අග්නි පුත්‍ර… (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
දවසක් මට ආව නිකන් ආතල් අදහසක්… එක එක ජාති විදිහට රතිඥ්ඥා පත්තු කරල අත්හදා බලල තියන නිසා මේකත් ඒ වගේ කරපු අත්හදා බැලීමක්..
අපේ ගෙට අල්ලපු වත්ත පාලු ඉඩම් කෑල්ලක් බව හූනියම කතාවෙන් හැමෝම දන්නව ඇතිනෙ. ඔය ඉඩමෙ තිබ්බා කුඹුරුදළු කියල වැල් වගයක්… මතකද අර බිම අතුල්ලල අතුල්ලල කාගෙ හරි ඇගේ තිබ්බම පිච්චිලා යන හයිය ඇටයක් තියෙන්නෙ. ආන් ඒ වැල්.. සමහරු ඔය වැඩේට ගත්තෙ රඹර් ඇටේ ඒත් හරිම ඇටේ කුඹුරුඇටේ රත්වෙනව ගිනිගන්න… ඉතිං ඔය වැල් කාලෙකට මැරිලා වගේ කොළ හැලිල අකුල විතරක් ඉතුරු වෙනවා.. රිංගන්න හිතන්නවත් බැරි තරම් පුදුම කටු තොගයක් තියෙන්නෙ ඒවෑ..
ඔය වැල වැටමාර කියල අපි කියන ලංකාව වටේම ගිනිසීරියා,ඇල්බීසියා, පෝරගස්,ලාඩප්පා, වගේ එක එක නම් කියන ගහක් වහගෙන තමා පැතිරිලා තිබ්බෙ.. කොල හැලිලා කටු පඳුර විතරක් වාහනේක වයර් හනස්ස වගේ ඉතුරු වෙලා තිබ්බා.. මම දවසක් අර තුන්හුලස් බට්ටා කියන රතිඥ්ඥා කරලක් ගලවල බැලුවා ජොනීබට්ටා ඩිමෝබට්ටා නෙමෙයි බට්ටා රතිඥ්ඥා…. ඒ කාලෙ හැටියට රුපියල් 100ක් එකක්.. මතකනෙ තාත්තට කඩයක් තිබ්බ නිසා මට පින්ගොනා පුපුරන ද්රව්ය බලපත්රයක් තිබ්බා.. ඉතිං මට බට්ටෙක් ගන්නෙක මහ දෙයක් නෙමෙයි…
ඕක ඇතුලෙ තිබ්බෙ වෙඩි නූලයි වෙඩිබෙහෙත් ටිකකුයි විතරයි තනිකරම කොල ගොඩ.. “යකෝ ⁣කොල ටිකක් ඔතලා මෙහෙමනම් තව එතුවනම් තව හොදට සද්දෙ එයි ” කියල මට හිතුනා. මාත් ඔය ජාතියෙ තුනක් අරන් එකපිට තියලා කොල ඔතලා ඔතලා ඔතලා බයින්ඩින් ගම් වලින් අලවලා මාළුපාන් ගෙඩියක් වගේ හැඩේට පත සයිස් තනි බට්ටෙක් හැදුවා..
“දැන් මේක පත්තු කරන්නෙ කොහෙද..?” හිත හිතා ඉද්දි මට කල්පනාවට ආව අර කටු පදුර.. ලොකුවට පිපිරුවත් අව්ලක් නෑනෙ ගහ උඩ නිසා අනතුරකුත් නැති වෙන්න ඔය බට්ට පත්තු කරල ගහ උඩ කටු පඳුරට විසික් කරලා බිම දිගා උනා..
දිඩ්ඩී…න්න්න්න්……..ගාල සද්දයක් ආවා. තුනක් එකට තිබ්බට අනිත් දෙක වෙන වෙනම විසික් වෙලා පඳුරෙම වෙන තැන් දෙකක දිඩිං..දිඩි..න්න්න්.. ගාල පිපිරුවා.. තුනක් එකතු කලත් එකට පුපුරන්නෑ වෙන වෙනම සද්දෙ එන්නෙ කියලා මං දැනගත්තා… පරීක්ෂණ අසාර්ථකයි… ඒත් මට අළුත් අදහසක් ගන්න තරම් ප්රථිපලයක් ලැබුනා.. මාත් ගෙට ගියා..
