මැසේජ් එකක් එන සද්දයක් ඇහුනම එක පාරටම තාමත් ඔලුවට එන නමක් තියෙනවා. ඒ එතනින්මදෝ කියන දෙගිඩියාවෙන් තමයි ෆෝන් එක ගන්නේ. ඒක එහෙම නෙමෙයි කියල දැක්කම ඔලුවට එන හැඟීම අදටත් වෙනස් වෙලා නෑ. ඒක පරාජිත හැඟීමක්ද, එහෙමත් නැත්තන් දුක්ඛිත හැඟීමක්ද, එහෙමත් නැත්තන් බලාපොරොත්තු කඩවීමේ හැඟීමක්ද කියල තීරණය කරන එක අමාරු වැඩක්.
හිටි හැටියෙම බස් හෝල්ට් එකේ ඒ වගේ ගවුමක්, ටොප් එකක් දැක්කම ඉබේම වගේ බ්රේක් පෑගෙන එක, සැකේට වගේ ආයෙත් හැරිල ගිහින් බලන එක, ඒක මොන වගේ හැඟීමක්ද කියන එකත් තාමත් තෝරගන්න අමාරු දෙයක්.
සමහර ගම් පහු කරගෙන ඩ්රයිව් කරද්දි පාරේ හම්බවෙන හැම ගෑනු මූණකටම එබිලා ඒ අස්සෙ උඹ ඉන්නවද හොයන එකත් මට තාමත් තේරුම් ගන්න අමාරු හැඟීමක්. හදිසියේවත් සමාන මූණක් දැක්කම ඒ උඹමයි, ටිකක් විතර වෙනස් වෙලානේ කියල හිත හදාගන්න එකත් මොන වගේ හැඟීමක්ද කියල තාම තේරුම්ගන්න බෑ.
ඒ විතරක් නම් බැරියෑ. සේරම ඉවර කරල ඇස් දෙක පියාගන්න ටිකටත් ඔලුවට එන්නෙම ඒකමයිනෙ. ආයෙත් ෆෝන් එක චාර්ජර් එකෙන් ගලවල අන්ලොක් කරල බලන්නේ උඹ එතනවත් තාම නොගිහින් ඉන්නව නේද බලන්න වගේ.
ඒ සේරම හරිම බොලඳ වැඩුනු පිරිමියෙක්ට නොගැලපෙනව කියල මිනිස්සු කියන වැඩ. එහෙමයි කියල ඒවා බලෙන් කරනවද, නෑනේ. ඉබේම වෙන දේකට, ඉබේම එන හැඟීමකට මම කොහොම වැටවල් බඳින්නද.?
ඒත් දවසේ අන්තිමට නින්ද යන්න ඔන්න මෙන්න තියල හුස්මක් අරන් පහලට දාලා මමම හිතනවා මේ දේවල් සේරම රියලිටියක නැති ෆැන්ටසි හීන නේද කියලත්.
එහෙම හිතුනම මට හිනාවක් යනවා.
“බොලඳ මිනිහෙක් “
මම මටම කියාගෙන මෙහෙම හිතනව.
” අඩුම තරමෙ අන්තිමට අපි දෙන්නම එකම අහසක් යටවත් ඉන්නවනේ.”
උපුටා ගැනීම: – Janith Wimukthike –