දුම්රිය කාර්ය සහයක අහමඩ් මාත් සමඟ හුනුපිටිය දුම්රිය ස්ථානයේ වසර දෙක තුනක් සේවය කලා. මා මෙන්ම අහමඩ්ද දුම්රිය ස්ථානය තුල තිබූ කිසිඳු කෝප්පයක් පිඟානක් භාවිතා නොකලේ හුරුල්ලෙ මහතාගේ හුරු පුරුදු හොඳින් දන්නා නිසාවෙනි.
මුස්ලිම් ජාතිකයන්ට ඇති හැකියාව පරිදි අහමඩ්ද කසාද කිහිපයක් කරගෙන සිටින බවත් එක් බිරිඳක් දකුණු ඉන්දියාවේ සිටින බවත් අහමඩ් මා සමඟ කියා තිබුණා. තමන්ට මොනා හරි ගැටළුවක් වූ විට මගේ ළඟට ඇවිත් “විස්සුන්දර මහත්තයා. විස්සුන්දර මහත්තයා “යනුවෙන් වාඛ්යයෙන් වාඛ්යයට කියමින් කුටු කුටු ගෑම අහමඩ්ගේ පුරුද්දකි.
මා දිස්ත්රික් ප්රවාහන පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීම් ලද පසු මරදානට මාරුවී ගිය අතර පසු කලක අහමඩ්ද හලාවත දුම්රිය ස්ථානයට ස්ථාන මාරුවක් ලබා ගොස් තිබුණි.
දිනක් මම මරදාන දිස්ත්රික් ප්රවාහන පරීක්ෂක කාර්යාලයේ සේවය කරමින් සිටින විට අහමඩ් තකහනියේ මා සොයා පැමිණියේය. ආ ගිය තොරතුරු කතා කිරීමන් පසු අහමඩ් ආපු කාරණය ඉතා දුක්මුසුව කාර්යාලයේ සිටින කාටත් නොඇසෙන සේ මා හට පැවසුවේ මාගේ අනුගම්පාව ලබා ගැනීමේ දැඩි උවමනාවෙන් බව පැහැදිලි විය.
“විස්සුන්දර මහත්තයා, මම දැන් හලාවත වැඩනෙ. මට පොඩි ප්රශ්නයක් තියනවා”
“ඇයි අහමඩ් ?”
“මගේ පවුල ඉන්දියාවෙ ඉදන් එවපු ෆ්රිජ් එකක් තියනවා හලාවත රනින් බංගලාවෙ. මම එතන ටර්න් එකනෙ කලේ”
බැහැර ස්ථානයක සිට රාජකාරි කරමින් පැමිණෙන දුම්රිය රියදුරු සහ නියාමක මහතුන්ට නවාතැන් ගැනීම සඳහා තිබෙන නේවාසිකාගාරය හැදින්වුවේ ‘නවාතැන් බංගලාව’ (running bungalow ) ලෙසයි.
“ඉතින් අහමඩ් ෆ්රිජ් එකයි නෝනයි දෙන්නමද බංගලාවෙ තියා ගත්තෙ” මම සමච්චලේට ඇහුවා.
“අනේ නෑ මහත්තයා මම විතරයි හිටියෙ. නෝනා තාම ඉන්දියාවෙ. ඒක දොර තුනේ ෆිජ් එකක්. මෙහේ ගෙදරත් ෆ්රිජ් එකක් තියන නිසා. මම ඒ ෆ්රිජ් එක හලාවත බංගලාවෙ තියා ගත්තා.”
“ඉතිං”
“දැන් සති දෙකකට කලින් පොඩි ප්රශ්නයක් නිසා එස්එම් මහත්තයා මාව බංගලාවෙන් ස්ටේෂමට මාරු කලා.”
“ෆ්රිජ් එක බංගලාවෙන් අයින් කරන්න කිව්වද ?”
“ඒකනෙ මහත්තයා. බංගලාවට එන මහත්තුරු රෑට රස්නෙයි කියලා ෆ්රිජ් එකේ දොරවල් ඇරලා නිදා ගන්නවලු. බංගලාවෙ කරන්ට් බිල වැඩි උනොත් උඹ ගෙවපන් කියලා එස්එම් මහත්තයා මට බනිනවා”
“ඉතිං අහමඩ් ෆ්රිජ් එක දෙමටගොඩ ගෙදරට ගේන්නකො”
“ඒක කරන්න බෑනෙ සර් මෙහේ නෝනා ඒක ගෙදර ගේනවට නැමති නැහැ” අහමඩ් ඇඩුම් බරව කියනවා.
“දැන් මොකද කරන්නෙ?”
“ඒකනෙ සර් ඒක දොර තුනේ ලොකු ෆ්රිජ් එකක් ලොකු කරන්ට් බිලක් ආවොත් මට ලෙඩක් වැටෙයි නේද? මට මේකට මොනවා හරි කරල දෙන්න”
“පොඩ්ඩක් ඉන්නකො”
මම වහාම ඒ අවස්ථාවේ කාර්යාලයේ සගයන් සමඟ ක්ෂණිකව සාකච්ඡාවක් කර එකඟතාවය ගත්තෙමි.
