මගේ ලොකු නැන්දා විවාහ වුයේ කුරුණෑගල මාවතගම පළාතටය ඒ තුම්පනේ හා හතර ලියද්දට කිට්ටුය . එකසිය පණහ ගනින්නට නොදන්නා ආරච්චිල තුන් පණහයි කියා තුන්පනේ හැදුන හැටිත් වී පැල මුල් ඉහද්දී කුබුර පෑගෙන නිසාවෙන් හතර දෙනෙකු ඔසවාගෙන යද්දී වී පැල මුල් ඉස්ස නිසා හතර ලියද්ද හැදුන හැටිත් ඔබ අසා ඇතිවාට සැක නැත
ලොකු නැන්දා නුවර මුත් මාමා නම් තුම්පනේ උපන්නෙකි . ලොකු
නැන්දාට දුවලා දෙන්නෙක් වූ අතර ඉන් ලොකු නෑනා කුඩා කාලයේම මාමාගේ මල්ලී සිටි හෙයින් හැදී වැඩුනේ ඉගෙන ගත්තේ ඔස්ට්රලියාවේය ඈට එහෙයින් හැකි උනේ සිංහල කතා කරන්නට පමණි
කෙසේ නමුදු ඇය වයිද්ය වරියක වුවාය . ලංකාවෙන්ම ගිය මාතර පළාතේ ඉංජිනේරුවෙකු හා විවාහ වූ බවද අසන්නට ලැබිණි . කලක් ගතවූ පසු නැන්දාද ඔවුන් ඔස්ට්රලියාවට ගෙන්වා ගත් හ .
මැදි වියේ පටන්ම ලොකු නැන්දාට වැඩිපුර දහදිය දමන ගතියක් විය වයසට යාමත් සමග මේ වැඩිවී ගිය අතර බෙහෙත් ගන්නට ගිය හැම තැනින් කිව්වේ ආර්තව හරණයේ ලක්ෂණයක් බවත් කලකින් අඩුවී යාවි කියාත්ය
නමුත් ඇයට එය කරදරයක් විය .අන්තිමේ ආයුර්වේද බෙහෙත්ද ගත්තත් සිසිල් ආහාර සේ පොල්පලා ,බාර්ලි ,සව් ආදිය බිව්වත් මෙනොෆෙම් පෙති බිව්වත් කිසිත් අඩුවක් නොවිණි
ඔස්ට්රලියාවේ ගිය විට මේ තත්වය වැඩි වී තිබුණි . බොහෝ ප්රතිකාර හා හෝමෝන ප්රතිකාරද ලොකු දුව විසින් ලබා දී තිබුනද තත්ත්වය අඩුවී නොතිබිණි
දිනක් අක්කා මට කතා කාලය
“මල්ලි අම්මා කියනවා ඔහේ හොද තැනෙකින් සාත්තරයක් වත් බලන්නලු “
“අප්පට සිරි ඔස්ට්රලියාව පෙනේවිද ?”මම සිනා සුනෙමි
“පණ්ඩිත කම නැතිව හිතවත් හරියන්න කරනවාකෝ “
සාත්තර කියන තැන් ගැන මා එතරම් නොදන්නෙමි ,නමුත් ගමේ මිතුරෙකුගේ
මාර්ගයෙන් එක්තරා දේවාලයකට ගියෙමි
එක අතෙකින් මා පුදුම කරවමින් නැන්දාගේ විස්තර බොහොමයක් කියවිණි
එහිදී කියවුනේ පෙර ආත්මයක කටින පින්කමක වැහි සළුවක් සොරා ගැනීම
මේ රෝගයට හේතුව බවත් ,එහෙයින් වැහි සළුවක් කටිනයකඇරබුමේදී පින්වත් ස්වාමින් වහන්සේලා නමකට පුජා කොට පින් ලබා ගත යුතු බවත්ය
“මේ .. ඔයාගේ අම්මා ගිය ආත්මේ හොරකමක් කරලාලු ..ඔයා වගේම “
