අහිංසක හොර වැඩ (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉස්සර හැම බදාදම ස්කෝලෙ යද්දි අපේ බෑග් එකේ අනිවාර්යයෙන්ම තිබුන දෙයක් ලුණුයි මිරිස් කුඩුයි. ඒ විතරක් නෙමෙයි අම්මා සෝයා උයන දවසට අම්මාගෙ පස්සෙන් දැවටි දැවටි ඉන්න එකත් පුරුද්දක්.ටික වෙලාවකින් සෝය පැකට් එකේ තුනපහ පැකට් අතුරුදන්..
ස්කෝලෙ ඉවර වෙලා හවස සුදු ඇඳුමෙන් ම අපි යන්නෙ උදයරත්න සර්ගෙ ගණිත අමතර පන්තියට. එ පංතිය තිබුනෙ ලොකුම ලොකු කුඹුරක් අයිනෙ. සර් එනකම් අපි පංතියේ හැමෝම කොල්ලො කෙල්ලො වෙනසක් නැතුව කුඹුරෙ ඉපනැල්ල පුරාම දුවන්න සෙල්ලම් කරන්න හුරු වෙලා හිටියා. මොන අව්ව තිබුනත් අපිට නෙමෙයි ඕවයි වගේ වගක් තිබුනෙ.
ඔය කුඹුරෙ එහා කෙලවරෙ තිබුනා දිවුල් ගස් දෙකක්. උදේට ගෙදරින් ලුණුමිරිස් සෝයා එකෙ කුඩු පැකට් එක ගේන්නෙ ඒ දිවුල් ගස් යට දුක සැප විචාරන්න තමයි හවසට.ඉතිම් බදාදා සිකුරාදා හවසට දිවුල් ගස් දෙකත් ලෝබ නැතුව නැහැ බැහැ නොකියා අපේ මුලු පංතියකම බඩ පිරෙව්වා.ගල් මුල් වලින් ගහලා ගෙඩි කඩා ගත්තත් දිව්ල් ගහ කවදාවත් අපි එක්ක තරහ වෙලා නැහැ.
……………………………………..
අපේ ගමේ වැව ඉස්සරහ තිබුනා අමතර පංති තියන තැනක් හැම තැනින්ම ළමයි දාහක් විතර ආව ගිය..ඒක වෙනම ස්කෝලයක් වගේ සෙනසුරාදා ඉරිදට. .
“අද කට් කරමුද ක්ලාස්. මේ මහ දවාලෙ.මොන විද්යාව ඉංග්රීසි ද බන්”
“කොහෙද යන්නෙ”
“අනුරාධලාගෙ ගෙදර යමන්”
සමහර දවස් කම්මැලි හිතුනම පංතියෙ කොල්ලො කෙල්ලො හැමොම එකතු වෙලා ක්ලාස් කට් කරන්න හුරු වෙලා හිටියා..
ක්ලාස් එකෙන් පනින එක තමයි ලොකුම වැඩේ වුනේ. ගේට්ටුවෙන් ගියොත් අහුවෙනවා. යන්න දෙන්නෙ නැතුව නවත්තලා වේවැලකින් සලකලා ආය පංතියට.ඒ නිසා අපි පැන්න තරමක් පැන්නෙ වැටෙන් අනුන්ගෙ වතු වලට තමයි.මුලින්ම වැටෙන් පන්නන්නෙ බෑග්ස්..ඊට පස්සෙ කෙල්ලො.අන්තිමට කොල්ලො. හොරාට පනින්න ගිහින් එකෙක් කම්බියෙන් සූර ගත්තම සෙට් එකම අනුන්ගෙ වතුවලට පැනල දෙහි හොයලා ඒ තුවාල වල ඇතිලුව දවස් ඕන තරම්..
