අහවල් පාඩම – සරණ මනංකර බිලාල වස්තුව 3 (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

සරණ මනංකර බිළාල අඩවියේ සිද්ධ වෙච්ච තවත් විසිවිත්තරක් ගැන තමා ආයුබොවන්ඩ අද කතාව.  කෝම නමුත් මේ උන්දැලා හරිබරි ගැහීන මේ කතාව කියෝවන්න ලකලෑස්ති වුණාට කාරි නෑ.ඒත් හීන් සැරේ ගොහින් කලින් හෑලි දෙකක් කියවල වරෙල්ල මයෙ අප්පලා.ඒ අහවල් දේකටදෑ කිව්වොත් අපේ අසහාය සෑර්තුමයි,මනෝවිකාර ගෝලයො රොත්තෙයි අටුවා ටීකාවට හොට දාගෙනම මෙහෙට පාත්වුණාම හරි සනීපයි නොවැ.

ඔන්න ඉතින් හරි වාසනාවන් කියලා අපේ ඉස්කෝලෙත් ගවුම් අදින ඈයොන්ගෙ ඉස්කෝලයක් වෙච්චි.බැලු බැලූ අත පිරී ඉතිරී වැතිරී ගිය ගවුම් කෑලිවල ආනුභාවයෙන් අපේ අක්කලා ටික ආයෙ එකෙන්ම සොමි සීන් එකේ.අපිටත් ඉතින් කාගෙන් තහංචියදෑ.අපිට හිතුනේ යම්සේද එසේම කරා මිසක ආයෙ හෙවිල්ලක් බැලිල්ලක් හෙම තිබුන්නෑ අපෙ ආයුබොවන්ඩ.ඒ සේරම කතා වස්තූන් ජනගත කරොත් නම් කතා දෙකක් නෑ අපේ ඇන්ටිල ටිකට වනගත වීමක් මිස නැවත සමාජගත වීමක් නම් නෑ ඕං.කෝමින් කෝම හරි ඒ කාලෙ මේ කියන්නා වූ උන්දැලා ටික කරේ බයෝලු.ඔයි දවස්වල ඒලෙවල් පන්ති පටන් ගත්ත මුල් කාලෙ හැමේකාලගෙම මහ නැහැදිච්ච පුරුද්දක් තිබ්බා.අහුවෙන්නෙ මොකාද. ඒකගෙන් “මොනවද කරන්නෙ මොනවද කරන්නේ” ඇහිල්ල.අපිත් ඉතින් මොකෙක්හරි එකෙක් ඕක ඇහුව ගමන් ජාතික ගීය කියන්නා සේ සීරුවෙන් හිද නිකට මදක් උස්සා දෑස් අඩවන් කොට බලා මහා බැරෑරුම් ලීලාවක් දක්වා මන්ද්‍ර ස්වරයෙන් මහප්‍රාණ අකුරුද භාවිතා කොට “භයෝ” යැයි පිළිතුරු දෙන්නාහ.මෙවිට ප්‍රශ්නය ඇසූ නෑම්බියගේ මුවගට ‘පුහ්’ ගා මද සිනා පහල වී ‘ආහ්’ ගා කියැවෙයි. නෙද්දකින්.ආවා මෙතන කොරන දේවල් අහන්ට. කොහොමහරි ජාතික ප්‍රස්නයක්ව වී තිබූ මේ අණ්ඩපාල සිනාවට හේතු කාරණා සොයා බැලූ අවස්ථාවේ දැනගත් විදිහට කතාව මෙහෙමයි. මුන් කියනවා” බයෝ උන්ට තියේලු එක පාඩමක්.”අපිත් ඉතින් “එක පාඩමක් නෙවෙයි යකුනේ අපිට තියෙන්නේ “කියාපි.”නෑ නෑ එහෙම නෙවෙ ඉතින් ඔයාලට තියෙනවනෙ එක පාඩමක් ” මුන් දැන් එන පොට හොද නෑ.කියවන මේ ඇත්තොන්ටත් තේරෙනවනේ ගොනා හැරුණෙ පොල් පැලේ කන්ටමයි කියල.ඔව් ඔව් ඒ පාඩම තමා.පාඩම මොකක්දැයි තේරුන් නැත්තන් මෙතනින් එහාට කියවලත් වැඩක් නෑ ආයුබොවන්ඩ.

