අයියෝ ඔික ඔච්චර හිතන්න එපා….
ඊයේ හවස මාගේ වාහනය එන තෙක්, වැඩ නිම වී යුහුසුලුව ඒ මෙි අත ඇදෙන මිනිසුන් සහ ගැහැණුන් දෙස ද ඒ අතර ලස්සන ඇදුමක් දුටුවහොත් දෙවතාවක් ඒ ලස්සන රස විදිමින් ද සිටියදී එකවරම නෙතට එතරම් සුලබ නොවූ දසුනක් මම හදිසියේ දුටුවෙමි.
උසින් ඉතා අඩු වූ (අඩි 2ක වත් උස නොවූ) වැඩුණු කාන්තාවක් වැඩට යන ඇදුමින් හෑන්ඩි බෑගයක් ද (එය කොට පටියකින් දවටා තිබුණ ද ඇගේ දණහිස දක්වා දිගට වැටී තිබුණි) ගෙන මා ඉදිරියෙන් ඇවිද යමින් සිටියාය. බැලු බැල්මට දුටුවේ එපමණක් වුවද ඊට වඩා විශේෂයෙන් ඇය දෙස බලන්නට මම බිය වීමී. ඒ, මාගේ විශේෂ බැල්මකින් වුවද නාදුනන ඇගේ හිත රිදිය හැකි බව වැටහුණ නිසාය. ඉතින් නැවතත් ඇය දෙස නොබලන්නට මම හිතා මතාම පරෙස්සම් වීමි. එහෙත් ඇය මා පසු කර ගිය පසුව මම ඇය දෙස නැවතත් බැලීමි.
ඇගෙන් දිස් වූ සෑම පෙනමුක්ම ඇය රැකියාවට ගොස් නැවත නිවස බලා යන්නියක් බවට තහවුරු කරමින් තිබිණ. එය එසේ නම්, ඈ කෙතරම් දිරිමත් හිත හයිය ගැහැණියක විය යුතු දැයි මට සිතිණ. ඇගේ උගත්කම හෝ රැකියාව ගැන දැනුවත්කමක් නැතත්, ඇය මෙන් නොව පරිපූර්ණ ( සමහරවිට ඉතා සුන්දර) සිරුරින් උපන් උපාධිය පවා සම්පූර්ණ කර, දෙමාපියන්ගේ වියදමින් නිවසට වී රැකියාවක් කටට වැටෙන තුරු බලා සිටින තරුණ තරුණියන් සිටින රටක ඇය කෙතරම් ඉදිරියෙන්දැයි මම ආදරයෙන් සිතුවෙමි..
ඒ සමගම, යම්තම් අඩි පහක් උසැති නියමිත බරට වඩා කිලෝග්රෑම් 3, 4කින් වැඩි බරැති සිරුරක් හිමි මම ම “කොට /මිටි ” යැයි කෙතරම් වාරයක් අසාගෙන ඇත්දැයි මට සිහියට නැගිණි. මාගේ මිතුරියන් බහුතරයක් මාගේ සම උස වන අතර අගලක දෙකක වෙනසක් හැර වඩා උස මිතුරියක ගැන මතකයක් නැති තරම්ය. මා එයින් අදහස් කළේ මා ඉතාම සාමන්ය සිරුරක හිමිකාරියක වී සිටිය දී ද අනේක වාරයක් “කොට /මිටි ” කතාව උපහාසාත්මක හඩවල් වලින් අසා ඇත්තෙමි. වරක් දෙවරක් අසන විට වෙනසක් නොමැති වුව ද, නිතර නිතර අසන විට කුඩා හෝ රිදීමක් නොදැනේ යැයි කියන්නේ නම් ඒ මුසාවකී.
“උස නැති වීම” යතාර්ථය බව සැබෑය. එහෙත් ඒ යතාර්ථය පසක් කරවීමට නිතර නිතර එය ඇණ ඇණ කිව යුතු ද..
