අහිමි (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මා සිටියේ උසාවියෙන් පිටත ය. මං දික්කසාද ලියවිල්ල දෙස බැලුවෙමි. දැන් ඉතින් සියල්ල සිදුවී හමාරය. මං හොරැහින් ඔහු දෙස බැලුවෙ මෙය අවසන් වරට දකින අවස්ථාව මෙන් දැනුන බැවිනි. ඔහු මා අසලට පැමිණ පුංචි පුතු වඩාගෙන හාද්දක් දුන්නේය. අවංක සැමියෙක් වීමට නොහැකි වූවද තවමත් ඔහු අවංක පියෙකි. ඉන්පසු මා දෙසවත් නොබලාම ගොස් ඔහුගේ මෝටර් රථය ට ගොඩ වූයේ ඇතැම්විට ඔහුගේ ජීවිතයෙන් මගේ චරිතය අතු ගා දමා ඇති බැවිනි.
සියල්ල මා ඈතට ඈතට රැගෙන ගියහ. දික්කසාද ජීවිතේ ටත් එහා කසාද ජීවිතේ ටත් එහාට. කොළඹ පදිංචි වීමට පෙර ගමේ සිටි කාලයේ එනම් මා සාමාන්ය පෙල කරපු අවධියෙ ඔහු සිටියේ උසස් පෙල පන්තියේ ය. යම් වයස් පරතරයක් තිබූ නිසා අප වැඩිය හමු නොවුණත් ඔහු මා අමතක නොකලේය. ඉස්සර දවසකට දෙපාරක් වත් ඔහුගේ බයිසිකලය අපේ නිවස පසු කර ගෙන යයි. ඔහු කඩේට යන මුවාවෙන් අපේ නිවස පසු කරයි. එවැනි දිනක මං ආලින්දයට වී පාඩම් කරේ ඔහුගේ බයිසිකලේ බලාපොරොත්තුවෙනි. අපේ ගෙදර අසලදී ඔහු බයිසිකලේ බෙල් එක නාද කරන්නෙ එවිට මා ජනේලයෙන් ඔහු දෙස බලන බව දැනගෙන ය.
සැබවින්ම ඔහු මා බලාපොරොත්තු වෙනවා සේ ම මා ද ඔහු බැලීමට ආසාවෙන් සිටියෙමි.
ගමේ පාසලේ උසස් පෙල පංති වල දීප්තිමත් සිසුවා වූ ඔහු උසස් පෙලින් පසු මොරටුව විශ්වවිද්යාලයෙ ඉංජිනේරු පීඨයට තේරිපත් වුනි. ඒ පුවත ඇසුණු සැණින් මා ඔහු පිලිබද වූ බලාපොරොත්තුව අත් හැරියෙමි. විශ්වවිද්යාලයට යාමට පෙර දිනයේ ඔහු මා සොයා පැමිණියේ ය. ඒ ඔහු මගේ හිතට කතා කල පලමු දවස විය. ඔහුව අමතක නොකරන මෙන් හරි බෑගෑපත් අයුරින් කල ඉල්ලිමක් එහි විය. පෙර දින වල මා දුටු දගකාර තරුණයා වෙනුවට එතැන සිටියෙ ආදරයෙ නාමයෙන් සංවේදී වූ තරුණයෙකි.
ඔහු විශ්වවිද්යාලයෙ දෙවෙනි වසරෙ සිටින විට මා උසස් පෙල අවසන් කලෙමි. නමුත් මට විශ්වවිද්යාලයට යා නොහැකි විය. එනිසා ගමේ සිට රැකියාවකට යාමට මම තීරණය කලෙමි.
නැවතත් බලාපොරොත්තුව දුරස් වන තැනක් අප දෙදෙනා අතර ගොඩ නැගුණි. නමුත් මා විශ්වාස කලේම මගේ ඉරණම්කාරයා ඔහු විය යුතු බවයි.