ඔයි කාලෙ අපේ එවුන්ගෙ බයෝ ගැන ආකල්පෙ ඔන්න ඔහොමයි කියමුකෝ.පුරාවෘත්තවල හැටියට ඒ පාඩම උගන්නන කාලෙට බයෝ ක්ලාස්වල ළමයි වැඩි වෙනවලු. මැත්ස් කරන එවුනුත් කාඩ් පවා ඇරගෙන පිටිපස්සෙ පෝලිම්වල ඉදගෙන ඉන්නවා කියල තමා සමහර පුස්කොළ පොත්වල සදහන් වෙන්නෙ. බලන්ඩ ඉතිම් නේ.අපේ සිරි ලංකාවෙ දරුවො දැනුම් පිපාසෙන් ක්ලාස් හොය හොය ඉගෙනගන්න අපූරුව.අනේ වාසනාවන්. දැන් ඉතින් අපිත් ඒ පාඩම උගන්නන දවස උදාවන තුරු කෙල හලාගෙන ඇසිපිය නොහෙලාන බලාගෙන ඉන්නවා. අපේ බයෝ මැඩමුත් නිසි කල වයස උදා වූ කල්හී රාහු කාලය පන්නා සුභ මුහුර්තයෙන් “මේ ඔබ සියල්ලෝම පුන පුනා බලා සිටි හෝරාවයි” කියල වැඩේට අතගැහුවලු.පාඩමේ මැදක් යනකොට තමයි අපේ ඇන්ටිලාට වැටහෙන්ට ගත්තෙ රැවටුන තරම් ඔබ හින්ද මං කියල. “අර චක්‍රෙ මේ චක්‍රෙ අර සෛලෙ මේ සෛලෙ” අඩෝ මේ මොනවද ඕයි මේ !!! මොන මගුලක්ද මේ.. ඔලුවත් කොලොප්පං වෙනවා. මේකනෙ යකෝ අමාරුම පාඩම! දුකයි දුකයි දුකයි.දැන් අපිට ස්මයිල් ඉන් පේන් අඩාගෙන වැටීගෙන.ආතල් කෝටියයි කියල උන්නු පාඩම අපිව ආතල් එකට අරගත්තය කියාල්ලකෝ.

කෝමින් කෝමහරි ඉස්කෝලෙ ඔය බයෝ උගන්නන කොට මැඩම් ගේනවා ඔය ලස්සනට පින්තූර එහෙම තියෙන ලොකු පෙරලන පොතක්.ඔය පොතේ ඉතින් හැම පද්ධතියම පාහෙ නැතුවා නොවෙයි.මේ කියන දවසෙත් මැඩම් ඔය පොත ගෙනල්ලා පැහැදිලි කොරල හෙම දීල කාලච්ඡේදෙ අවසානයේ අපිට ඒක බයෝ ලැබ් එකෙන් ගෙනාත් තියන්ඩය එහෙම කියාලා ගියා කියමුකෝ.ඊළගට අපේ අති උත්තම ලෝක පූජිත විෂය. ඕහ් ලෝකෙ දඩම සබ්ජෙක්ට් එක. අපේ සර්තුමාගෙ පිසික්ස්.ම්හ්ම් බලන් හිටිය හිටිය සෑර් නෑ. අපේ එකීලා මොකෝ කොරන්නේ  කාලය රන් හා වටී කියල ඒ වෙලාවෙ අපිව අන්ත අසරණභාවයට පත් කළාවූ බයෝ පාඩම ස්මරණය කොරනවලු.ඒ අල්ලපනල්ලේ දැනට වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන එකල අපේ පන්තියේ දඩම මීටරේ ඔන්න දැන් අසිපත් අමෝරාගෙන සභයට පිවිසෙනවා මිත්‍රවරුනි… “බිය නොවන්න සහෝදරවරුනී… ඉගෙනගන්න සැටි මං පෙන්වන්නම් ” කියාලා අර පොතත් ඇන්න දැන් මුන්දෑ අහවල් පාඩම උගන්නවා. හෝ හෝ නියමයි. නියමෙට තේරෙනවා. ඕයේහ් සුපිරීයි.ඔන්න ඉතින් ඉගැන්නිල්ල දිගින් දිගටම කෙරීගෙන යනවා.අපිත් ඉතින් කට කනේ දාගෙන අහගෙන ඉන්නවා.ඔය අස්සෙ හැක හැක ගාල හිනත් යනවා කියහල්ලකො. හාහ් හාහ් දැන් මේ ඇත්තෝ වැරදි වැටහීම් ඇති කොරගන්ට එපා මයෙ අප්පල හරිය.අපිට හිනා යන්නෙ විෂය කරුණක් තේරුම් ගැනීම හේතු කොටගෙන අපේ හද තුළ නිකැලැල්ව උපන් සන්තුෂ්ටිය නිසා මිසක වෙන අහවල් වෙඩිමක් නිසාවත් නොවෙයි ඔන්න.ඇල් වතුරත් නිවලා බොන, උදේ දිවා රෑ සිරිත් මල්දම ගායනා කරන,මිතුරන් රැස් වූ කල දහම් කරුණු සාකච්ඡා කොරන සිරිමත් වගේ අපි ගැන නරක විදිහට සිතන්නට හොද නෑ නොවැ.