අපේ ගෙවල් ගාව ගෙවල් ලග ලග තිබ්බ නිසා ගොඩක් අය කඩේට අහල පහලට ගියේ සෙරෙප්පු දෙකක්වත් නොදා..ගොඩක් අය උඩට ටීෂර්ට් එකක්වත් නැතුව තමා ඉන්නෙ..ඔය පඳුර තිබ්බෙ පාර අයිනෙ මම ටිකකින් ඇවිත් බලද්දි මෙන්න බොලේ පාරයන මිනිස්සු කතරගම දේවාලෙ ගිනි පාගන උත්සවේ වගේ උඩ පැන පැන “අම්මටඃ @%%*” ගගා පාරෙ යනවා…
බලද්දි වැඩේ වෙලා තියෙන්නෙ මම දාපු බට්ට පුපුරලා කටු පඳුරෙ වැල් කෑලි පොඩි පොඩියට කැඩිල පාරෙ හැමතැනම විසිවෙලා පාරෙ යන උන්ගෙ කකුල් වල ඇනෙනවා… කොහොම හරි දවස් දෙකක් විතර යද්දි නිකන් අළුත් චාරිත්රයක් වගේ ඒ කටු සේරම ඉවරෙනකම් සෙරෙප්පු නැතුව පාරෙ ගිය උන් ගියේ උඩ පැන පැන සුපර් මාරියෝ වගේ….
කන නෑසුනා මෙන් සිටින විට හු@@පුත්ර ලෙසත් මළ පැන්න විට @$සිගේ පුත්ර ලෙසත් විටෙක සුනඛදේනුවකගේ පුතා ලෙසත් අමතන සමාජයේ ගිනිකෙලියට ගිය ගින්නෙන් උපන් පුතා අග්නිපුත්ර වේ…
සමහරුන් මෙන් ලෝක පචකියා රට ගිනිතියන්නේ නැතත් ගිනිතැබූ අවස්ථාවක් මටත් තිබේ…
ගමේ හැඩරුව විස්තර පෙර කතාවේ දැක්වූ බැවින් එම චිත්තරූපරාමුත් රැගෙන මෙයට සහභාගී වන්න.. පට්ටිවිල ක්රීඩාපිටිය දැනට පවතින භූමිය එකල වම්පස ඇළ මාර්ගයක්ද මැද හරිය සමතලා බිමක් ලෙසත් පිටුපසින් විශාල වලකින්ද ඉදිරිපස විශාල බෑවුම් දෙකකින්ද වශයෙන් ක්රීඩා පිට්ටනියක් නොව කටුකුරන්ද මෝටර්ක්රොස් ධාවනපථය මෙන් ස්වරූපයක් දිස්විය..
පිට්ටනිය පිටුපස මහවත්ත නම් ගමේම කොටසක් වූ අතර එම ප්රදේශයට විදුලිය රැගෙන යන විශාල විදුලිකණු දෙකක්ද පිට්ටනියේ මැදට වන්නටම විය.. රතු පැහැති තීන්ත ආලේප කොට තිබූ ඒවා දැන් මෙන් හතරැස් කොන්ක්රීට් කනු නොව ඉංග්රීසි අධිරාජ්ය යටත්විජිත සමයේ ⁣පමණ ඉතිහාසයේදී භාවිතයට ගත් වානේමිශ්ර රව්ම් හැඩැති දැවැන්ත තනි යකඩ කණුය. මෑතකදී එවැනි කණු ලංකාවේ කිසිදු පලාතක මා දැක නැත… දැන් පප්පා වයස පසුකරමින් සිටින මෙය කියවන්නන්ට ඒවායේ අතීත මතක සැමරුම් ඇතුවාට සැක නැත…වේගවත් එල්ලෙ ප්රහාරයක් එල්ලවූ විට එම කනුවල වැදී පඃ පොඃ ශබ්ද නිකුත් කරමින් පන්දුව වනගත වී පැය ගනන් සොයන්නට වූ අවස්ථා වලටද මුහුණ දීමට සිදුවේ.. විටෙක පන්දුව පැලීයයි..
