අක්කා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“පස්සට එළිය වැටෙන කල් ගෑණු බුදියනවාද?”
අක්කාගේ හඬින් මම අවදි වීමි. ඇය අපේ කාමරයේ දොරට තඩිබාන බව මට අවබෝධ විය. මම තද නින්දේ පසුවන මගේ බිරිඳ දෙස බැලුවෙමි. පොරවන රෙද්දෙන් ඇගේ මුළු සිරුරම ආවරණය කර මම දොර හැරියෙමි. අක්කා දොර අසල හිටගෙන සිටියාය. ඇගේ කෙස් අවුල් වී තිබුණි. අවදි වූ පසු කොණ්ඩය පීරණ පුරුද්දක් අක්කාට නැත.කට දෙපැත්තේ කුණු කෙළ වේලී තිබුණි.
“මොකද අක්කේ කෑ ගහන්නේ?”
මම තරහෙන් ඇගෙන් ඇසුවෙමි. ඇගේ හඬ බාල විය.
” කෑ ගහන්නේ නැතුව පුළුවන් ද?ගෑණු එළිය වැටෙන කල් බුදියන්නෙ නෑ”
ඇය පවසද්දී මම කෑ ගහන්න එපා යැයි ඇයට අතින් සංඥා කළෙමි.සුනීතා ඇහැරෙණු ඇතැයි මම බිය වීමි.
“අපි කවදාවත් රෑ එළි වෙනකල් බුදියන්නෙ නෑ”
අක්කා කෝපයෙන් පැවැසුවාය.මම අක්කාගේ අතින් ඇදගෙන කුස්සිය දෙසට ගියෙමි.
” අක්කා රස්සාවක් කරනවද?අර මනුස්සයා සතියේ දවස් ටිකේම රස්සාවට ගිහිං මැරිල මැරිල නිදහසේ බුදියගන්ඩ තියෙන්නේ අද විතරයි”
මම අක්කාට තදින් පැවැසීමි. ඇය මා දෙස රවා බැලුවාය.
” රස්සාවල් කොරන්ඩ බැරි නං ගෙදර ඉන්ඩනෙ තියෙන්නෙ. ගෙදර දොරේ වත්ත පිටියේ වැඩක් කරගෙන හිටිය හැකිනෙ”
අක්කා තම මතයේම එල්බ ගෙන එය සාධාරණීකරණය කිරීමට වෑයම් කළාය. මට මගේ දවසම අප්රසන්න වුණු බවක් දැනුණි.
“ඔව් ඔව් අක්කා වගේ වුණා නං ගෙදර වැඩ කරගෙන ඉන්ඩ තිබුණා. මහන්සි වෙලා ඉගෙන ගෙන ගෙදරට වෙලා ඉන්ඩ කියලද අක්කා කියන්නේ?
මම කෝපයෙන් පැවැසීමි.
“හඃ, ගෑණි ලොකු වෙලා”
ඇය පවසනු මට ඇසුණි. මම කිසිත් නොපවසා එතැනින් පිට වුණෙමි. මම කාමරයට යනවිට සුනීතා අවදිව සිටියාය.ඇය ඇඳේ වාඩි වී කොණ්ඩය පීරමින් සිටියාය.
“ඔයා කොහෙද ගියේ?”
ඇය මා දෙස බලා ඇසුවාය. වෙනදා පෙනෙන සුන්දර සිනහව ඇගේ මුහුණේ නැතැයි මට සිතුණි.
“එළියට ගියා”
මම ඇය දෙස නොබලා පිළිතුරු දුන්නෙමි.
“අපි තව ටිකක් නිදා ගම්මු”
මම ඇයට පැවසුවෙමි.ඇය කට කොණකින් සිනාසුණේ සමච්චලයට මෙනි. මට මහත් අපහසුවක් දැනුණි. මම ඇය අසලින් වාඩි වුණෙමි. ඇය ඇඳෙන් නැගිට්ටාය.
