අයියා නිසා ලැබිච්ච තෑග්ග (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මම හය වසරේ දී සිද්ධ වෙච්ච සිද්ධියක්. අපිට ඉස්කෝලෙ හිටපු හොඳම ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න චාන්ස් එකක් හම්බුණා කොහොමහරි. අපි විද්යාගාරයට යන්න ඕන විද්යාව වෙලාවට, මොකද අපේ සර් ඉන්නේ එතන. මේ ගුරුතුමා හරිම හොඳයි, හරි පැහැදිලිව ප්රායෝගික උදාහරණ සහිතව අපිට ඉගැන්නුවා. මොන දේ උනත් සර්ට කියන්න කතාවක් තිබුණා. ඒක එහෙම වෙන්නෙ ඇයි දැයි විද්යාත්මකව පහදලා දෙන්න ප්රායෝගික උදාහරණයක් තිබුණා. විෂය කරුණු පිළිබඳ මනා දැනුමක් තිබුණා. ඊට වඩා හොඳ විද්යාව ගුරුවරයෙක් මට හම්බවෙලා නෑ.
“මට දවසක් ළමෙක් ඇවිල්ල මෙහෙම කිව්වා…”
යන ආදි වශයෙන් ඒ විස්තරය කියලා, ඒ ළමයාට හෝ පුද්ගලයා ට එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙච්ච සිද්ධිය, ඒ අවස්ථාවේ අපේ පාඩමට සම්බන්ධ කරලා එතන තියෙන විද්යාත්මකභාවය ගැන පැහැදිලි කරන්නවා. ඉති ඒ විදියට කරන කොට අපිට ඒ කතා එක්ක පාඩම් හොඳට තේරුම් යනවා සහ මතක හිටිනවා. මගේ පාසල් ජිවිතේ මුණගැහුණ හොඳම ගුරුවරයෙක්. ළමයි හැමෝටම කාරුණිකව එක වගේ සලකපු ගුරුවරයෙක්. විද්යාව විෂය හොඳින් උගන්නපු ඉතා දක්ෂ අයෙක්.
අපේ අයියාගේ කැමතිම ගුරුවරය. හැමදාම ගෙදර ඇවිල්ලා කියන්නෙ ම මේ සර් ගැන. එයාගෙ 11 වසර විද්යාව ගුරුතුමා, එතකොට මම පහ වසරෙ. කොච්චර සර්ගෙ ගුණ වරුණාව ද කියලා කියනවා නම්, අම්මා එයාට කිව්වේ
“ඔව් ඉතින් …. සර් කියන්නෙ ඔයාගේ ගෑණි නි.”
දැන් අපි මේ විදිහට ආසාවෙන් විනෝදෙන් අධ්යාපනය ලබමින් ඉන්නකොට, අපිට වැලි ඔරලෝසු ගැන පාඩමක් තිබුණා. සර් කිව්වා හැමෝටම වැලි ඔරලෝසු හදාගෙන එන්න කියලා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි ඒකට ඕන පරණ ගැහිච්ච විදුලි බුබුළු දෙකකුයි වැලි ටිකකු යි. කොහොම හරි මට වැලි ඔරලෝසුව හදන්න ලොකු උනන්දුවක් තිබුණෙ නැහැ. ඒ දවස් වල මම ගොඩක් ගෙදර පාවිච්චි කරන්න බැරිව ගැහිච්ච විදුලි බුබුළු හිමීට සුද්ද කරලා, එක ඇතුලේ තියෙන සූත්රිකාව අයින් කරලා නොයෙක් දේවල් කරලා තියෙන්නවා. තෝමස් අල්වා එඩිසන් මාරම ගේමක් දීලා විදුලි බුබුල හොයා ගත්තා, අපේ මිනිස්සු විදුලි බුබුල කුප්පි ලාම්පුවක් කලා. මමත් කළේ ඒ වගේ දේවල්.