“අයියෝ ඔික ඔච්චර හිතන්න එපා…. “කතා කියා අවසන ඔිනෑම කෙනෙක්ට කිව හැකිය. නමුත් දරා ගැනීමේ හැකියාව අඩු පුද්ගලයෙක්ට මානසික කඩා වැටීමක මුල එවැනි විහිලුවකින් වුව ද ඇරඔිය හැකිය යන්න විහිලුවක් නොවේ.. විහිලු කර සිනා වී සිටීම ඇත්තටම සුන්දර දෙයකි.. එහෙත් තවකෙකු ගේ අඩුපාඩුවක් විහිලුවට ගැනීම එක්තරා ආකාරයක වද බන්ධනයක් ද වේ.
ලොව සුන්දරම ගැහැණියගේ වුවද පුංචි හෝ අඩුපාඩුවක් පැවතිය හැකිය. සියල්ල සම්පූර්ණ ගැහැණුන් මිනිසුන් ලොවෙහි නැත.
අනෙකාට මිටි යැයි කියා විහිලු කරන්නේ උස අයය. එසේ කියන විට ඇති වන හැගීම ඔවුන් දන්නේ නැත. අනෙකාට කලුයි කියා විහිලු කරන්නේ සුදු අයය. එසේ කියන විට දැනෙන හැගීම සුදු අය අත්විදින්නේ නැත. මහත යැයි කියා උපහාසයට ලක් කරන්නේ කෙට්ටු අයය. කැතයි කියා විහිලු කරන්නේ ලස්සන අයය. ඒ ආකාරයට ඔිනෑ තරම් කියාගෙන යා හැකිය..
සුදු පැහපත් දියණියක හා තරමක් කලු ( ඒ දරුවා මට නම් හරි ලස්සනය) පැහැති පුතෙකු සිටින තරුණ පියෙකු “මගේ කෙල්ල සුදු ලස්සන වුණාට, කොල්ලා කලුයිනේ නංගී” කියා මා සමගම කියූ කතාවක් මට මතකය. ඒ අයියා පැහැපත් නලුවෙක් මෙන් සුන්දර රුවක හිමිකාරයෙකි, දියණිය ඔහු වගේය. පුතා ඔවුන්ගේ මව වගේය. ඉතාම උගත්, බොහෝ ඉහළ රැකියාවක් හිමි ඒ තරුණ තාත්තාට පුතාගේ පැහැය ගැටලුවක් වන්නේ ඇයි දැයි ඇත්තටම මට දුක සිතිණි.. එසේ අසන විට ඒ දරුවාට කෙතරම් දුකක් දැනෙනවා ඇත් ද.. “මට නම් ඉතින් ඇත්තටම ලස්සන කලු පිරිමි ළමයි අයියේ ..” මම එදා ඔහුට පිළිතුරු වශයෙන් දුන්නේ මාගේ අවංකම අදහසය.
කිසිවෙකු සම්පූර්ණ නැති සේම සෑම කෙනෙක්ටම ආවේණික ලස්සනක් ද ඇත. මම නම් කෙනෙකුගේ සුන්දරත්වය අගයන්නට කිසිදා ලෝබ වන්නේ නැත. එසේම යමෙකුගේ යහපත පිණිස ආදරයෙන් කියනවා හැරෙන්නට අඩුපාඩු කියන්නට යන්නේ ද නැත.
මේ සියල්ලටම වඩා සුන්දර විය යුත්තේ – පරිපූර්ණ විය යුුත්තේ මිනිස් හදවත්ය. සොදුරු ගතිගුණයන්ය. අසම්පූර්ණකම් අභිබවා මිනිස්කම දිදුලන විට අසම්පූර්ණ දෑ ද ඉබේම සම්පූර්ණ වී යන්නේය. එවිට ඊයේ මා දුටු “ඇය” වැන්නවුන් ද අදට වඩා සිත නිවෙන පරිසරයක් තුල, ලබා ගත් මනුසත්කමෙහි සොදුරු බව තම වර්ගයාගෙන්ම අත්විදිනු නිසැකය …
ආදරේන්

උපුටා ගැනීම: Anjana C. Mapa