කෙසේ නමුත් කාලයකට වොලිබෝල් හා කාලයකට පාපන්දුත් කාලයකට ක්රිකටුත් වශයෙන් සිදුවන ක්රීඩා අතර වැඩි කාලයක් යොදාගනු ලබන්නේ එල්ලේ ක්රීඩාව සිදුකිරිමටය.. එයට හේතුව සිංහල හිංදු අළුත් අව්රුදු කාලයට පවත්වනු ලබන විවාහක අවිවාහක එල්ලේ මහා ගැටුම වසර ගනනක ඉතිහාසයේ සිට පුන්යකාලයේදී පැවැත්වෙන බැවින් එයට පෙර පුහුණුවක් ලබා ගැනීමේ අටියෙනි… පට්ටිවිල එක්සත් එල්ලේ කන්ඩායම ලංකාවේ බොහෝ ප්රදේශවල තරඟාවලි වලට සහභාගී වී ජයග්රහණයන්ද අත්කර ගනී..
එල්ලේ ක්රීඩා කිරීමට වැඩි ඉඩ ප්රමාණයක් අවශ්ය වන අතර අහස්කූරු මෙන් උඩුගුවන්ගත ප්රහාර එල්ල වනවිට බොහෝ අවස්ථාවලදී පංදුව පසෙක වූ ඇලට වැටීම මහා කරදරයක් නොවේ… නමුත් තිබෙන්නේ එක බෝලයක් හෝ දෙක තුනක් බැවින් ඒවා සියල්ල අස්ථාන ගතවූ විට ක්රීඩාවට එතැනින්ම කනකොකා හඬලා සියල්ල පසෙකලා සෑමදෙනාම එකතුවී බෝලය සෙවීමේ නිරත වේ.. නමුත් පන්දුව හමු නොවූ හොත් ක්රීඩාව එතනින්ම අවසාන වේ….
මෙම ක්රීඩා පිටියේ එක් අන්තයක කෙලවර වූ මැරීගිය බටදොඹ නම් සුවිශාල ගසක් වේ.. ගස මැරී ඇතත් සවිශක්තිය හේතුවෙන් බිමට කඩා නොවැටී නොසෙල්වී අහස උසට තිබෙන අතර කොරසවැල්, කඹුරු වැල් වැනි කටු වැල් වර්ග වලින් වැසී අැති නිසා ලෝක වෙළෙද මධ්යස්ථාන ගොඩනැගිල්ල මෙන් තට්ටු ගොඩනැගිල්ලක සිරිගනී.. පාරට ආසන්නයේ ඇති මෙම ගස ක්රීඩාවට තිබෙන ලොකුම බාධාව විය.. කටුසහිත වැල් නිසා කුරුල්ලන් කූඩු සැදීමට පවා නොපැමිනෙන සත්ව ගහණයෙන් තොර මේ ගස හේතුවෙන් එල්ලෙ ක්රීඩා කරන විට බෝලය උඩින් ගොස් එම වැල් අතර ඉහල සිරවූ විට ක්රීඩාව එතැනින් හබඃ වේ…
සියල්ලෝම එක්වී අඹගසට පොලු ගසන්නා මෙන් ගල්මුල් වලින් පහර දී වැල් සොලවා එකම සංග්රාමයක් සිදුකොට ඇතැම් අවස්ථාවල බෝලය ලබාගත් නමුත් වැඩිපුර සිදුවන්නේ සෙල්ලම නවත්වා පිට්ටනියේ එක් එක් කෙලවර වල කල්ලි කල්ලි සෑදී කයිය ගසමින් සිට අඳුර වැටෙන විට ගෙවල් වලට යෑමයි…. මෙයට විසදුමක් මා නිතර දෙවේලේ කල්පනා කරමින් සිටියත් කූත්තාන්ඩි අදහසක් සති කීපයක්ම යනතෙක් නොලැබිනි…
සුමානයකට වරක් ක්රීඩා කරන සියල්ලෝ එක්වී මන්නාපිහි, කැති රැගෙන මෙම මහා වෘක්ෂයවටා ඇති කටුවැල් අතට හසුවන ඉහලින් කපා හෙලා එළිපෙහෙලි කලවිට වැල් සියල්ලම දින දෙක තුනකින් මැරී වියලී ගොස් වියලි මහා බටදොඹගස පමණක් ඇටසැකිල්ලක් ලෙස දිස්වේ.. නමුත් එසේ පවතින්නේ දින කීපයක් පමණි. ඉතාම වේගයෙන් වැවෙන මෙම වැල් නැවතත් අර ගස වසා වියනක් සාදයි… එවිට නැවතත් ඉක්මනින් ක්රීඩාවට තිත තැබේ…
පොළ ගිනිතබා ලත් අත්දැකීම් මත මෙම ගස යටින් ගොස් අහස්කූරු කීපයක් යැවූ නමුත් ගස ගිනිගැනීමට එය ප්රමාණවත් නොවීය.. අනෙක් අතට අහස්කූරු ඩෝං ගා පුපුරා යෑම නිසා අර කලින් බට්ටො පත්තු කර සිදුවුනාක් මෙන් ගස මුදුනේ කටුවැල් කැඩී පිට්ටනියට වැටී පන්දු රකින අපේම කකුලේ ඇනෙන විට ගස ආසන්නයේ පන්දු රකින්නන් මා සිදුකල ක්රියාවක් බව නොදැන කරපු එකාගේ මෑණියන්ගේ ගුන ගී ගයන්නට පටන් ගනී..