විශ්වවිද්යාල අධ්යාපනය අවසන් කල ඔහු නැවත මා සොයා ගමට ආවේය. මා ඔහුට පැවසුවේ ගැලපෙන හොද තැනකින් විවාහයක් කරගන්නා ලෙසය. ඔහුට ඒවා අසන්නට අවශ්ය වූයේ නැත. ගැලපෙන තැන මෙතන යැයි ඔහු පුන පුනා පැවසුවේ ය.
අවසානයේ මා ඔහු හා විවාහයකට යාමට කැමති වුණෙමි. නමුත් නැවතත් බාධකයක් පැමිණියේ ය. යමක් කමක් ඇති දෙපළකගෙ පුතෙකු වූ ඔහුගේ මේ අදහසට දෙමාපියන්ගෙ විරෝධතා එල්ල විය. සැබවින්ම මගේ නැන්දම්මා බලාපොරොත්තුව සිටියේ ඉංජිනේරු පුතාට ගැලපෙන ඉංජිනේරු ලේලියකි. මා ලේලිය ලෙස බාර නොගන්නා බව ඈ තරයේ කියා සිටියාය.
මේ විස්තර දැනගත් පසු මගේ මව ද පැවසුවේ බර අතු අල්ලන්න යනවාට වඩා පාඩුවේ සිටීම හොද බවය. කලු ගල් වල ඔලුව ගහගන්නට බැරි බව ඈ මා හා පැවසුවාය. කලු ගලක් මෙන් පෙනෙන නමුත් ඔහු වෙඩරු පිඩක් මෙන් මා ගැන අනුකම්පාවෙන් පසුවන බව මම දැන සිටියෙමි. ඔහුගේ සිත පාරා දැමීමට මට අවැසි වූයේ නැත.
කෙසේ හෝ මව්පිය විරෝධතා මැද අපි විවාහා වූයෙමු. එතැන් පටන් මගේ ආරක්ෂකයා වූයෙ ඔහුය. පියෙකු මෙන් මා බලාගත් තරුණයා ඔහුය. ඔහු හා සිටින විට මට බියක් දැනුනේම නැති තරම්. මව්පියන්ගේ ප්රශ්න නිසා අපි ගමෙන් යමු කියා ඔහු යෝජනා කලේය. මා ගම අත් හැර කොළඹ යාමට කැමති වූයේ ඔහු මා සමග සිටින නිසාවෙනි.
ඉන්පසු ජනාකීර්ණ කොළඹ පිහිටි හුණ්ඩුවක් තරම් වූ අපේ කූලී ගෙදර ඇතුලෙ අපි දෙදෙනා ජීවත් උනේ සතුටිනි. විවාහ ජීවිතය තරමක් දුශ්කරතා මැද ගෙවුන ද එය එතරම් ගැටලුවක් නොවීය. ආර්ථික මදි පාඩුකම් එතරම් ඇති නොවුනේ ඔහුගෙ ඉංජිනේරු පඩියට පිං සිදු වෙන්නය.
කොළඹ ජීවිතය ට හුරු වී අවුරුද්ද ක් පමණ ගෙවී ගිය තැන මා මවක් වෙන්නට සූදානම් විය.
ගෙවී ගිය නව මාසය තුල ඔහු හරි හරියට මා රැක බලා ගන්නට වෙහෙසුණේය. ඔහුගේ කැපකිරීම් දුටු මගේ සිත ද නිතරම පිරී ඉතිරී තිබුණි. රෝහලේ දි පුතු ලැබුණු පසු මුල්වරට ඔහුගේ අතට දුන් විට මුහුණෙ ඇදී ගිය ආදරණීය හැගීම මා ඉන් පෙර ඔහුගෙන් නොදුටු දෙයකි. ඔහු එතරම් සතුටින් සිටිනු මා දැක තිබුණේ ම නැත. අදටත් මට එය සිහියට නැගෙන විට සිත සිර වී නතර වූවාක් මෙන් දැනෙයි.