දැන් ඔන්න අපේ අක්කලාට විෂය කරුණක් ඉගෙනගැනීමේ සන්තෝෂය ඉහවහා ගොස් හූ පවා කිය කිය හිනා වෙනවා.සමහරෙක් අත්පුඩියක් ගහල, තවත් උන් ඩෙස් එහෙකට තඩිබාල,තව එකෙක් ළග ඉන්න එකීටත් හිරිවැටෙන්ට එකක් පතබාවල ඩෙස් එකේ ඔලුවත් තියාගෙන හිනාවෙනවා.හිටගෙන සිටි එකීලා බිම පෙරලිගෙන හිනාවෙනවා. මේ අතර මොවුන් කොයිතරම් නම් ගුණගරුක දරුවන්ද කියනවා නම් තවකෙකු තමා දන්නා දැනුම තම මිතුරන්ටත් කියා දෙනවා. මරු කතරට් දිය බිදක් ඉසින්නා වගේ. මොනතරම් නම් නිරහංකාරයිද? මේ වගේ දරුවන් රට ජාතියට මහා සම්පතක්.

හිනාවෙවී අවසිහියෙන් හිටපු අපිට මොකාක් නමුත් වැරැද්දක් තියෙන බව ඉවෙන් වගෙ දැනුනෙම නෑ කියන්ටත් බෑ. ඔය සැකේ හින්දම කට්ටිය නිකමට වගේ පිටිපස්ස හැරිල බැලුවා. මේන් බොලේ අත් දෙකත් බැදගෙන ඔලුවත් ටිකක් ඇද කරගෙන කෙමිස්ට්‍රි මැඩම් අපේ නාඩගම දිහා බලාගෙන ඉන්නවා. අයියෝ සල්ලි මැඩම් එහා පන්තියේ උගන්න උගන්න ඉදලා. දැන් අපි කපෝතියි. අනේ මැඩම් මේ අමාරු පාඩමක්නේ මැඩ…..ම්.. මැඩම් කරල තියෙන්නේ මැත්ස්. සෝ අපිට ඉතින් බඩුම තමා. විනාසයි. හරි දැන් එළඹෙන්නේ හිටගෙන සිටි උන් ශේප් එකේ බඩගාගෙන ගොස් ඉදගන්නා,ඉදගෙන සිටි උන් උඩබිම බලමින් පොත් ඇදගෙන පාඩම් කරන්නා සේ ඇක්ට් කිරීමට පෙළඹෙන්නා වූ අතිකුජීත මොහොතයි. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ කිව්වල. මැඩමුත් මොකෝ කොරන්නේ වචනයක්වත් නොකියා රවාගෙන බලාගෙන ඉදලා ගියා කියහල්ලකො. අයියෝ එක්කෝ අපිට බනින්ඩ මැඩම්. අපේ උද්‍යෝගිමත් අක්කලා ටික හුලං ගිය බැලුම් ටික වගෙ. ඒ මොකක්දැ යකඩෝ ඒ වුණේ? කනට ගැහුවා වගේනෙ.

වැඩේ වෙලා තත්පරයක් ගියෙ නෑ බොලේ මෙන්න අපේ සෑර් ඇවිල්ලා පන්තිය ඉස්සරහ. “හා මොකෝ මෙතන වුණේ, කට්ටිය මොකද නිකන් මේ ආහ් ” හිනා වෙවී සුපුරුදු ලීලාවෙන්ම කියනවා. අම්මෝහ් ඇති යන්තන්. සර් මොකුත් දන්නෑ. මැඩම් ඇවිල්ල අපිව බේරගෙනනෙ දෙයියෝ. අපි අර සමයම නට නට ඉන්න වෙලේ සර් සැපත් වුණා නම් අපිට වෙන්නෙ “ලෝකයෙන් යමු හදේ ඉපදෙමු” තමයි කොල්ලනේ. අදටත් අපි මැඩම්ට පින් දෙනවා අපේ සර්තුමා ඉස්සරහ එතුමගෙ ගෝලබාලයින්ගේ නම්බුව බම්බුව වෙන්ට නොදී බේරා ගත්තට. ආදරෙයි මැඩම්……………………………

චතුරිකා අබේසේකර

චිට් එක (සරණ මනංකර බිළාල වස්තුව 2) (ඉස්කොලෙ කලෙ රස කතා )

සරණ මනංකර බිළාල වස්තුව 1 (ඉස්කොලෙ කලෙ රස කතා )

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!