මේ ළඟදි මම වැඩ ඇරිල එනකොට කවුද මනුස්සයෙක් අපේ ගේ ගාව ත්රී වීල් එකක් හද හද ඉඳිය. ගේ ලඟ නිසා මම ඇහුව”මොකෝ අන්කල්” කියල.
“මේක ස්ටාර්ට් වෙන්නෙ නැතුව ගියානෙ” මාත් දන්න ජිල් මාට් දාල බැලුව ඒත් ඒක ස්ටාර්ට් වෙන්නෙම නෑ.
“අන්කල් විනාඩියක් ඉන්න මං ශෝටක් දාගෙන එන්නම් අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියල” එහෙම කියල මං ගේ පැත්තට එන්න ආව.
“පුතා මට වතුර එකක් බොන්න පුළුවන්ද ?” ඒ මනුස්සය එහෙම ඇහුව. “යමු අංකල් එහෙනම්.ඔය තියෙන්නෙ අපේ ගේ. වතුර එකක් බීලම එමු” එහෙම කියල මං ඒ මනුස්සයව ගෙදරට එක්ක ගිහිං වතුර එකක් දුන්න. ශෝටකුත් දාගෙන අපි දෙන්න ආයෙ ත්රී වීල් එක ගාවට ගියා.
“පුතා කොහෙද වැඩ කරන්නෙ”
“මං ලෝයර් කෙනෙක් ගාව වැඩ අන්කල්.”
“මේ ත්රී වීල් එක මෙහෙම ලෙඩ දීල නෑ කවදාවත්.බාස් කෙනෙක් හොයාගන්න බැරි වෙයිද මේ හරියෙ”
“බාස් කෙනෙක් නම් එහා පැත්තෙ ඉන්නව.තව ටිකක් අපි බලමු අන්කල් බැරි උනොත් මිනිහව එක්ක එමු”
මං එහෙම කිව්වෙ මගෙත් වැඩ මිනිහට පෙන්නන්න ඕනි නිසා.
ටික වෙලාවකින් මිනිහ සාක්කුවෙ තිබිල සිගරට් පෙට්ටියක් අරන් එකක් මට දික් කළා. කර කර ඉඳපු වැඩෙත් අමතක වෙලා මං ගේ පැත්ත බැලුවෙ ගෙදර කවුරු හරි බලාගෙන ඉන්නවද කියල. කවුරුත් නැති නිසා මං සිගරට් එක අරගත්තම මිනිහ සාක්කුවෙ තිබ්බ ලයිටරේකුත් දික් කරල මිනිහත් එකක් පත්තු කරන් බොන්න පටන් ගත්ත.දැන් වීල් එක හදන ගමන් මං දුමත් දැම්ම. වීල් එක ගොඩ දාන්න බෑ වගේ.
“අංකල්.මේ වැඩේ හරියන් නෑ.අපි බාස්ව එක්කන් එමු”
පයින්ම ගිහින් වැඩකාරයෙක්ව එක්ක ආව. අත පත ගාල පොර විනාඩි 10කින් වගේ ලෙඩේ හොයාගත්ත. ගැලවිලා තිබ්බ වයර් එකක් අමුණල මිනිහ වැඩේ ඉවරයක් කළා. ත්රී වීල් අන්කල්ට හෙන හැපී.
“ගාණ කීයද මල්ලි. මේ පුතා නැත්තම් මං අනාථයි.”
“සල්ලි එපා අයියෙ ඕක පොඩි වැඩක්නෙ.වයර් එකක් ගැළවිලා තිබ්බෙ.” දැන් බාස් සල්ලි එපා කියනව. ත්රී වීල් අංකල් සල්ලි දෙන්න හදනව.
“හරි සල්ලි ගන්න බෑනෙ. අපි 3 දෙනා එක්ක අඩියක් ගහමු.මං ගානෙ බෝතලේ.”
