිසා අලි ඇතුන් ඔවුන්ගේ වාසස්ථාන අහිමිවෙලා තියෙනවා. ඒ වගේම අලින්ට ආහාර සපයා ගන්නට තියෙන තෘණ භූමිවලට හරක් විශාල වශයෙන් ඇතුල් කිරීමත් විවිධ ආක්‍රමණික ශාක වනාන්තරවල පැතිරීමත් නිසා ඇතුන්ට තම ආහාර සපයා ගන්නට ගම්වැදීමට සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය නිසා අලි මිනිස් ගැටුමත් තවත් දරුණු වනවා වගේම දුර්ලභ දළ ඇතුන් ජාවාරම්කාරයන්ගේ ගොදුරු බවටත් පත්වෙනවා. ඒ නිසාවෙන් ලංකාවට උරුම අපේ සම්පත් අපේ සත්ත්ව සංහතිය රැක ගන්නට පනවා ඇති නීති නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු වෙනවා. නැත්නම් තව වසර කිහිපයක් ගතවෙද්දී කතිර දළ ඇතා වගේම තවත් දළ ඇතුන් අතුරුදන්ව ලංකාවේ ඇතුන් සංහතිය නැත්තටම නැතිව යාවී.
උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog