අයිෂෙ (ඉස්කෝලේ කාලේ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඉස්කෝලේ සිද්ධි ලියලා ඉස්කෝලේ නමට හානි කරනවා කියලා අහගන්න වෙයිද දන්නෙත් නෑ. ආයි ඉතිං ඉස්කෝලෙන් අයිං කරන්න කියලා යැ. අස්වීම විතරක් නෙවෙයි විශිෂ්ට චරිත සහතිකේකුත් අරං ඉවරයි නෙ. ආයෙ හිතුනා ළමයෙක් වත් ඉස්කෝලෙට ගන්න එකක් නෑ කියලා. එතකොට මතක් උනේ ඉන්නේ කෙල්ලො දෙන්නෙක් නෙ කියලා.

අපේ පරණ අයියලා කීපදෙනෙක් ඒ කාලේ හිටපු ප්‍රින්සිපල්ව මතක් කලා. ඔය ප්‍රින්සිපල් බටහිර තාලෙට හිටපු ප්‍රින්සිපල් කෙනෙක්. හැබැයි පුතෝ නම නං කියන්න බෑ. හරි නෑනේ. මොනවා උනත් අපි එතුමට ආදරෙයි අහස තරම්.

එතුමාට තරම් ඉස්කෝලෙ ළමයි කරදර කරන්න නැතුව ඇති වෙන කාටවත්. මොකද අපේ ලොකු අයියලා කියන්නේ නාහෙට නාහන එවුන්. හැබැයි එතුමා ඉස්කෝලෙටයි ළමයින්ටයි හරි ආදරෙයි.

ප්‍රින්සිපල්ගෙ මුල් නමත් ඉංග්‍රීසි නමක්. වාසගම නං සෑහෙන්න නිල් පාටයි. දැන් අර මොක්කුද වගේ අහන්න එපා එහෙම නම් තියෙනවද කියලා. එහෙම තියෙනවා.

ප්‍රින්සිපල් ඇන්දේ තනි සුදු පාට. සුදු ෂර්ට් එකයි, සුදු කකුල්දිග කලිසමයි. එහෙම තියෙනවා.

එතුමා කතා කලෙත් ඉංග්‍රීසි තාලෙට. කාටවත් විශේෂයක් කලේ නෑ. ඕනැ කෙනෙක් ට “අයිෂෙ’ කියලා තමයි කතා කරන්නේ. ඒකට ජාති, කුල, මල, ආගම් බේද නෑ. ඒක හොඳටම තහවුරු උනේ දවසක්දා ඉස්කෝලේ හිටපු හාමුදුරුවන්ටත්

“අයිෂෙ මේ පෝයට කලිං දවසෙ අපි බණක් කියමු”

කියලා තිබුණ හින්දා.

ප්‍රින්සිපල්ට ඔය “අයිෂෙ” කියන වචනෙ එක්ක තිබුණේ ආත්මීය බැඳීමක්. දවසක් ඉස්කෝලෙ ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීමකදී ප්‍රින්සිපල්ට සිංදුවක් කියන්න ඕන වෙලා. කියලා තිබුණෙ,

“අයිෂෙ කෝකිලයන්ගේ..
අයිෂෙ කෝකිල නාදේ….”

කියලා ලු. මොනවා කරන්නද? ප්‍රින්සිපල් නෙ. අයියලා ටික අහගෙන ඉන්න ඇති.

ඉස්කෝලෙට යි ළමයින්ටයි කොයි තරම් ආදරෙන් හිටියත් එතුමා ඊටත් වඩා ආදරය කරපු දෙයක් තිබුණා. ඒ තමයි එතුමගේ කාර් එක. මට මතක ඇති කාලෙක ඉඳල එතුමට තිබුණෙ කළු ඔස්ටින් එකක්. ඉස්කෝලේ ඉස්සරහ වාහන නවත්තන්න බැරි උනාට එතන නවත්තලා තියන්න පුළුවන් උන එකම කාර් එක තමයි ඒක.

88/89 කලබල කාලෙ අපේ අයියලත් ඉස්කෝලෙන් එලියට ඇවිත් පාරෙ දඟලලා තියෙනවා. ඔය අතරේ උන් රතිඤ්ඤා පත්තු කරලා ප්‍රින්සිපල්ගෙ කාර් එක යටටත් දාලා. දුවගෙන ආපු ප්‍රින්සිපල් වහාම කාර් එක පදවාගෙන එතනින් ගිහින්.

හැබැයි ඉතින් ඔය ප්‍රින්සිපල් සර්ගෙන් මට වත් මගෙන් සර්ට වත් වචනෙකින් වත් වැරැද්දක් වෙලා නෑ මගේ අතින් සර්ගෙ පිට මැද්දට වැදිච්ච පාරක් ඇරෙන්න. දවසක් අපේ වතුර බොන ටැප් පේළිය නවීකරණය කරලා තිබ්බා. එතන ඉන්ටවල් එකට අත හෝදන එවූනුයි, වතුර බොන එවුනුයි පිරිලා. අපි කොහොමත් කෑම ගේන්නේ නැති හින්දා වතුර තමයි බොන්නේ. එදත් මම එතෙන්ට යනකොට කොල්ලො පිරිලා. මට ඉස්සරහින් එකෙක් හිටගෙන පාර අහුරගෙන. ඌ වතුර බොන්නෙත් නෑ ඔහේ බලාගෙන. මටත් තදවෙලා උගෙ පිටට එකක් ගහලා,

“අයිං වෙයං @#$£€ ”

කිව්වා. පොර හැරෙන්නත් කලිං “අයිෂෙ” කියන එක ඇහුනා විතරයි මම දැනගත්තා ප්‍රින්සිපල් කියලා. නවීකරණය කරපු ටැප් පද්ධතියේ සාර්ථකත්වය බලන්න තමයි සර් එතන ඉඳලා තියෙන්නේ. කොහොම හරි අපේ දෑස් මුණ ගැහෙන්න කලිං අනිත් පැත්ත හැරිලා දුවපු මම නතර උනේ ටැමිල් සෙක්ෂන් එකේ. මොකෝ පිටිපස්සෙන් මාව අඳුන ගන්නයැ.

අපේ ප්‍රින්සිපල්ට කිට්ටුම කෙනා තමයි වයිස් ප්‍රින්සිපල්. වයිස් ප්‍රින්සිපල් මම දන්න දා ඉඳලා වයසයි. හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුණා. තමන්ගේ රැකියාවට කොච්චර ආසද කිව්වොත් පෙන්ෂන් ගිහිල්ලත් ස්වේච්ඡාවෙන් ඉස්කෝලේ වැඩ කලා. බඩ මැදින් කලිසම ඇඳගත්ත වයිස් ප්‍රින්සිපල්ට කවදාවත් තරහ යනවා දැකලා නෑ. හැබැයි කාට උනත් ඉංග්‍රීසි කියලා දෙන්න හරිම උනන්දුයි.

අපේ ටොයිලට් එකට යන්න තිබුණෙ ලැබ් එකයි තව උසස් පෙළ පන්තියකුයි අතරේ කොරිඩෝවකින්. එතකොට මං දහයෙ. ඉස්කෝලේ ඇරෙන්න විනාඩි පහක් විතර තියෙද්දී මං ගියා ටොයිලට් එකට. කොරිඩෝවේ ඈත කෙලවරෙන් දන්න කියන එකෙක් එනවා බර හෑල්ලු කරගෙන. ඌට ඉතිං විහිළුවටත් එක්ක,

“හා.. ගුඩ් මෝනිං මචං”

කියලා කෑ ගැහුවා. ඌ කතා කරලා ගියා විතරයි එතන එහා පැත්තේ තිබුණ පංතියේ හිටපු අයියා කෙනෙක් ආවා.

“ආං උඹට වයිස් ප්‍රින්සිපල් සර් එන්න කිව්වා”

කියලා කිව්වා.

“හරි, මං යන ගමන් ඔෆිස් එකට යන්නං” මං කිව්වා.

“ඔෆිස් නෙවෙයි යකෝ, අපෙ ක්ලාස් එකේ ඉන්නෙ” කියලා ඌ කිව්වා.

” හරි, අයියා යන්න, මං චූ කරලා එන්නං” මං කිව්වා.

“තොට පිස්සුද යකෝ, වර යන්න”

කියලා ඌ මාවත් ඇදගෙන උන්ගේ පංතියට ගියා. වයිස් ප්‍රින්සිපල් පන්තියේ. අරෑ ගිහින් ඉඳගත්තා. කණ්ණාඩි දෙකට උඩින් මං දිහා බලපු වයිස් ප්‍රින්සිපල්,

“පුතා, ඔයාද දැන් ගුඩ් මෝනිං කිව්වේ” කියලා ඇහුවා.

අම්මට සිරි, දැන් තමයි මට සීන් එක ක්ලික් උනේ. සර්ට ඒක ඇහිලා දැන් මේ ඉංග්‍රීසි හදන්න යන්නේ.

“නෑ සර් මං මේ විහිළුවට..” කිය කියා තටමනකොට සර්,

“විහිළුවටවත් වැරදි ඉංග්‍රීසි කියන්න එපා”

කියලා, ගුඩ් මෝනිං කියන්නේ දවල් දොළහට කලිං බවත්, ඊට පස්සේ ගුඩ් ආෆ්ට නූන් බවත්, ගුඩ් ඊවිනිං කියන වෙලාවත්, ගුඩ් නයිට් කියන වෙලාවත්, බ්රෙක්ෆස්ට් උදේ කෑම බවත්, ලන්ච් දවල් කෑම බවත්, ඩිනර් රෑ කෑම බවත් දේශනයක් දුන්නා. පංතියේ හිටපු අයියලා සෙට් එක නෝන්ඩියට හිනා වෙනවා. මමත් උගුඩුවා වගේ සර් දිහා යි අරුන් දිහායි බල බලා හිටියා.

අන්තිමට පැය බාගෙකට විතර පස්සෙ උගන්නපු දෙයින් ප්‍රශ්න ටිකක් ඇහුවා. ඒවට සාර්ථකව උත්තර දීපු හින්දා යාන්තං මාව එතනින් නිදහස් කලා. ඊට පස්සේ බරත් හෑල්ලු කරගෙන ඇවිත් වෙනදා ගුඩ්ෂෙඩ් ගිහින් ඉඳගෙන යන බස් එකේ යාන්තං ඉස්කෝලෙ ළඟින් එල්ලිලා ගෙදර ගියා.

මේ ආදරණීයන් දෙපලම දැන් මිය ගිහින්.

ධම්මික ඒකනායක

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!