අපිට තිබුනා බයිසිකල්. කෙල්ලො කොල්ලො කියලා භේදයක් තිබුනෙ නැහැ. එක බයිසිකලේ කොල්ලොත් කෙල්ලො දෙගොල්ලම නැඟලා යනවා. ගමේ මිනිස්සු මොකුත් කියන්නෙත් නැහැ කවදාවත් ම. කිව්වොත් ඉතිම්,
“ආං අරුන් ටික යනව අදත් වතු වල තියන ගෙඩි ඉවරයි” කියලා තමයි..
අපි යන්නෙ වෑකන්ද (වැව් කන්ද) දිගේ. කුඹුරු මැදින්, කට්ට අව්වෙ, බයිසිකල් වල, විහිලු කර කර, දෙකේ අයිස් එකක් කන ගමන් පාර දිගට හරි ලස්සන ගමනක් ඒක.ඔය යන ගමනෙදි පාර දෙපැත්තෙ තියන වතු වල අඹ,දිවුල්,කෝන්, සියඹලා එකක්වත් ඉතුරු කරන්නෙ නැහැ වැරදිලාවත්. හොරාට ගෙඩි කැඩුව ගෙදරින්ම ලුණුත් ඉල්ලගෙන දුවන ජාතියෙ මිනිස්සු අපි.බයිසිකල් වලින් කරණම් ගැහුව දවසුත් නැතුවාම නෙමෙයි. හොඳ වරුවක් සෙට් එක එක්ක හිනා වෙලා මිස නැගිට්ට වන්නෙ නැහැ වැටුන කෙනාව.
“අනුරාධා”ලගෙ ගෙදර.ක්ලාස් කට් කරලා එන්නෙ අනුරාධාලගේ ගෙදරට තමයි. සමහර දවස් වල අපි ඇත්තම කියනවා ඉන්න බැහැ ධාරිතාවය ඉක්මවා ගිහින් ක්ලාස් එකෙන් පැන්නා කියලා.ගිය වෙලාවෙ ඉඳන් අපි ක්රිකට් ගහනවා.අල්ලපු වත්තෙ තියෙන්නෙ පන්සලක්.ඒ පැත්තෙත් රවුමක් දානවා..කුඹුරු වල ඉපනැල්ලෙ අල්ලන් සෙල්ලමුත් කරනවා.වටා පිටාවෙ වතු වලටත් පනිනවා..රත්තිලා හඳයලා එක්ක කතා කරනවා.. අනුරාධා ගෙ අම්මගෙ මල් පැල ගලවන දවසුත් නැතුවාම නෙමෙයි
අපි සෙල්ලම් කරනකම් එයාගෙ අම්මා යි තාත්තායි අපිට රසට දවල් කෑම හදනවා..ඉතිම් කෑම කාල ඉවර වෙලා කතා කර කර ඉඳලා පුලුවන් නම් එකෙක්ව අඬවල, තිබුනොත් කාර්ටූන් එකකුත් බලලා ඉවර වුනාම තමයි අපිටත් ගෙයක් දොරක් තියනවා කියලා මතක් වෙන්නෙ.. නිකම් නෙමෙයි එන්නෙ තේ එකකුත් බීලම හවසට..
මේ තමයි අහිංසක හොර වැඩ කල අපේ ලමා කාලය..සමහර දවස් වලට නම් ගෙදර ඇවිත් අම්මට ඇත්තම කියනවා..
……………………………..
“ආං අර අහවලාගෙ ලමයි පංති කට් කරලා ගිහින් අරක්කු බීලා මත් වෙලා කැලේ ඉඳලලු. ඊයේ සර්ලයි තාත්තලයි ගිහින් ලු හොයාගෙන ඇවිත් තියෙන්නෙ..”
කැම්පස් නිවාඩුවට ගෙදර ආව හවසක, අම්මා එක්ක උයන තැන කයියක් දාගෙන, තේ එකක් බොන ගමන් ඉඳිද්දි ඇහුන වචන ටික…. මේ තමයි වර්තමානයේ ( 2021) ලමයින් ගෙ අහිංසක හොර වැඩ..\
උපුටා ගැනීම: Nisansala Sri Narayana

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!