කොහොම හරි විදුලි බුබුලක් හරිගස්සලා ගන්න එක හරිම හිමින් සීරුවේ කරන්න ඕන සූක්ෂම වැඩක්. තියුණු ආයුධයකින් කළුපාට පරිවරණය ට ගහලා කඩන්ඩ ඕන. මෙහිදී ඇලුමිනියම් ආවරණය කැඩෙන් නැති වෙන්නත් ඕනි, තුනී වීදුරුවකින් තැනිච්ච බල්බය කැඩෙන්නේ නැති වෙන්නත් ඕනි. ඊට පස්සේ, බල්බය ඇතුලේ තියෙන වීදුරු නලය මගින් ආධාරක කම්බි වලින් රැදවූ සූත්රිකාව බල්බය නොබිඳවා එළියට ගන්න ඕනි. බල්බයේ කට සූත්රිකාව රැඳ වූ කොටසට වඩා කුඩා නිසා එයත් ටිකක් ලේසි වැඩක් නෙවෙයි. විදුලි බුබුළු පහක් ගත්තොත් එකක් හෝ දෙකක් හෝ තමයි හරියට හරිගස්ස ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඔය කට්ට කන්න බැරි හින්ද වැඩේ කල් දදා හිටියා. අන්තිමට දැන් හෙටයි කියලා ඕක මට කර ගන්න බැරි උනා. ඒක එච්චර මම ගණන් ගත්ත නැහැ. පහුවදා උදේ විද්යාවට විද්යාගාරයට ගියාට පස්සේ සර් ට තේරුණා වැඩිදෙනෙක් වැලි ඔරලෝසුව හදාගෙන ඇවිල්ල නෑ කියලා. සර් කියපු එක කරගෙන ආවේ නැහැ කියලා දැන් සර් ට හොඳටම තරහ ගියා. කොනක ඉඳං හදාගෙන ආපු නැති ළමයින්ට හිට ගන්න කියලා වේ වැලක් අරගෙන එක්කෙනාට එක බැගින් ගහගෙන එනවා. මම ඉන්නේ ඉස්සරහම පේළියේ. පන්තියේ අනිත් පැත්තෙ ඉඳල තමයි දැං ගහගෙන එන්නෙ. දැන් මාත් ඉන්නවා දෙලෝ රත් වෙලා. මං ගාවට තමයි අන්තිමට ආවේ.
“ආඅඅ ක්රිස්ටිගේ නංගි නේද, ඇයි අයියට කිව්වා නම් හදලා දෙනවා නේද?”
සර්ගෙ ප්රධාන ගෝලයාගේ නංගි වීමේ පුණ්යානුභාවයෙන් ප්රසාද දීමනාවකුත් එක්ක කෝටු පාරවල් දෙකක් ම හම්බුනා චටස් චටස් ගාලා. එතකොට තමයි මම දන්නේ සර් මම ක්රිස්ටිගේ නංගි බව දන්න බව. ඒ වෙලාවේ මගේ හිතට එන දේවල්,
“මේ අපේ මෝඩයා හින්දා මං විතරක් කෝටු පාර දෙකක් කෑවා. කිව්වා නම් හදලා දෙයි මේ කියලා. අනික මේ වැලි ඔරලෝසුවක් හදාගන්න එක මහා ලොකු වැඩක් ද අයියට කියලා හදාගන්න තරම්? සර් දන්නෑනෙ එයාගේ ගණන් හම්.”
අපේ අයියා හෙන සැරයි ඒ දවස් වල. අපි දෙන්න හැමදාම වලි. දැන් මට එයත් එක්ක මාරම තරහයි. සර් එක්කත් තරහයි. මට මතකයි එදා දවසම මට හෙන අවුල්. ඊට කලින් මං ගුටි කෑව කියලා මතකයක් නැහැ ගුරුවරයෙක්ගෙන්. මං ඉතින් අසරණයා වගේ මොකුත් කිව්වෙ නෑ ගෙදර ගිහිල්ලා අයියට වත් කිව්වේ නැහැ මතක විදියට.