” ඇයි නැගිට්ටේ?”
මම ඇසුවෙමි.
“උයන්ඩ යන්ඩ”
ඇය පිළිතුරු දුන්නේ නුරුස්නාවෙනි.
“උයන්ඩ? ඔයා ඊයේත් රෑ වෙලා ආවේ. සතියෙම නැහිලා නැහිලා අදත් පාන්දර නැගිටින්න බෑ නෙ. ඔයා නිදා ගන්න”
මම ඇයට පැවසුවෙමි. ඇය ඇගේ කොණ්ඩය තනි කරලකට ගොතණු මම දුටුවෙමි. ඇය මා දෙස නොබැලුවාය. රතු මල් වැටුණු කොට ගවුමක් ඇඳ කණ්නාඩිය අසලට ගොස් හැඩ බලන අයුරු මම බලාගෙන සිටියෙමි. ඇය මා පැවසූ වදන් නෑසුණ ලෙසින් හැසිරෙන අයුරු දැක මගේ සිතට සියුම් තරහක් ඇතුළු විය.
” ඇහුනේ නැද්ද මං කිව්වා තව ටිකක් නිදා ගම්මු කියලා? ” මම ඇසුවෙමි. ඇය කෝපයෙන් මදෙස බැලුවාය. ඇගේ දෑසින් ගිනි පුළිගු පිටවෙන්නාක් මෙන් මට දැනුණි.
“නිදාගන්න තිබුණා අපි දෙන්නා විතරක් මේ ගෙදර හිටියනං”
ඇය තදින් පැවැසුවාය. අක්කාට ඇගේ රළු වදන් ඇසෙතියි මම බිය වීමි. එසේ වුවහොත් උදේ පාන්දර නිවසේ රණ්ඩුවක් ඇති වනු ඇත. අහල පහල නිවෙස් වලට ද දෙදෙනාගේ කෑකෝ ගැසීම් ඇසෙනු ඇත. මගේ සිත බියෙන් වේළුණි.
“හරි හරි ඉතිං ඕකට කෑ ගහන්න දෙයක් තියේද? ” මම සුනීතාගෙන් ඇසුවේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් ඇය මහ හඬින් අක්කාට බැන වැදුණි.
“මේ කුණු ගොඩක් ගේ අස්සේ දාගෙන. අක්කෙක් ඉන්නවා කිව්වට මෙහෙම මළ වදයක් කියලා මම දන්නේ නෑ නෙ. දැනගෙන හිටියනං මං කැමති වෙන්නේ නෑ”
ඇගේ හඬ නිවසේ දෝංකාර දෙන්නාක් මෙන් මට ඇසුණි.
“මල්ලි ගෑණියෙක් එක්ක යාළුයි කියද්දී මම හිතුවා මේ ගෙට සිරියාවක් ගෙනෙයි කියලා.අන්තිමේ කොහෙද යන තේ උඩිච්චියක් ගෙනාවා සනුහරේම දැළි ගාල”
අක්කා සාලයේ සිට බැන වදිනු මට ඇසුණි. මට කිසිත් සිතා ගත නොහැකි විය. බිරිඳත් අක්කාත් දෙදෙනාම නොනැමෙන දරදඩු ගැහැණු දෙදෙනෙකු යැයි මට සිතුණි.මම මහ හඬින් අප කාමරයේ දොර වැසුවෙමි. සුනීතා මා දෙස භීතියෙන් බලා සිටියාය. මම ඇඳේ වාඩි වුණෙමි. හිස පුපුරන්න තරම් වේදනාවක් මට දැනුණි. මම ඇඳේ දිගා වුණෙමි. සුනීතා මා අසලින් වැතිරෙණු මට දැනුණි. මම ඇය මා අසල සිටි බව නොදැනුණා සේ දෑස පියා ගෙන සිටියෙමි. මගේ සිත පැටළුණු නූල් බෝලයක් සේ අවුල් වියවුල් වී ඇති බව මට දැනුණි.