කාලයත් සමග අපේ ජීවිත අලුත් විය. අපි පවුලක් වශයෙන් සම්පූර්ණ වෙද්දි දවසින් දවස අපේ ඇස් ඉදිරිපිටම පුතා උස් මහත් වෙද්දි සියලු දුක්ඛ දෝමනස්සයන් අවසාන යැයි සිතුනු අවස්ථා බොහෝය.
මෙතරම් කාලයක් රජයේ දෙපාර්තමේන්තුව ක සේවය කල ඔහු පසුව බහු ජාතික සමාගමක ජේෂ්ඨ ඉංජිනේරුවෙකු වශයෙන් සේවයට බැදුනේය. ඉන්පසුයි සියල්ල කනපිට හැරෙන්න පටන් ගත්තෙ.
බහු ජාතික සමාගමෙන් ලද වැටුප නිසා අපිට කුලී ගෙදරින් පිටව අපේම ගෙදරකට යාමට හැකි විය. සැප සම්පත් වලින් ඔහු මටවත් පුතාටවත් කිසිම අඩුපාඩුවක් නොකලේය. සැබවින්ම ඔහු ස්වාමිපුරුෂයෙකුගෙ හා පියෙකුගෙ වගකීම හරි හැටි ඉටු කලේය.
ඔහුගේ තනතුර නිසා බොහෝ විට විදේශ ගත වීමට ද සිදු විය. ඒ හැම සංචාරයක් ම අවසානයේ ඔහු මට ද පුතු ට ද මොනයම් හෝ දෙයක් රැගෙන ආවේය. නමුත් ඒ වනවිට ඔහුගේ හිත වෙනතක ගොස් ය. ඔහු භෞතික ව පමණක් අප හා වෙලී සිටියේය.
ඔහු වෙනත් බහු ජාතික සමාගමක සේවය කරමින් සිටි තරුණියක හා ආලයෙන් බැදී ඇති බව මා දැනගන්නා විට බොහෝ ප්රමාද ය. මන්ද යත් ඒ වනවිටත් ඔහු මා අත හැර දැමීමට තීරණය කල නිසාවෙනි. ගමේ තරුණියක් ව සිටියදි මා දුටු නොගැලපීම ඔහු විසින් දැන් දැක ඇති සේ ය.
මා දික්කසාදයට කැමැත්ත පල කරේ මගේ උවමනවට නොවේ. මෙතනදි මට දරාගත නොහැකි වූයේ මට ස්වාමියෙක් අහිමි වෙනවාට වඩා පුතු පැටියාට පියා අහිමි වීමෙ වේදනාව ය. නමුත් කිරීමට කිසිම දෙයක් ඉතුරුව නැත.
මා පියවි ලොවට ආවෙ පුතු පැමිණ මාගේ අත අල්ලාගත් නිසාය. මා ආදරයෙන් පුතු දෙස බලා ඔහුව ඔසවා ගත්තෙමි. ඔහු හුරතල් අයුරින් අයුරින් මා දෙස බලමින් සිනාසෙයි. තවමත් තුන් හැවිරිදි වූ ඔහුට අම්මා හා තාත්තා අතර වූ නීතිමය දුරස්ථ භාවය නොවැටහෙයි.
මා නැවතත් පුතු දෙස බැලුවෙමි. ඒ දීප්තිමත් දෑස් ඔහුගෙ දෑස් ය. සිනාවෙන කොට නලියන කොපුල් ද ඔහුගේ මෙනි. ඔහු මා හැර ගියද ඔහුගෙ රුව කොටා මා අතට පත්කර ඇත.
වැරැද්ද වෙන කාගෙවත් වූවද අවසානයේ බැදගත්තු බෙර ගැසිය යුතුමය. එනිසා හැර ගිය අය අමතක කර ලග සිටින අය වෙනුවෙන් ජීවත් විය යුතුය.
(ඉහත නම් ගම් සියල්ල මනඃකල්පිත ය.)
උපුටා ගැනීම:  Kaveesha Munasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!