එබැවින් වඩා සාර්ථක අතුරු ආබාධ රහිත ක්රමයක් කල්පනා කරමින් සිටින විට…
මහදැනමුත්තාගේ නුවන පහල විය…
සියල්ලෝ එකතු වී වැල්වල මුල් කපා දැමූ පසු ගස වසා සිටි වැල් වියලෙන තෙක් ඉවසීමෙන් දින කීපයක් බලා හිදීමෙන් අනතුරුව රාත්රී හතට පමණ ගොම්මන් වැටුන ලස්සන හෝරාවක ක්රියාන්විතයට පිටත් විය… කුඩා ග්රොසරි බෑග් කිහිපයකට භූමිතෙල් පුරවා ගැටගසා සාක්කුවේ දමා භූමිතෙල් බෝම්බ කීපයක් සාදා ගත්තේ එකල පෙට්රල් බෝම්බ ගැන දැනුමක් නොමැති නිසාය.. (මා දෙස ත්රස්තවාදියෙකු ලෙස නොබලන්න..)
ගිනිපෙට්ටියත් රැගෙන කැලෑපාරෙන් පිට්ටනිය වටෙන් අදාල ගසවෙත ලගාවී වැර යොදා හැකි තරම් උසට භූමිතෙල් පිරවූ පැකට් කීපය තුන් දිශාවකින් දමා ගසා ආසන්නම ස්ථානයට ගිනිකූරක් දල්වා කැලෑ බිඳගෙන දුවගොස් පාරට ගොඩවී කව්රුන් හෝ දකීවියැයි සිතා මහන්සියට හති ⁣දැමීම හෝ නොකර හිමීන් සැරේ ලතාවට ලැසි ගමනින් නිවසට ලගාවිය…
විනාඩි දහයකින් පමණ තාත්තාගේ කඩයේ බඩුගන්නට පැමිණි අයවළුන්ගේ කතා බහෙන් මාගේ ක්රියාන්විතය සාර්ථක වී ඇති බව ඇසෙන්නට විය.. ”පොඩ්ඩයියෙ පිට්ටනිය ගාව බටදොඹ ගහ ගිනි අරන්..” කියනවාත් සමඟ මාත් නැති කළබලයක් පෙන්වා කඩිමුඩියේ පිට්ටනිය දෙසට දිවවිත් බැලූවිට…
දොඹ ගහේ ගිනි පුපුරූ
නැගෙන විට මමනෑලූ
කෙලවෙලා මගෙ මිතුරූ
ඇවිලිලා ගහයාලූ…..