නොදැනීම නිදි දෙව්දුව මා වෙළා ගන්නට ඇත. දෑසට එළියක් වැදෙනු මට දැනුණි. ජනේලයේ වීදුරුවෙන් හිරු එළිය කාමරය තුළට ගලා එමින් තිබුණි. ඇඳේ සිටියේ මා පමණි. සුනීතා කාමරය තුළ නොසිටියාය. මම සැණෙකින් නැගිට්ටෙමි. අපේ කාමරයේ දොර විවරව තිබුණි. මම ඉක්මනින් කුස්සියට ගියෙමි. සුනීතා හොද්දක් හැඳි ගාමින් සිටියාය. අක්කා පෙනෙන්නට නොසිටියාය. මම ඇය ඇගේ කාමරයේ සිටී දැයි බැලුවෙමි.ඇය එහි සිටියේ නැත. වැටුණු පොල් අහුලන්නට අක්කා වත්ත පහළට යන්න ඇතැයි සිතී මම එදෙසට ගියෙමි.ඇය එහිද නොසිටියාය. මට නින්ද ගොස් සිටියදී අක්කාත් සුනීතාත් රණ්ඩු වී ඇය නිවස හැරදා යන්න ඇත්දැයි මට සිතුණි.සිත බියෙන් වෙළුණි. මම කුස්සියට ගියෙමි.
“අක්කා නෑ නෙ”
මම සුනීතාට පැවසුවෙමි . ඇය හොදි ස්වල්පයක් හැන්දට ගෙන සීරුවට ඊට පිඹ අතකට දමා රස බලන අයුරු මම දුටුවෙමි.
“ඔච්චර දඟලන්නේ මොකටද?ළමිස්සියෙක් නැතිවුණා නම් බයයි ඕං. මේ නාකි ගෑණු කවුරු ගෙනියන්ඩද?”
ඇය සිනාසෙමින් පැවසුවාය. ඇගේ වදන් තුළ වූයේ සැහැල්ලුව කි. මම කුස්සියේ තිබු ලණු ඇඳේ වාඩි වුණෙමි. සිත වේදනාවෙන් පිරී තිබුණි. මා දෑසට නැගුණු කඳුළු පිස දමනු දැක සුනීතා සිනාසුණාය.
” මෙන්න බොලේ පිරිමියෙක් අඬනවා. ලැජ්ජාවෙ පණ යනවෝ” ඇය සිනා සලමින් පැවසුවාය. වෙනදාට මගේ සිත සනසන ඇගේ සිනහව මගේ සිත තව තවත් අවුල් කරන බැව් මට හැඟුණි.
“ඕකට ඔච්චර හිනාවෙන්න ඕනද? ඔහේට විහිළුවක් වුණාට ඒ මගේ අක්කා”
මම ඇයට කීවෙමි. මගේ වදන් කෝපයෙන් පිරී තිබුණ බැව් මට දැනුණි. මම ඇය දෙස බැලුවෙමි.ඇය කිසිත් නොකිව්වාය.ඇය මට තේ සාදනු මම දුටුවෙමි. ඇයට මගේ වේදනාව දැනෙන්නට ඇත.
“මේ තේ එක බොන්නකෝ”
ඇය මට තේ කෝප්පය දුන්නාය. මගේ උගුර කට වියළී ඇති බැව් මට දැනුණි. මම තේ උගුරක් බිව්වෙමි. තේ කෝප්පය ද රැගෙන අක්කාගේ කාමරයට ගියෙමි. ඇගේ බඩු බාහිරාදිය වෙනදා තිබු තැන්වල ම තිබුණි. කිසිදු වෙනසක් නැත. මම යළිත් කුස්සියට ගියෙමි. ලණු ඇදේ වාඩි වී තේ කෝප්පය සෙමෙන් තොල ගෑවෙමි. හිස අවුල් වී ඇත. කලයුත්තේ කුමක් දැයි මට සිතා ගත නොහැකි විය.