“අහමඩ් හලාවත තියන එක කරදර නම් ගෙදරත් ගෙනියන්න බැරිනම් ෆ්රිජ් එක අපේ ඔෆිස් එකට ගේමුද?”
දොර තුනේ ෆ්රිජ් එකක් තියනවා කියන එක කාර්යාලයටත් ආඩම්බරයක් බව මෙනෙහි කරමින් මම යෝජනා කලා.
“කමක් නැහැ සර්. ඒක හොඳයි. නැත්නම් මට ලෙඩක් වැටෙයි එහේ තිබ්බොත්. මට ඔය ෆ්රිජ් එක දැන් ඕනත් නැහැ” මෙතෙක් වෙලා සිටි දුක්බර ස්වරූපයෙන් මිදී අහමඩ් උනන්දුවෙන් කියුවා.
ඉතින් ඒ ලද අනුමැතිය මත මම පසු දිනම හලාවත දුම්රිය ස්ථානයට දැනුම් දීමක් කර ෆ්රිජ් එක මරදානට ගෙන්වා ගත්තා. සද්ධන්ත භාණ්ඩයන් වූ එය අමාරුවෙන් බංගලාවේ සිට රැගෙනවිත් අමාරුවෙන් දුම්රියට පැටවූ බව හලාවතින් දැනුම් දුන්නා.
ෆ්රිජ් එක රැගත් දුම්රිය මරදානට එන විට මාත් එතනට ගොස් ඉතා ප්රවේශමෙන් දුම්රියෙන් බාගෙන එහි සිට මිනිසුන්හතර පස් දෙනෙකුගේ කර මතින් අමාරුවෙන් කාර්යාලයට ගෙන ආවා.
දොර තුනක් ඇති ලා කොළ පාට ෆ්රිජ් එක දැන් අපේ කාර්යාලයේ. කට්ටියටම හරි සතුටුයි. කාර්යාලයේ අල්මාරි කබඩ් මේස එහෙ මෙහෙ කරල අළුත් අමුත්තට විශේෂ තැනක් සූදානම් කර ගත්තා.
වරුවක්ම අරන් මේකෙ තිබුණු දූවිලි පිහදල හෝදල කට්ටියම අලුත් අමුත්තව පිළිගත්තා. එක පාර ඔන් කරන්න හොඳ නැති නිසා දවස් දෙකක් විතර තියලා ඔන් කලා.
ෆ්රිජ් එක වැඩ. ඉතින් අපේ අයත් දැන් එක එක කෑම ජාති ගෙනත් ෆ්රිජ් එකේ එක එන කොන් වෙන් කර ගෙන තමතමන් ගෙනා ඒවා අසුරා ගත්තා. දැන් ජාති.
එදා හවස මම අහමඩ්ට දුරකතන ඇමතුමක් දී ෆ්රිජ්එක අරන් ආව බවත් දැන් කාර්යාලයේ තිබෙන බවත් පැවසුවා.
“අනේ මහත්තයා ඒක ලොකු දෙයක් ඔෆිස් එකේ පරිස්සම් කියලා මම දන්නවා. ඕක ආපහු මට ඕන නැහැ. මහත්තයා තියා ගන්න” අහමඩ් ලෙන්ගතු හඩින් කියුවා.
දැන් මම දොර තුනේ ෆ්රිජ් එකක අයිතිකාරයෙක්. කාටද ආඩම්බර.
පහුවෙනිදා මම කාර්යාලයේ සේවය කරන විට හදිසියේම අහමඩ් මා සොයා පැමිණියා. මූණෙ හිනා කළඳක් නැහැ.
“ඇයි අහමඩ්”
“සර් මම වයිෆ් එක්ක ආවෙ. එයාට ෆ්රිජ් එක බලන්න ඕනලු”
“ආ අහමඩ් මෙහේ වයිෆ්ට ෆ්රිජ් එක ගැන කියුවද ?. කමක් නැහැ ඔය තියෙන්නෙ පෙන්නන්න.”
මගේ අවසරයෙන් කාර්යාලයෙන් බැහැරට ගිය අහමඩ් ස්වල්ප වේලාවකින් බිරිඳත් සමඟ නැවත ඇතුල්වුණා.
සුද්දකරල දිලිසි දිලිසි තිබුණු ෆ්රිජ් එක අසලට අහමඩ් බිරිඳව එක්කගෙන ගිය පසු ඈ එය විවෘත කර බලා වටේට අතගා කඳුලු සලමින් අහමඩ්ට මොනවද ද්රවිඩ භාෂාවෙන් කියන්නට උණා. දෙදෙනා මොන මොනවද ටික වේලාවක් ෆ්රිජ් එක ගාව ඉදන් කතාව.
දැන් කාර්යාලයේ හිටිය හැමෝම මේ වෙන දේ කුතුහලයෙන් බලා හිටියා.
නැවතත් ඇයත් සමඟ මා අසලට පැමිණි අහමඩ් බිම බලාගෙන
“සර් තරහ වෙන්න එපා මෙයාට ෆ්රිජ් එක ගෙදර ගෙනියන්න ඕනලු”
උපුටා ගැනීම: Nirantha Vissundara