“අක්කෙ ලෝන් එකක් දෙනවකො”
“තමුසෙ හිතුවද මං සල්ලි ගස් වලින් කඩනව කියලා යනව යන්න”
“පඩි ගත්තම දෙන්නං හලෝ. බයික් එකට පෙට්රොල් ගහන්නවත් කීයක්වත් නෑ.”
“එහෙනම් බස් එකේ යනව”
“හොරෙන්ද බස් එකේ යන්නෙ. අතේ සතයක්වත් නෑ”
“ඇයි ක්රෙඩිට් කාඩ් තියෙන්නෙ”
“ඒක එක්සීඩ්”
“මොකක්”
“ඔව් ගිය මාසෙ 16 වෙනිදා මගේ පරම ලව් කෑල්ලට උපන්දිනේට තෑග්ගක් අරන් දුන්නා”
අක්කාට හීල්ලුනා.
“තමුසෙ හැදෙන එකෙක් නෙවෙයි. මෝඩයා”
කියාගෙන කාමරෙන් ගියා.
අක්කා…
මං පොඩි කාලේ මාව හදන්න අම්මා දුක් විඳින්න ඇති. ඒත් මං තේරෙන වයසට ආදා පටන් මගේ සියලු කරදර දුන්නෙ අක්කට.
අක්කා මාව හෝදනව, නාවනව මට මතකයි. පුයර තළියක් මගෙ මූණෙ උලල ඇඳුම් අන්දල දැන් පාඩම් කරන්න කිව්වට ඒ සැනින් ආපහු දුවල සෙල්ලම් කරල මඩකරියෙක් වගෙ ගෙට එනකොට අක්කට යකා වැහෙනව.
“ඔහොමම හිටිං අම්මා එනකම් . හම්බවෙයි හොඳට සබ්බුව” කේන්තියෙන් බණින අක්කා ආපහු මාව හෝදල හරකෙක් ඇදං යනව වගේ ඇදං යන බුදු පහණ තියන්න
තාත්තා නැතිවෙනකොට මට අවුරුදු තුනයි අක්කට එකොළහයි. අර්ථසාධකෙත් එහෙමට ලොකු ගෑණක් තිබිලා නෑ අම්මට ලැබෙන්න. ගේත් බාගෙට හැදිලා තිබ්බෙ. අම්මා අපි ඉන්න ඉඩමෙන් පොඩි කෑල්ලක් විකුණලා ගේ හදලා ඉවරකළා. පස්සෙ කාලෙක තව කෑල්ලක් විකුණල පොඩි ගෙයක් හදල කුළියට දුන්නා.
ඊටපස්සෙ තමා අම්මා රස්සාවකට ගියෙ. තාත්තා මැරුණ එකෙන් අම්මට වඩා දුක් වින්ඳෙ අක්කා කියලයි මට හිතෙන්නෙ. අම්මා වැඩට යන නිසා අක්කත් උදේ අම්මත් එක්ක ඇහැරුණා අම්මට උදව් වෙන්න. ඉස්සර අම්මා අපිව ඇහැරුවාම අපි දෙන්නා නැගිටලා වරුවක් ඇඳේ ගුස්ති අල්ලනව. මරා ගන්නව. අම්මා ඇවිත් ආපහු කෑ ගහනකම් මරාගන්නව. ඒත් තාත්තා නැති උනාට පස්සෙ අක්ක නැගිට්ට ගමන් කුස්සියට ගියා.
අක්කා නැතිව උදේ ඇඳේ රංඩු නැතුව මට තිබුණ පාළුව, තාත්තා නැති පාළුව. තාත්තා නැතුව පවුලක බර අදින අම්මගෙ දුක පාළුව සේරම අක්කට තේරුණා. එයා හැම වෙලේම අපි දෙන්නා ළඟින් හිටියා. එයා දුක්ගන්නා රාළ උනා අපි දෙන්නගෙ.
මං ඉස්කෝලෙ යන්න ගත්තට පස්සෙ අක්කා තමා මාව ඉස්කෝලෙට ඇරලුවෙ. අම්ම වැඩට ගියා. අපි දෙන්නා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් තාත්තගෙ නංගිගෙ ගෙදරට වෙලා අම්ම එනකම් හිටියා. නැන්දා අපිව බලාගත්තෙ. මට මතකයි නැන්දා අක්කට කියනව
” සුමී දුවේ කාලා ටිකක් නිදියන්න. ඔයා පාන්දර ඇහැරෙනවනෙ” කියලා. අක්කා මාව නැන්දට බාර දීලා නිදියනව. වසවර්ති මාර පැටියෙක් උන මගෙන් අක්කා පොඩ්ඩකට නිදහස් වෙන්නෙ ඒ වෙලාවට විතරයි.