බොහෝ කාලයකට පෙර මියැදී වේලී කරකුට්ටම් වී ගොස්තිබූ මහා බටදොඹ ගසත් වියලීගිය වැල් ජාලාවත් වසා ගිනිජාලාවකින් සිව් දෙසම ආලෝකමත් වී තිබුනි.. සපුගස්කන්ද තෙල්පිරිපහදු ගිනිසිළුවට අමතරව අහසේ වැඩිම උසකින් මා විසින් දකින ලද ගිනිසිළුව එයයි. අහල පහල ගෙයක් දොරක් නැති නිසාත්, පිට්ටනිය දෙසට ආනතව ඇලවී තිබූ නිසාත්, ගහේ ඉහලින් ඇවිලීම සිදුවන නිසා ගින්න නිවීමට අහස් යානා නැති අපේ ගමේ වැසියෝ ගින්නට හේතුවක් හෝ නොදැන අන්දමන්ද වී ගස දෙස බලා සිටින විට මාද කට ඇරගෙන වෙසක් තොරණක් නරඹන සැදැහැති උපාසකයෙක් මෙන් අදාල ජවනිකාව නරඹන ලදි…
විනාඩි විස්සක් තිහක් එක පීරුවට ඇවිලුන ගහ හදිසියේම මගේ සැලැස්මට පිටින් ගොස් යටින් කඩාගෙන “ඤරා……….ස්….පටපටපටපට…..ඩොඃ… ශබ්දයක් නගමින් පිටිය මැද වූ අර යකඩ ලයිට් කණු දෙකකුත් පෙරලාගෙන පිට්ටනියටම කඩාපාත්වූයේ ගමේ ඉහලින් වූ මහවත්ත නම් කොටසට විදුලියත් විසන්ධි කරමින්ය… වැඩේ ඕනාවටත් වඩා ගොඩ දමමින් ධාරානිපාත වර්ශාවක් ඇද හැලීම නිසා ඉබේම ගින්නත් නිවී යන්නට ඇත එතෙක් ⁣රැදී නොසිටි මා
“අැවිලුනු ගිනිදැල් නිවි නිවි යා………….ද්දී…” එතැනින් හිමීට මාරු වූ නිසා එම කොටස ගැන විස්තර විචාරයක් දීමට මා අපොහොසත්ය…
පසුදින උදෑසන එම ස්ථානයට මා යන විට බාගෙට ගිනිගෙන කඩාවැටුන බටදොඹගසේ ගිනිකූරක් හෝ ප්රමාණයක් ඉතිරි නොකොට භාගෙට පිලිස්සී කඩාවැටුන ගස ප්රදේශවාසීන් විසින් ඉවුම් පිහුම් කටයුතු සදහා දර වශයෙන් ගෙනගොස් තිබෙන බව අසා දැනගත්තේ ලයිට් කණු සිටුවීමට පැමිණ සිටි විදුලිබල මන්ඩලයේ සේවකයෙක් මාර්ගයෙනි.. ඒ තරම් අප ගමේ මිනිසුන් කාර්යක්ෂම සහ අරපිරිමැසුම් දායක පුරවැසියෝ මෙන්ම වීකුරුල්ලෝ මෙන් එකමුතු පිරිසකි.. විදුලිබල මන්ඩලයේ සේවකයන් අදාල පැරණි යකඩ කනු ගලවා ඒවා වෙනුවට කොන්ක්රීට් කණු පිටිය මැදින් නොව වැඩිපුර කනුවක් යොදා පාරදිගේ කාටවත් කරදරයක් නැතිව යන ලෙස සවිකරන ලදි…
ඒ අනුව බැලූවිට වසර දහයකටත් වැඩි කාලයක් විශාල බාධාවක්ව පැවති බටදොඹ ගහේ අකුලත් හරියටම පිටිය මැදින් රැහැන් රැගෙන ගිය කණු දෙකත් යන කාරණා දෙකම එකම ක්රියාන්විතයකින් නිරවුල් කර දීමට මා සමත්විය…
මෙය මා විසින් මැනවින් රැකගත් රහසක් වන අතර මේ දක්වා සිදුවීම දැන සිටියේ ගමෙහිද විස්සකට අඩු සංඛ්යාවකි…
මේ වන විට ශරීර සුවතා මංතීරුවක්, හයිකරන ලද මුල් කාලයේදී පමණක් ක්රියාත්මක වූ රාත්රියේදී දැල්වෙන හිරු එලියෙන් බලශක්තිය ලබාගන්නා විදුලි පහන් රාශියක් සහ වටේටම බද්ධ අඹගස් සිටවූ ඉතාම උසස් තත්වයේ ක්රීඩා පිටියක් ගමට ලැබී තිබෙන අතර මට අැති විශාලම ගැටලුව නම් එම ක්රීඩා පිටියට හරකුන් එළුවන් වැනි ශාක භක්ෂක සතුන් ආහාරයට නොගන්නා විදේශීය තණකොල සිටුවීමට අදාල ඉදිකිරීම් කල සමාගම තීරණය කලේ මක් නිසාද කියාය…
“එහෙම රට තණකොළ හිටවන්න උන් හිතුවද දන්නෑ අපේ ගමේ ඉන්න එවුන් හරක් කියලා..?”
ඔබ සිතන්නේ කුමක්ද..?
හනුමා වන්නම 2 මෙසේ නිමාවිය…
“ගිනි ඇවිලුවා මහ ගහකට පිට්ටනියේ…”
උපුටා ගැනීම :  Daham Kalyana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!