ඉස්සර හරිම ප්‍රසිද්ධ කතාවක් තිබුණා ” මහන්සි වෙන තරමට හොද ප්‍රතිඵලයක් ගන්න පුලුවන් ” කියලා. ඒ වුනාට මම කැමතියි ඒ කතාව මෙන්න මේ විදියට අප්ඩේට් කරන්න. ” ඔබ ඵලදායී වෙන තරමට ඉහල ප්‍රතිඵලයක් ගන්න පුලුවන් ” කියලා.
උසස් පෙල / සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දෙන්න ඉන්න ඔයාලාට තියෙන කාලය සීමිතයි.ඇත්තෙන්ම ඔයාලා මේ මුහුණ දෙන්නෙ තරගයකට වුනත් අනෙකා ඔයාව පාස් කරයි කියලා අධික බියකින් ආතතියකින් හරිම මහන්සියකින් දුවනවා වෙනුවට තමන්ගෙ උපරිමය හරිම ඵලදායී සහ ස්මාර්ට් විදියට සිදු කරන්න හිතට ගන්න.
මම අද කියලා දෙනවා අඩු මහන්සියකින් වැඩි කොටසක් කරගෙන අපි කරන හැම දෙයක්ම ඵලදායී කරගන්නෙ කොහොමද කියලා.

පාඩම් කිරීම ඵලදායී කරගන්නෙ කොහොමද ?
අපි පාඩම් කරන්නෙ විෂය කරුණු සහ දැනුම මතක තියාගන්න සහ හොදට ඔලුවට දාගන්නයි. එකපාරක් කියවන දෙයක් අපිට හැමදාම මතක තියෙන්නෙ නැහැ.පාඩම් කිරීම කිසිසේත්ම කටපාඩම් නොකර අවබෝධ කරගන්නයි ඕන.ඉතාමත් ඵලදායී විදියට පාඩම් කරන පියවර කිහිපයක් මම කියලා දෙන්නම්.
- පාඩමක ඡේදයක් කියවගෙන යන්න. මේ ඡේදයෙ වැදගත් කියලා හිතෙන කරුණකින් ප්‍රශ්නයක් හදලා ඉදිරියෙන් පැන්සලකින් ලියාගන්න.
- මේ පාඩම කියවගෙන ඉවරවෙලා ඔයා ඡේද ඉස්සරහින් ලියාගත්ත ප්‍රශ්න ටික බලන්න.ඒවට උත්තර හිතෙන් හිතන්න. ඔයාට ටිකක් අමාරුයි කියලා හිතෙන / වැදගත් දේවල් පාඩමේ නම දාලා වෙනම කෙටි සටහන් කරගන්න. මේ වැදගත් කරුණු තමන්ටම ඇහෙන්න කියවන්න සහ වෙනත් කෙනෙක්ට කියලා දෙන විදියට මතක් කරගන්න.
මේ විදියට පාඩම් කිරීමෙන් ඔයාට දේවල් මතක තියාගැනීමේ 90%ක විතර හැකියාවක් තියනවා.ඒකට හේතුවෙන්නෙ ඔයාගෙ ඇස ,කන කියන ඉන්ද්‍රියයන් සමග සම්පූර්ණ අවධානයක් යොමුවීමයි.
අමතර පන්ති වලදී සහ ඉස්කෝලෙදී ඵලදායී වෙන්නෙ කොහොමද ?

අංක එක තමයි ඉහල අවධානය. කියලා දෙන වෙලාවට වෙන වැඩ නොකර හොදටම අහගෙන ඉන්න. ඔයාට නොතේරුන දේවල් වෙනම පොඩි නෝට්බුක් එකක ලියාගන්න.ඒ දේවල් සර්ගෙන්ම , එහෙමත් නැත්තම් යාලුවෙක්ගෙන් අහගන්න. ඉස්සෙල්ලා අපි පාඩම් කරන්න යොදාගත්ත ක්‍රමය දැනුත් භාවිතයට ගන්න. නෝට්ස් ලියාගන්න දෙනකොට නොතේරෙන / වැදගත් දේවල් ඉදිරියෙන් කෙටි ප්‍රශ්නයක් හදලා පැන්සලකින් ලියාගන්න.
ඔයාට ගෙදර ගිහින් කරන්න තියෙන්නෙ දවස තුල නෝට්ස් ඉදිරියෙන් ලියාගත්ත ප්‍රශ්න වලට උත්තර හිතෙන් ආවර්ජනය කිරීම සහ ලිවීම. මේ ක්‍රමයෙන් කාලය බොහෝසෙයින් ඉතුරු වෙනවා වගේම අනවශ්‍ය දේවල් වලින් ඔලුව පිරෙන්නෙ නැතිව වැදගත් දේවල් හොදට ඔලුවට ගන්න පුලුවන්.
simple විදියට වැදගත් කරුණු මතක තියාගන්නෙ කොහොමද ?

අපෙ මොලය හොදින්ම ක්‍රියාත්මක වෙන්නෙ වර්ණවත් දේවල් වලට සහ රූප වගෙ පහසුවෙන් මතක තියෙන දේවල් වලටයි. ඒ වගේම විහිලු සහගත දේවල් හරිම හොදට මතක තියෙනවා.
- ඔයා නෝට්ස් ලියනකොට සංඛේත භාවිතා කරන්න.ඒකෙන් ඔයාගෙ ලිවීම වේගවත් කරගන්න පුලුවන්.
- වැදගත් කරුණු ඉස්මතු කරගන්න හයිලයිට්ස් භාවිතා කරන්න.පාට වලට පුලුවන් ඔයාගෙ මොලය උද්‍යෝගිමත් කරන්න.
- බුක්ෂොප්ස් වලින් ගන්න තියනවා පාට පාට ස්ටිකි නෝට්ස් කියලා පොඩි කොල වර්ගයක්.හරිම සුලු ගානකට ගන්න පුලුවන්.ඔයාට මතක තියාගන්න ඕන වැදගත් කරුණු, සූත්‍ර, කවි, සමීකරණ, නියමයන් මේ කොල වල ලියලා බිත්තියෙ අලවගන්න. ඔයාට කරන්න තියෙන්නෙ කාමරයට එන යන සැරේට හෝ දකින වෙලාවට බලමින් දේවල් ආවර්ජනය කරගන්න. මේ ක්‍රමය නම් ඉතාමත් ඵලදායී වෙන්නෙ.ඔයා කාමරය තුල වෙන වැඩක් කරමින් ඉන්න ගමන් වුනත් ආවර්ජනය කරන්න පුලුවන් වෙන නිසයි.
- ඊලගට mind maps ,වගු, ගැලීම් සටහන් ආදිය භාවිතා කරන්න. මේ අතරිනුත් හොදම ක්‍රමයක් විදියට මම දකින්නෙ mind maps ක්‍රමයයි. මේ mind map එකක් පාට භාව්තා කරමින්, සංඛේත භාවිතා කරමින් සම්පූර්ණ පාඩමක් වෙනුවෙන්ම සකස් කරන්න පුලුවන්. මේ ක්‍රමය ගොඩාක් විශේෂ වෙන්නෙ මොලයෙ නියුරෝන වල හැඩයක් ගන්නා නිසා කියලා මම අහලා තියනවා. ඔයාට mind maps හදන විදිය ගැන යූටියුබ් වීඩියෝස් ඔස්සෙ අධ්‍යනය කරන්න පුලුවන්.

ස්මාර්ට් සහ ඵලදායී වෙන්න.සුපිරිම ප්‍රතිඵලයක් ගන්න.ඔබට ජය.