“සලාං”
මම තිගැස්සුණෙමි මගේ අතේ තිබු තේ කෝප්පය බිම වැටී ඇත. වීදුරු කැබලි ඒ මේ අත විසිරී තිබුණි. ඉතිරිව තිබු තේ බිම හැළී ඇත. මට සුනීතා දෙස බැලුණි. ඇය කිසිත් නොපවසා මා දෙස බලා සිටියාය. මම බිම බැලුවෙමි. ඉන්පසු ලණු ඇඳෙන් නැගිට්ටේ බිම පිරිසිදු කිරීමට ය.
“බලාගෙන. කකුල කැපෙයි වීදුරු කටු වලට” මට එසේ පැවසූ ඈ ඉතා සීරුවට වීදුරු කටු ඇහින්දාය.
“ඔයාට කරදරේ නේද?” මම ඇසුවෙමි.
“ඕක මොන කරදරයක් ද?” සුනීතා සිනා මුසු මුහුණින් මදෙස බලා පැවසුවාය.
“ඔයා ගොඩක් වෙලාද කුස්සියට ඇවිත්” මම ඇගෙන් ඇසුවේ අක්කා ගැන තොරතුරක් දැන ගැනීමටය.
” පැයක් විතර ඇති. මං එද්දි ඔයාට හොඳටම නින්ද ගිහින්. කුස්සියට ආවේ අක්කාගෙන් ඇනුම් පද අහන්න බලාගෙන”
මම සුනීතාගේ ඇස් දෙසම බලා සිටියේ ඇය මට පවසන්නේ ඇත්තක්දැයි පසක් කර ගැනීමටය.
” ඒත් මං එද්දි අක්කා හිටියේ නෑ. කුස්සියේ දොර නිකං වහලා තිබ්බේ”
ඇය පවසද්දී මගේ ඉහ මොළ රත් විය. දෙපා පණ නැති වන්නාක් මෙන් දැනුණි. මම උළුවස්සට බරදී දෑතින් ම හිස බදා ගතිමි.
“අනේ මගේ අක්කා.. දීගෙක ගියෙත් නැත්තේ මං බලා ගන්න කෙනෙක් හිටියේ නැති හින්දා. අක්කාගේ ජීවිතේ විනාස වුණා” මම කුඩා දරුවෙකු මෙන් ඉකිගසා හැඬුවෙමි. සුනීතා මා අසලට විත් මාව සැනසුවේ නැත. එහෙත් ඇය කුස්සියේ සිටි බව මට දැනුණි. මා මෙලොව තනිවී ඇතැයි මට සිතුණි.
“ආං අක්කා” සුනීතා පවසනු මට ඇසුණේ සිහිනයෙන් මෙනි. අක්කා කුස්සියේ දොර ළඟ සිටගෙන සිටියාය. ඇගේ අතේ වළං දෙකක් තිබුණි.
“අක්කා කොහෙද ගියේ?” මම අක්කා අසලට ගියෙමි. මගේ දෑසින් ගලන කඳුළු දෙස අක්කා බලා සිටියාය. ඇගේ දෑසේ කදුළු නළියනු මම දුටුවෙමි.
“උඹ නාඬ ඉදින්. මං අද ඉඳන් දර මඩුවේ පැත්තක උයා ගන්නවා. උඹලට ආයේ වචනයක්වත් කියන්නේ නෑ”
අක්කාගේ හඬ පහත්ය. කදුළු ඇගේ කම්මුල් දිගේ ගලා යනු දුටුවෙමි. මම සුනීතා දෙස බැලුවෙමි. ඇය අක්කා දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බැලුවාය. ඇගේ දෑසේ වූ හැඟීම් වටහාගන්නට මම අපොහොසත් වීමි.
(ඡායා රූපය අන්තර්ජාලයෙන්)
යළිත් නිර්මාණයකින් හමුවනතුරු ඔබට ජයෙන් ජය

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!