අඩිය තියන්නට (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දවස් කියන්නේ මහ පුදුමාකාරම ඔච්චමක් කියලා මට හැගෙන්න දැනෙන්න ගත්තේ අද ඊයේක නෙමෙයි.
සමහර කාල පරිච්ඦේද අපිට අපි කවුද, කොතනද ඉන්නේ කියන එක ඔප්පු කරන්න සාක්ෂි සපයන්නේ හරියට උසාවියක නඩු තීන්දුව සත්යට වඩා සාක්ෂිය මූලික වන අවසානයක් වන බව කියා පාමින්මය.
“තමුසෙට පිස්සුද ගගන. බලපන් තොගේ හැටි. බේබද්දෙක් වගේ. තෝ කිව්වා නේද බොන එක නවත්තල තියෙන්නේ කියලා. එහෙනම් අහවල් පරි ඇටයක් හොයන්නද ඊයේත් තෝ ගසලා තියෙන්නේ. ලස්සන ඇදලා ඩෙනිම දාලා ලිනන් ෂර්ට් එක ඇදලා “බ්ලු ෆෝ මෙන්” පර්ෆියුම් ගෑවට වැඩක් නෑ බන් බෝතලයක් මිරිකලා ගන්න පුළුවන් තොගේ මූණ දිහා බලපුවම”
කන් දෙක පුපුරන්න වගේ සජියා ඇගට ගොඩ වෙන්නේ ඇයිදැයි මම දහ අතේ කල්පනා කරන්නට විය.
සජිත් හසන්ත බක්මීවැව මගේ පාසැල් කාලයේ සිටම අතිජාත මිතුරාය. එකට අඩිය ගසා දෙදෙනාම මොරටුව එගොඩඋයනේ රැක් එකේ හෝ මුතුවැලි රෙස්ට් එකේ සිට පානදුර බස්නැවතුමට පයින් ආ වාර ගණන අනන්තය. අප්රමාණය.
“මචං ගගන බොනවනම් බෝතලේ ඉවර කරලා නැගිටිමු. යමං පයින් වෙරි බහින්නත් එක්ක.”
ඇත්තෙන්ම ඒ කාලය සුන්දරය. එගොඩ උයන ලී මෝල අද්දරින් වෙරි මතේම බීච් එකට වැනි වැනි ගිය වාර ගණන අදට මතක පොත්වලට පමණක් සීමා වී ඇත.
පියාඹන කාලය නැමති අහස් යාත්තරාව මහා හයියෙන් අහස් තලයම දෙදරවමින් එහේ මෙහේ ගිය වාර අනන්තය. අප්රමාණය.
” ඇත්තටම උඹට පිස්සුද. බලනවා තමුසේ්ගේ හැටි. ඒකිගේ හැටි. ඒකී උඹට වඩා වැඩිමල්, අනික ඒකිව ගොඩාක් උන් දන්නවා. ඒක මට වඩා උඹ දන්නවනේ”
⁣කබල් කෝච්චියකට අහුවෙච්ච සයිමන් ගානට මම දැන් වැටී ඇත. තොර තෝන්චියක් නැති කියවිල්ල ඔහේ අහගෙන ඉන්නට වීම තරම් හිසරදයක් තවත් නැත.
“අනික උඹ හොදටම දන්නවා ඒකී කවුද කියන්න. මට හිතුනා උඹ ඒ දවස් වල සතියකට තුන් හතර සැරයක් ස්පා එකේ ගාටද්දී මොකක් හරි අටමගලයක් දාගෙන ඇති කියලා. මේ අහපන් තාම උඹට වෙලාව තියනවා.”
සතුටට නිර්වචන හොයපු දවස් අපරිමිතය. අනන්තය. එකී සතුට දින දෙකක් තුනක් එක දිගට භුක්ති වින්ද දිනයක් පසුගිය කාල වකවානුව තුල නම් මට මතකම නැත.
ජීවිතය මට ලබාදුන් දේට වඩා දශමයක් හෝ වැඩියෙන් මගෙන් ලබා ගෙන ඇත. ඇත්තය. මම දැන් ඇවිද යන බව සත්යකි. එකී හීන දැක්ක ෆැන්ටසිය තුල ආදරය නම් භූමිකාව අමුතුම අයුරකට ගත සිත කුල්මත් කර විචිත්රවත් පරිචයකට අඩිතාලම දමා ගොඩනංවන බව පසක් වී ඇත.
ආදරය වූ කලී අනෝන්ය අවබෝධය මත පවත්නා විශ්වාසයම වන්නේය. ඇගේ අතැගිලි මත සිරවන අත්වල පහසට මම ලොබ බදිමි. ඇගේ මුවින් සංසිදවන විස්කි උගුරට මම ආශා කරමි. එ හැමදේටම වඩා ඇගේ අතින් බත් කන්නටත් ඒ ඇගිලි වල රහ බැලීම තරම් සුන්දරත්වයක් මා අත්විද නැත. යළිත් මම ඉපදුනායැයි හැගීමක් මට දැනෙන්නට පටන් ගෙන ඇත.
“මචං පිස්සු නටන්න එපා”
සජියාගේ රෙකෝඩින් එක වෙනදා මෙන්මය. එකම දේ නැවත නැවත කියන්නට පටන් ගෙන අැත.
සියල්ල සාවධානව අසා සිටි මට යන්නට උවමනා විය.
“මචං සජියා අපි නෙක්ස්ට් වීක් රට යනවා. අපි ලංකාවේ ඉන්නේ දවස් පහයි. උඹ නොදන්න කතා ගොඩාක් තියනවා. ඒව මෙහෙම කියන්න බෑ. අපි කැනඩා යනවා මචං. අංජුගේ අම්මා එහේ ඉන්නේ. උඹ වෙඩින් එකට වරෙන්.”
සජියාගේ අත මගේ අත මත තබා තදින් මිරිකන්නට විය. කියන්නට දහසකුත් ඇති ඒ මිරිකීමත් සමගම “මචං සමාවෙයන් මේ ටිකේ උඹව මටත් මග හැරැණා. ලයිෆ් එක බිසි වෙලා ගෙදරයි ඔෆිස් එකයි එක්ක” මේ වචන හීන් කෙදිරියක් සේ මගේ කන් අතර ඇසෙන්නට පටන් ගෙන ඇත.
මගේ සුපුරැදු හිනාවකින් ඒ හැමදේටම “හාකෝ” කියන්නාක් මෙන් මම පුටුව පස්සට කර නැගිටින්නට උත්සහ කරන්නට විය. මෙතෙක් වේලා අත්දෙක අතර රදවා ගෙන සිටි හතරට පහට නමා තිබූ සුදු සැරයටිය දිග අරින්නට හදත්ම එකී සීතල අත්ලෙහි පහස මගේ සුරත හා බාහුව ස්පර්ශ කරමින් වෙලෙන්නට විය.
“අපි යං ගගන”
අැය මාත් සමඟම අඩිය තියන්නට පටන් ගෙන ඇත.

උපුටා ගැනීම:   මා නොවන මම

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!