පසු ප්රේම අවධියෙ ඤෑස් ඤූස් ගෑවට මුල් ප්රේම අවධියෙ ඔය කොයි කවුරුත් ඕන කට්ටක් කාගෙන තමංගෙ ආදරේ ඔප්පු කරන්න ඉදිරිපත් වෙනවනෙ.වීර මද්දුම බණ්ඩාරගෙ අල්ලපු ගෙදර අක්කගෙ පුතා වගේ ආදරේ ඉස්සරහ දිවි පරදුවට තියන්න පපුව ඉස්සරහට දාං එන යාලුවෙක් හිටියා අපෙත්. ඉස්සරහට දාං ඉඳලම ලොකු පපුවක් තියනව දැන්.
කොලුවා ප්රේමෙන් වෙලිලා ඇඹරිලා මිරිකිලා හිටියෙ ගෙවල් වලට ලඟ ගෙදරක ගෑල්ලමේක් එක්ක. උණහපුළුවට උගෙ මැණික පැටියෙක් කියනවනෙ, මිනිහටත් ඕකෙන් එහා ලෝකයක්වත් ආලෝකයක්වත් තිබ්බෙ නෑ. කිරි වලින් නාලා පැණි හැලියට වැටිච්ච කොස් ඇට මීයෙක් වගේ ඒ කෙල්ල පස්සෙම එල්ලිලා හිටියෙ. කොච්චර එල්ලිලාද කියනවනම් ගෙවල් දෙකටම නෝන්ඩි වෙනකම් මිනිහා පියවි සිහියට ආවෙ නෑ. කොහොමහරි ගෙවල් දෙකෙන්ම මේක දැනගත්තට පස්සෙ මේ දෙන්නා නාහෙ වහපු මැස්සා එලවන්න අත උස්සන එකේ ඉඳන් දවසට තුන් පාරක් වැසිකිලියට යන එක ගැන පවා අවදානෙන් හිටියෙ.. ඒ මොනව උනත් ඔය තාඩන පීඩන, වැටකඩොලු වලට උන්ව නවත්තන්න බෑ. වැලන්ටයින් දවසක රෑ මේකා වැටකඩොලු අස්සෙං රිංගලා කෙල්ලගෙ කාමරේට පැනගත්තා.
ඔය කාලෙ විභාගෙට රෑ වෙනකම් පාඩම් කරන කාලෙ. කාමරේ දොර වහගෙන පාඩම් කරද්දි අම්මලා කරදර කරන්නෑ. මේකා යක්කු ගස් නගින වෙලාවෙ අම්මලා නිදි අතරෙ පාරට පැනල කෙල්ලගෙ ගෙදර වැටකිනුත් රිංගලා ජනේලෙන් කාමරේට පැනගෙන.
වෙන මොහොකටවත් නෙමේ, රෑ 12ට තෑග්ග දීලා සුබපතන්න.
ඉතින් ඔහොම දත විකාගෙන ගෙට පැනලා දෙයියනේ කියල සුබපතලා තෑග්ග දෙනකොට කෙල්ලගෙ ගෙදර මිනිස්සුන්ට සද්දෙ ඇහිලා ඇහැරිලා. දෙන තෑග්ගක් නිස්සද්දව දෙන්නැතුව…
කොහොමහරි අම්මලා තාත්තලා රොත්ත පිටින් කාමරේට පනිනකොට මේකා යන්තම් ජනේලෙන්ම පාරට පැනගෙන. පාරට පැන්නට දුවන්න බෑ කෙල්ලගෙ ගෙදර අයට පේනවා. වැටෙන් පැන්න ගමන් තියන කාණුවට බැහැලා කොංක්රීට් බෝඩ් යටට වෙලා මේකා සුවඳ ඉවසගෙන ඉඳලා කෙල්ලගෙ ගෙදර මිනිස්සු හොයලා ඉවර වෙනකම්.
ඒ ගෙදර වැඩිහිටියොත් අකලට කෙස්ස පැහිච්ච උදවිය නෙමේ.. වැලන්ටයින් දවසෙ ගෙට පනින හොරා මොකාද කියල හිතාගන්න තරම් මොලයක් තිබිල තියනවා. ඒ නිසා වත්ත වටේ හොයන්න කලින් කොල්ලගෙ ගෙදරට කෝල් කරල පුතා ඉන්නවද අහන්න අමතක කරල නෑ..
මේකා කානුවෙන් නැගිටලා මඩ කුණු නාගෙන යන්තම් පණ බේරගෙන ගෙවල් පැත්තට බඩගානෙන එනකොට මුලු ගෙදරම ලයිට් දාලා අම්මලා සැදී පැහැදී ඉන්නව පුතාව පිලිගන්න.
මෙච්චර බේරිච්ච එකේ අන්තිම මොහොතෙ මැරුම් කන්න හිත හදාගන්නෙ කොහොමද.. කොලුවා ගෙවල් පාරෙ බිම වාඩි වෙලා කල්පනා කරනවා කොහොමද පණ පිටින් කාමරේට යන්නෙ කියල.
දැනටමත් මඩ ඇඳුමෙයි ඇඟෙයි. මේකා කරපු වැඩේ ආපහු හැරිල ගිහින් මඩ වලක් හොයාගෙන ඔලුවෙ ඉඳන් හැමතැනම මඩ ගාගත්තා. දැන් මිනිහා වන්නි මෙහෙයුමට ෆේස් කරන්න කැලේ මැදින් යන්න ලෑස්ති වෙන ත්රස්තවාදියෙක් වගේ.
කොණ්ඩෙත් අවුල් කරගෙන ඇඳුම පොඩි කරගෙන පිස්සෙක් වගේ ඔලුවත් අත් දෙකෙන් අල්ලගෙන මේකා ගෙට ගොඩ වෙනකොට බය වුණ පාර ගෙදර මිනිස්සු දුවගෙන ඇවිත් තිබුනේ අතේ තිබ්බ පොලු මුගුරු බිම දාලා..
කෙල්ලගෙ ගෙදරට හොරු පැනපු එක මතක නෑ අම්මලට.
“අනේ මම පාඩම් කර කර හිටියෙ අම්මේ.. එහෙම්ම මේසෙ උඩ නින්ද ගියා. නැගිටිනකොට හිටියෙ කානුවක වැටිලා ප්රධාන පාරටත් ටිකක් එහා.. මම දන්නෙ නෑ කොහොමද ගියේ කියලා”
අන්තිම මිනිහගෙ බොරුව කෙලවර වුණේ කට්ටඩියෙක් ගෙන්නලා පිරිත් කියලා, මතුරලා දාහක් ජාති කරලා. මේකට මලගිය පරාණ කාරයෙක් වැහිලා ඉන්නවා කියල කට්ටඩියටත් බර ගාණක් දීලා තොවිලෙකුත් නටන්න සිද්ධ වුනා.
පස්සෙ කාලෙක එදා තොරණෙ ඇත්ත විස්තරේ ගෙදරට ආරංචි වෙලා තිබ්බා. මිනිහා ගුටි කාපු විදිය ඒකටවත් මතක නැති වෙන්නම තාත්තා සලකලත් තිබ්බා.
මං හිතන්නෙ ඒකෙන් පස්සෙ ඒ ගෙදර අයට කට්ටඩියො අරහං.
ඒ අකලංක ප්රේම කතාවත් ඒ ලෙවල් ලියල ඉවර උනාම ඉවරයක් වුණා.
උපුටා ගැනීම: Thakshila Sri Pathum