මා අක්කාට කිව් විට ඇය සිනා සුනාය
“ඉතින් මොකද කරන්න ඕනි “
“මේකයි කටින පිංකමකට වැහි සළුවක් පුජා කරන්නලු “
අක්කා ටික වෙලාවක් කල්පනා කලාය
“හරි මල්ලියේ මම එවන්නම් ඔයා හොද පන්සලකට පුජා කරන්න “මම පුදුම උනෙමි .මා සිතුවේ ඇය මුදල් එවාවි කියාය
“ඉතින් අක්කේ ඔහේ වැහි සළු තියෙනවද “
“අපෝ ඕනි තරම් එවන්නම් “
කටින පින්කම් පටන් ගන්න තිබුනෙත් සති කීපයකි , මා ගමේ පිරිවෙනටම ගියෙමි කාරණය කියා දානය පින් දීම පෝදාටම යොදා ගත්තෙමි මේ අතරේ නැන්දාගේ දු ලොකු අක්කා සළුව පාර්සල් කර ඒවා තිබුණි
ඉතින් කටින පිංකමඇරබෙන දිනේ ලොකු හාමුදුරුවෝ සිදුකරන මේ පුජාවේ පිනින් නැන්දාගේ ලෙඩ දුක් සියල්ල සුව වේවායි ප්රර්ථනා කලෝය
මා එහි පින්තුර අක්කාට යැව්වෙමි
ඉන් සතිදෙකකට පසු ලොකු පාර්සලයක් අක්කා ඒවා තිබුණි මම ඇයට කතා කලෙමි
“අනේ මල්ලියේ වැඩේ හරි පින්කමෙන් පස්සේ අම්මාට හොදයි ඔය පලතුරු පන්සලට දානේ දෙන්න “
මාද සතුටට පත් උනෙමි
පසුදින ඉරිදා මා පලත්රුද ගෙන පන්සල් ගියෙමි ලොකු හාමුදුරුවෝ මා දකිද්දීම අමුතු ලෙසින් සිනා සුනේය
“පොඩි වැරදීමක් උනා නේද දොස්තර මහත්තයෝ මම ඉතින් ආයි කෝල් කලේ නෑ ,ඕක ඉතින් මාරු කර ගන්න කවදා බැරිය “
“ඒ කිව්වේ ස්වාමින් වහන්ස ?”
ලොකු හාමුදුරුවෝ මා සමග කුටියට වැඩියහ .එහි අක්කා එව් පාර්සලය තිබේ
පුදුමයකි එහි ඇත්තේ ලොකු කුඩ රෙද්දකි
මා ටික වෙලාවක් කල්පනා කලෙමි
“අනේ හාමුදුරුවනේ සමාවෙන්න අක්කට වැරදීමක් වෙන්න ඇති “
“නෑ නෑ මහත්තයෝ අක්කා එව්ව පාර්සල් හරි එක ගෙදර ඇති පොඩ්ඩක් බලන්න ,මේ මාරුවීමක් වගේ “
මා කිසිත් නොකියා කුඩ රෙද්ද ගෙදර ගෙනාවෙමි පුජා භාණ්ඩ කඩේකින් වැහි සළුවක් ගෙන පුජා කලෙමි
“අක්කේ මේ උබ මොකෝ අර කුඩ රෙදි එව්වේ ?”මා නැන්දාගේ දුවට බැන වැදුනෙමි
“ඉතින් මල්ලියේ වැස්සට කුඩනේ ඉහලන්නේ මම හිතුවේ කුඩ මහන්න ගන්න රෙදි කියලයි “
“අනේ මෝඩියේ “
මා දුරකථනය තබා සිනා සෙන්නට ගතිමි ඒ අතරේ සිතුනු තවත් වැදගත් කරුණක් තිබේ ඒ නැන්දාගේ ලෙඩේ හොදවුනේ කෙසේද කියාය
උපුටා ගැනීම: Premanayake Cyril