බාසුයි මමයි මූණට මූණ බැලුව. දෙන්නම ඉඳල හිටල අමාරුවෙන් අඩියක් ගැහුවට මේ වගේ පිනා චාන්ස් සෙට් වෙන්නෙ නෑනෙ. තුන් දෙනා එක්කම ත්රී වීල් එකේ නැගල බාර් එක ගාවට ගියා. පොර මට රුපියල් 3000ක් දීල “ඕකෙන් බඩු අරන් බයිටුත් ගන්න” කියල මට කිව්ව. ත්රී වීල් එකෙන් බැහැල බෝතලෙයි බයිටුයි අරන් කෙළින්ම බාස් අයියලගෙ ගෙදරට ආව. පොර තනියෙන් ඉන්නෙ ගෙදර. මරු ප්ලේස් එක.
බෝතලේ වැඩිපුර ගැහුවෙ මායි බාස් අයියයි. ත්රී වීල් එකේ අංකල් යංතම් ශොට් එකක් දාගත්තෙ ත්රී වීල් එක අරන් යන්න ඕනි කියල. ඒ අස්සෙ කෑල්ල පෝන් එකට කෝල් අරන් දහ පහළොස් වතාවක්. ආයෙ ආයෙම ගන්නකොට මං ආන්ස කළා “සුදූ අනේ පොඩි හදිසි වැඩක ඉඳියේ.මං මේ තාම එතන.” වෙච්ච සිද්දිය සරලව පැහැදිලි කරල දීල මං ආයෙම බොන්න ගත්ත.
“හරි පුතා.එහෙනම් බොහෝම ස්තූතී.මං ගිහින් එන්නම්”
මිනිහ යන්න හදනකොට රෑ 8 ත් පහු වෙලා. ජීවිතේට අඳුරන් නැති මනුස්සයෙක් මෙහෙම බෝතලයක් අරන් දෙයි කියල කවුද හිතුවෙ.අනික මිනිහගෙ සිගරට් පෙට්ටිය ඉවර කළෙත් මම.බාස් අයියටත් ටිකක් වැඩී.එහෙම්ම කට්ටිය සමු අරගෙන මාව ගේ ගාවින් දාල අර අංකල් යන්න ගියා.මුකුත් නොවිච්ච ගාණට මං ගේ ඇතුළට ගිගින් නාගෙන කරගෙන ශේප් එකේ ඇඳට ආව. මිස් කෝල් විසි හතක්.කෑල්ලගෙන්. මොකක්වත් කරදරයක්ද.මං ටක් ගාල කෝල් එකක් ගත්ත.
“කොහෙද ගියේ.පෝන් එක ආන්ස කරන්න බැරිද? බීල බීල බේබද්ද මගෙ නම්බුව ඔක්කොම නැති කරල මේ මඟුලත් නැති කරල දැම්ම.එකක් ඉවර වෙන්න එකක් සිගරට් බොනවලු.මං කොහොමද ගෙදර මිනිස්සුන්ට මූණ දෙන්නෙ.හා හා පුරා කියල මාත් යාළු උනා එකෙක් එක්ක. තමුසෙ මහ බොරුකාරයෙක් ඕයි” කෑල්ල කියවගෙන කියවගෙන ගියා. මාව ටීක් උනා.
“බබා මොනාද ඔයා කියන්නෙ”
“බබා නෙවේ අද තමුසෙගෙ ගේ ගාව ත්රී වීල් එක කැඩිල ඉඳියෙ මගේ තාත්තා.මං තමුසෙ ගැන ගෙදරට කිව්වම එයා ඇවිල්ල පොඩ්ඩක් හොයල බලන්න.දැන් හරිනෙ ඔක්කොම”
ඒක ඇහුවට පස්සෙ මට බීපු ටික කබරය යන්න පටන් ගත්ත. ඒ සද්දෙට අපේ ගෙදර මිනිස්සු බය වෙලා කාමරේට ආව. වමනෙ පාරෙ සැරෙන් තාත්ත දැනගත්ත මං බීල කියල. කන හරහා වැදිච්ච පාරක් එක්ක මාව වමනෙ ගොඩ උඩට විසික් වෙලා ගියා.
නිමි.
උපුටා ගැනීම: Rasara Meemanarachchi