මගේ සිතේ තරහ නිමුන් නෑ. මං ගෙදර ගිහිල්ලා බල්බ හොයා ගෙන, ඒවා සුද්දකරලා අරගෙන වැලි ඔරලෝසුවක් හදාගත්තා. දැන් තරහෙන් තමයි මේ ඔක්කොම කළේ. පහුවදා ඉතින් මේකත් අරගෙන සිලි මල්ලක දාගෙන දැං යනවා ඉස්කෝලේ. කොහොම හරි එදා බස් එක තිබුන් නැහැ. ටිකක් දුර පයින් එහෙම ගිහිල්ලා කෝච්චියේ තමා අන්තිමට ගියේ. මේ කෝච්චියේ යන කොටත් මහා පරිස්සමෙන් මේක ළඟ තියාගෙන ගියේ. තාම මතකයි එදා මම හිටගෙන තමයි ගියේ වාඩිවෙන්න හම්බ වුණේ නැහැ. දැන් අන්තිමට කෝච්චිය නැවතුම්පොළ ට ඇවිල්ලා නවත්තනවා නේ, එතකොට දඩං ගාලා එයා ගැස්සෙනවා නේ, මං කීවේ කෝච්චිය ගැස්සෙනවා නේ. එතකොට මාත් ගැසිලා වැටෙන්න ගිහිල්ලා මගේ අතේ තිබ්බ වැලි ඔරලෝසුව පුටුවක වැදිලා එක බල්බයක් තුවාල වුණා. අපරාධෙ ආය ඉතින් ඒකෙන් වැඩක් නැහැ. දැන් ඉතින් ඒකටත් තරහයි. ඉස්කෝලේ ගියාට පස්සේ ආයෙ සර් වැලි ඔරලෝසු ගැන බැලුවේ නෑ. මං ඒක පැත්තකට විසි කරලා නිකන් හිටියා.
ඒ දවස් වල දැනං හිටියා නම්, ගුරුවරුන්ට ළමයින්ට ගහන්න අයිතියක් නෑ කියලා. මම එදා අපහසුතාවයට පත් වෙච්ච එක නැති වෙන්න තිබුණා. ළමයි කොච්චර බයයි ද ගුරුවරුන් ට. ඒක මහා අනියත බයක්, බොරු දෙයක්. කෝම හරි මම එදා නීති මාර්ගයට ගියානම් මට වඩා අපහසුතාවයට පත් වෙන්නේ සර්.
ඒ සර් හරිම හොඳ කෙනෙක්. 9 වසරේදී ත් විද්යාවේ ඉගැන්නුවේ එයා. මායි මගේ යාළුවෝ දෙන්නයි සෑහෙන්න කුලුපග වුනා සර්ත් එක්ක. මට තාම මතකයි සමහර වෙලාවට සීසන් ගන්න දවසට සල්ලි ගේන්න බැරි වුණාම සර්ගෙන් තමයි ඉල්ලන්නේ.
“චාන්දනී, ඔය කබඩ් එකේ දොර අරින්න කො, ඒකෙ තියෙනවා පෙට්ටියක්, ඒකෙන් මෙත්ම ට ඕන ගාන අරන් දෙන්න.”
පස්සේ ඉතින් අපි සල්ලි ගෙනල්ලා ඒ පෙට්ටියට දානවා. අපි කීයක් ගත්තද කීයක් දැම්මද කියලවත් සර් බලන්නේ නැහැ. අපි 9 දී, සාමාන්ය පෙළ ප්රශ්න පත්රයේ ගණන් සර් අපිට හදන්න දුන්නා. මට ඒ ගණන් පවා තාම මතකයි. ඒ නොයෙක් වෙත කියෙව්වා උදාහරණත් තාම මතකයි.
සර් ට අපි තාමත් ආදරෙයි.
කොහොම නමුත් ළමයින්ට ගහන එක මං පිළිකුලින් හෙළා දකිනවා. ගොඩක් වෙලාවට ළමයි ගුටි කන්නේ ඒ කරපු වැරැද්දට වඩා ඒ වැඩිහිටියන්ට ආපු තරහ නිසා. නීති මාර්ගයට ගියානම් ගුරුවරුන්ට හෝ ඒ දෙමව්පියන්ට හිරේ පවා යන්න සිද්ධ වෙන ලොකු වැරැද්දක් ඒක.
ප.ලි.
ළමයි යම් යම් අවස්ථාවල වැරදි කරනවා. ඒවට දඬුවම් දෙන එක වැරදි නැහැ. වැරැද්ද දරුවන්ට අප උත්සන් එක බනින එක සහ මානසිකව පීඩාවට ලක් කරන එක. ටිකක් මොලේ පාවිච්චි කරල බැලුවා නම් දරුවා කරපු වැරැද්ද තේරෙන්නෙ එය නැවත නොකරන්න හරි ලස්සනයි දඬුවම් දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් වැලි ඔරලෝසුව දාගෙන ආපු නැති ළමයි ට ටික වෙලාවක් හිටගෙන ඉන්න කිව්වනං ඒ ඇති.
උපුටා ගැනීම: Methma Rajamuni

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!