ආපහු ගෙදර ගිහින් මමයි අක්කයි පාඩම් කරනකම් අම්මා උයනව. සිංහලයි බුද්ධාගමයි අම්මා ඉගැන්නුවා.. අනිත් ඔක්කොම අක්කා කියලා දුන්නා.
අක්කා සාමාන්ය පෙළ කරද්දී අපි දෙන්නා නැන්දලාගෙ ගෙදර නොඉඳ කෙලින්ම ගෙදර ආවා. අපි කාලා ගෙවල් අස්කරලා අතුගානව . මං සෙල්ලම් කරන්න ගියාම අක්කා රෑට කෑම හදනවා. හවස බුදුපහණත් තියලා පැයක් විතර ගියාම අම්මා එන්නෙ.
ඒ විදියට ගලා ගියේ අපේ ජීවිත. අක්කා යුනිවර්සිටි තේරුණාමත් මං ඉස්කෝලෙ යනවා. අක්කගෙ ප්රථම ප්රේම යුනි එකේදි හමු උනේ. ඒ කතාව වෙනමම ලියන්න ඕන. අක්කා ප්රේමයෙන් පැරදුනා.
යුනි එකෙන් අයින් වෙලා මැනේජ්මන්ට් ට්රේනි ජොබ් එකකට මං යන්න හිටියා. අක්කා මාව එක්කං ගිහින් රුපියල් විසිපන්දාහක විතර ඇඳුම් සපත්තු ටයි අනං මනං සේරම අරන් දුන්නා. අන්තිමට රුපියල් 10000/- ක් මට දීලා කිව්වා
මේක අම්මා දුන්නෙ මලූ ඕන දෙයක් ගන්න
මං රැකියාවට ගියදා තදින්ම හිතාගත්ත දේ තමයි අක්ක වෙනුවෙන් ජීවිතේ තියනකම් හැම මාසෙම මුදලක් වෙන් කරලා තියනව. අක්කගෙ විවාහය මගේ වියදමෙන් කරනව කියන එක. අම්මව මං බලාගන්නව කියන එක.
ඒත් වලක් බැස්සම ඔක්කොම අමතක වෙන නිසා මං අම්මගෙ ගිණුමට පඩි ගත්ත ගමන් සල්ලි යන්න ස්ටෑන්ඩින් ඕරඩර් එකක් දාලා තියෙන්නෙ.
නමුත් හැම මාසෙම අක්කගෙන් මං හය හත්දාහක් ලෝන් ගහනවාමයි.
ගිය මාසෙ අක්කගෙ උපන් දිනේට ක්රෙඩිට් කාඩ් එකේ තිබ්බ සේරම වියදම් කරලා අක්කට අත් ඔරලෝසුවක් අරන් දුන්නා.
එයා ඒක බැඳං මගේ මුණ මිරිකලා උඩ පැන්නා.
අම්මා අපි දෙන්නා දිහා බලං සතුටු වෙනව. තාත්තා හිටියා නම් කියලා අම්මා හැමවෙලේම කිව්වත් ඒ දෙන්නට තරම් මට තාත්තා නැති අඩුව දැනිලා නෑ.
ඒත් අක්කා මගේ ජීවිතේ අර්ධයක්. මං හිතන්නෙ අක්කලා හැමෝම එහෙම තමා. මතක ඇති කාලෙක මං අක්කා ගෙදර ඉන්නවා නම් අම්මගෙන් බත් ඉල්ලලා නෑ.
මගෙ අක්කා අම්මා එක්කම බුදුවෙන අක්කෙක්. සිහින් කඳුළු පටලයක් දෑසේ වෙළෙද්දි අක්කාගේ රූපය බොඳවී කාමරයේ දොර ළඟ පේනවා.
” මලූ ( අක්කා මට මල්ලී කිව්වෙ නෑ මලූ කිව්වෙ) කීයක්ද ඕන තමුසෙට”
උපුටා ගැනීම: Rathna Perera