මාගෙ අක්කා වනාහී අමුතුම වර්ගයේ ජීවියෙකි.මට වඩා වසර 5ක් වැඩියෙන් නාකි වූ ඈ මට වඩා බෙහෙවින් හොද බැව් අම්මාගෙ මුවින් නිතරම පාහේ ගලා එන වැකියකි.මේ ඈ ගැනයි.ඈ යනු අක්කා බවත් ඈ යන්න ගැන නොවන බවත් කරුණාවෙන් සලකන මෙන් ඉල්ලා සිටින්නෙමි.
මා ඉපදෙන විට අක්කා චූටිම චූටි අවුරුදු 5ක දැරිවියක් වූවද එදා සිටම ඒකි මා හට කර ඇත්තෙ කෙණෙහිලිකම් ය.ඉතින් මං පව් ය.මා ඉපදෙන්නට සිටි විට අම්මා අක්කාගෙන් ඇයට අවශ්ය නංගියෙක්ද මල්ලියෙක්දැයි විමසූ කල ඈ පවසා ඇත්තේ අවැසි නංගියෙක් බවත් මල්ලියෙක් ගෙනාවොත් බෝංචි කරලක් මෙන් දෙකට කඩනා බවත් ය.ඉතින් එයට බිය වූ අම්මා කුඩා සීදේවි මා මේ ලෝකයට ගෙනාවේය.
එදා සිටම අද දක්වාම හිට්ලර්ගේ ලොකු අම්මාගේ අක්කා බැඳපු දුවගේ නැගණියකගේ දුවක් මෙන් හිට්ලර් ගති පෙන්වන ඈ දවසට සැරයක් හෝ මාගෙ කන් ඈගේ අති උච්ච සප්ත සුවරයෙන් පුරවා ලීමට අමතක නොකරන්නේ මාගෙ දියුණුව පතාමය.
කුඩා කල මල් ඇටයක් නහයේ හිර කර ගත් පුංචි මා මලා යැයි සිතා අක්කා ඇඩූ බව පවසමින් අම්මා ඈට නිරතුරු විහිළු කරයි.ඒ අවස්ථාවන් හීදී කට වසාගන්න ඈ පවසන්නෙ එදා ඇඩුවෙ බොරුවට බවයි.මේවා ඈ විසින් ජාමෙ බේරා ගැනීමට කියන්නක් බව ගෙදර බල්ලාත් හොදින් දන්නා කරුණකි.
මං කරනා සියලුම ආකරයේ වැඩ වලදි අක්කාගෙන් බැනුම් නොඇසුවොත් එදාට මා කෑවෙ නැති බවක් ද මට හැගෙන්නෙ ඈ කෙරෙහි ඇති සහෝදර ප්රේමයේ උච්චත්වය නිසාමය.
කෙට්ටු වීමට අවැසි යැයි පවසමින් බත් චුට්ටක් බෙදා දෙන මෙන් ඉල්ලන අක්කා ඒ චුට්ට කා තව චුට්ටක් ඉල්ලන්නෙ ඈට නොව බල්ලාට බව ඔබ විසින් තේරුම් ගත යුතුම කරුණකි.කෙතරම් ඩයට් ප්ලෑන් අනුගමනය කෙරූවද ඈගෙ බර අඩු නොවන්නෙ බල්ලා කන බත් චුට්ට හේතුවෙන් බව ඊයේ බල්ල මා සමග රහසින් කීවේ එය ඇසුණා නම් බල්ලා කෙසේ වෙතත් මා ඇදිවතින්ම නිවසින් පිට කිරීමට තරම් අක්කාගෙ සහෝදර පෙම උච්ච වන නිසාම ය.
අක්කාට රසට ඉවීමට පුලුවන් ය.ඉතින් ඈ නිවසේ සිටීනම් එදිනට ඩයට් ප්ලෑන් පිළිබඳ මතකය නැතිවන්නෙ බර්මියුඩා ත්රිකෝණයේ නැව් නැති වන්නා සේ ය.
අක්කා කී දෙ පමණක් කරනා නංගී ලා මෙලොවට
වාසනාවක් ම ය.එසේ කීවේ අපේ පූස් තඩියා ය.අක්කා එපා කී දෙයක් හොරෙන් හෝ කරොත් වන්නෙ ඉහේ සිට දෙපතුලටම කෙල වීමය.එය අත් දුටු ප්රත්යක්ශ සත්යයකි.මේ ළඟදීත් එසේ ඈ එපා කිව් දෙයක් හොරෙන් කොරන්ට ගොස් නැට්ටෙ සිට මං ගොම නෑ බව ඔබලාට පවසන්නේ විලි ලැජ්ජාව පස්සෙ දොරෙන් විසි කර දමා ය.
මාගේ සදාකාලික පරම පිවිතුරු පේමය අක්කා ය.අම්මාටත් වඩා මං ඒකිට ආදරේ ය.එහෙත් ශෝකයට කරුණ නම් ඒකි මට වඩා පෙම් කරන්නෙ ගෙදර බලු තඩියන් ට වීමයි.බලු තඩියන්ගේ ඔනෑම අසනීපයකදී එයට වග කිව යුත්තේ මං ය.මාගෙ අසනීපයකදී ද එයට වග කිව යුත්තේ මා ම ය.බල්ලා මාව කෑවත් මං බල්ලාව කෑවත් ඒකි බනින්නේ මට ය.ඒවා අප්පාගේ නොව අක්කාගේ ලොජික් ය.මං හරි පව් ය.
අම්මාද මට වඩා ආදරේ ඒකිටය.ඒ බව පවසන්නෙ අතිශය භූමි කම්පිත දුකකිනි.මාගෙ හා අක්කාගෙ පරම පිවිතුරු පෙමට අම්මා ගේ ඇත්තෙ නිම නොවන ඉරිසියාවකි.මේ පෝස්ටුව ඒ දෙන්නා කියවන බව මා හොඳින්ම දනිමි.එබැවින් මා කෙරෙහි දුක් වන්නේ නම් කරුණාකර හැංගීමට පොල්කට්ටක් හෝ මා වෙත එවන ලෙස ඉල්ලා සිටිමි.
උපුටා ගැනීම: Tharu Jayaweera